හිමිනමක ලෙස රඟපා ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 10ක් වංචා කළ හිච්චා අල්ලයි | දිනමිණ

හිමිනමක ලෙස රඟපා ව්‍යාපාරිකයකුගෙන් ලක්ෂ 10ක් වංචා කළ හිච්චා අල්ලයි

හිමිනමක් ලෙස පෙනී සිටිමින් ව්‍යාජ රන් කාසි තොගයක් ව්‍යාපාරිකයෙකුට අලෙවි කර රුපියල් ලක්ෂ දහයක් වංචා කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට ගල්ගමුව පොලීසිය ඉකුත් දා සමත් වී තිබේ.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ විජයපුර, අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි පමන්ගල හසිත බුද්ධික ලියනගේ නොහොත් හිච්චා යන අන්වර්ථ නාමයෙන් හදුන්වන 38 හැවිරිදි පුද්ගලයෙකි.

කුලියාපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු අනුරාධපුර ප්‍රදේශයට පැමිණි අවස්ථාවකදී හිමිනම ලෙස පෙනී සිටි මේ පුද්ගලයා එම ව්‍යාපාරිකයා හදුනාගෙන ඔහු සමග කුළුපග වී තමා සන්තකයේ රන්කාසි තොගයක් ඇති බවත්, ඒවා රුපියල් ලක්ෂ දහයකට අලෙවි කරන බවත් පවසා අදාළ ව්‍යාපාරිකයා සමග ගනුදෙනුව සිදුකිරීමට කතිකා කරගෙන තිබේ. ඒ අනුව මුලින්ම සැබෑ රත්ත්‍රං කාසියක කොටසක් ව්‍යාපාරිකයාට ලබා දී එය සැබෑ රත්ත්‍රංදැයි සැක හැර දැනගන්නා ලෙසත් පසුව අදාළ ගනුදෙනුව සිදුකිරීමට දිනයක් වේලාවක් හා ස්ථානයක් වෙන් කරගන්නා ලෙසත් පවසා තිබේ. ව්‍යාපාරිකයාද තමාට ලැබුණු රන් කාසි කොටස පරීක්ෂා කර බලා සැබෑ රත්‍රං බව දැන ගැනීමෙන් අනතුරුව හිමිනම සන්තකයේ ඇති අනෙක් රන්කාසි තොගය ද මිලදී ගැනීම සදහා රුපියල් ලක්ෂ දහයද රැගෙන පසුගිය මස 02 දා ගල්ගමුව ප්‍රදේශයට පැමිණ තිබේ. ගනුදෙනුව සිදු කිරීම සදහා දෙපිරිසම ඒ