ටෙස්ට් පිටියේ දෙවැනි ගමනට අකිල ධනංජයගෙන් විශිෂ්ට ආරම්භයක් | දිනමිණ


 

ටෙස්ට් පිටියේ දෙවැනි ගමනට අකිල ධනංජයගෙන් විශිෂ්ට ආරම්භයක්

ෆවුස් මොහොමඩ්

තරගයේ අවසන් හෝරාව වර්ෂාව ගිල ගනී

පන්දු යැවීමේ ඉරියව් නීතිවිරෝධි බවට තහවුරු වී ජාත්‍යන්තර තරග තහනමකට හසුවීම නිසා මාස 9ක කාලයක් ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් ඈත්වී සිටි පිටදඟ පන්දු යවන අකිල ධනංජය ඊයේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි ආරම්භ වූ නවසීලන්තයට එරෙහි පළමු ටෙස්ට් තරගයේදි කඩුලු 5ක් දවාලමින් ටෙස්ට් පිටියේ සිය දෙවැනි ගමනට විශිෂ්ට ආරම්භයක් ලබා ගත්තේය.

ඊයේ පස්වරු 3.42ට ගාල්ලට වර්ෂාව පතිතවීමට පටන් ගැනීම නිසා තරගය අත්හිටුවීමට විනිසුරුවන් තීරණය කරද්දී කාසියේ වාසිය දිනා සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්ත පිල කඩුලු 5ක් දැවී ලකුණු 203ක් ලබා සිටියේය. ඒ වනවිට නිමාවී තිබුණේ ඕවර 68ක් පමණි. නවසීලන්ත පිලේ කඩුලු 5ම බිඳ වැටුණේ අකිල ධනංජයගේ පන්දු හමුවේය. තහනමට පෙර වසර 2018 නොවැම්බරයේ පල්ලෙකැලේ පිටියේදි එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේ එංගලන්ත දෙවැනි ඉනිමේදි ද කඩුලු 6ක් දවාලූ අකිල ධනංජය ඊයේ දිනයේ සම්පූර්ණ ගෞරවය දිනාගත්තේය.

නවසීලන්ත පිලේ මුල් පෙළ පිතිකරුවන් දැවීයද්දී ඉනිම පිළිසකර කළ මැදපෙළ පිතිකරු රොස් ටේලර් තරගය නිමාවනවිට නොදැවී ලකුණු 86ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ලබාගත් නවසීලන්ත පිලේ පළමු කඩුලු 3ම දිවා ආහාරයට මොහොතකට පෙර උදුරාගත් අකිල ධනංජය අනතුරුව පස්වරු තේ පානයට පෙර තවත් කඩුලු 2ක් දවාලමින් ඉනිමක කඩුලු 5ක් සම්පූර්ණ කළේ සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ සිවුවැනි වතාවටය.

ඊයේ උදෑසන සිටම තියුණු දඟ කැවීමක් පෙන්නුම් කළ ගාලු තණතීරුවේ දී සිය දඟපන්දු යවන්නන්ගේ දස්කම් උරගා බැලීමට ශ්‍රී ලංකා පිලේ නායක දිමුත් කරුණාරත්න පියවර ගත්තේ ඉනිමේ 8 වැනි ඕවරයේ සිටමය.

ඕවර 7කින් පසුව ළහිරු කුමාර නවතා පන්දු යැවීම සඳහා අකිල ධනංජය කැඳවූ නායක දිමුත් කරුණාරත්න මේ පිටදඟ පන්දු යවන්නා නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන්ගේ ඉවසීම පරීක්ෂාවට ලක් කරද්දි 18 වැනි ඕවරය යැවීමට තවත් පිටදඟ පන්දු යවන්නකු වන තුන්ඉරියව් ක්‍රීඩක ධනංජය ද සිල්වාට බාර කළේය. අනතුරුව 22 වැනි ඕවරයේදි වමත් දඟ පන්දු යවන්නා වන ලසිත් ඇඹුල්දෙණියත් පන්දු යැවීමට කැඳවීමෙන් පසුව නවසීලන්ත පිලේ ආරම්භක පිතිකරුවන්ගේ පීඩනය තවත් ඉහළ ගියේය.

ඉන් පසුව පළමු කඩුල්ලට ලකුණු 64ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිටි ටොම් ලේතම්, ජීට් රාවල් සහ නායක කේන් විලියම්සන් දවාලමින් තරගයේ වාසිය ශ්‍රී ලංකා පිල දෙසට හරවා තැබීමට අකිල ධනංජය සමත්විය. නවසීලන්ත පිලේ මුල් කඩුලු 3ම දැවී ගියේ ලකුණු 7ක් ඇතුළතය.

අකිල යැවූ 27 වැනි ඕවරයේ තුන්වැනි පන්දුවෙන් ලකුණු 30ක් ලබා සිටි ටොම් ලේතම් දැවී යද්දී අවසන් පන්දුවෙන් නායක කේන් විලියම්සන් ආපසු ක්‍රීඩාගාරයට හැරී ගියේ ලකුණු ලබාගැනීමටත් පෙරය. අනතුරුව ඔහු 31 වැනි ඕවරයේ 2 වැනි පන්දුවෙන් ජිට් රාවල් දවාලීමත් සමග දිවා ආහාරය සඳහා තරගය නතර කෙරිණි. ඒ වනවිට නවසීලන්ත පිල කඩුලු 3ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 71කි.

දිවා ආහාරයෙන් පසුව හෙන්රි නිකොල්ස් සමග එක්ව නවසීලන්ත ඉනිම ගොඩනැගූ රොස් ටේලර්ට සිය අර්ධ ශතකය වාර්තා කිරීමට මිනිත්තු 100ක් ගතවිය. ඒ සඳහා පන්දු 86ක් වැය කළ අතර ඒ කාලය තුළ එල්ල කළේ හතරේ පහර 3ක් පමණි.

කෙසේවෙතත් ශ්‍රී ලංකා පිලේ දඟපන්දු යවන්නන්ට ඉතා පරිස්සමින් යුතුව මුහුණ දුන් 35 හැවිරිදි මේ දකුණත් පිතිකරුවා නිකොල්ස් සමග එක්ව සිවුවැනි කඩුල්ලට අගනා ලකුණු සියයක සම්බන්ධතාවක් ගොඩනගමින් නවසීලන්ත ඉනිම ඉහළට ඔසවා තැබීමට දැඩි උත්සාහයක නිරතවිය.

එහෙත් මුළු ලකුණු සංඛ්‍යාව 171ක්ව තිබියදී නැවත ක්‍රියාත්මක වූ අකිල ධනංජය ලකුණු 42ක් ලබා සිටි නිකොල්ස් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකරගැනීමත් සමග එම සම්බන්ධතාව බිඳ වැටිණි. ඉන් අනතුරුව පිටියට පිවිසි කඩුලු රකින පිතිකරු බී.ජේ.වොට්ලින්ට ද වැඩිවේලා පිටියේ රැඳී සිටීමට ඉඩ නොදුන් අකිල පස්වැනි කඩුල්ල ලෙස ඔහු දවාගත්තේ ද කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගනිමිනි. ඒ සමගම පස්වරු තේ පානයට තරග නතර කෙරිණි. ඒ වනවිට නවසීලන්ත පිල කඩුලු 5ක් දැවී ලකුණු 179ක් ලබා සිටි අතර රොස් ටේලර් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 70ක් විය.

මේ තරගයට දිනේෂ් චන්දිමාල් නම් කර නොතිබුණු අතර වඩාත් විස්මිත සිදුවීම බවට පත්වූයේ ශ්‍රී ලංකා පිල අවසන් වරට ක්‍රීඩා කළ දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගමාලාවේ විශිෂ්ට ජයග්‍රහණයට උරදුන් ක්‍රීඩකයන් අතලොස්ස අතර සිටි පිතිකරු ඕෂධ ප්‍රනාන්දු සහ වේගපන්දු යවන විශ්ව ප්‍රනාන්දු තරගයට නම් නොකිරීමය.

නව අදහස දක්වන්න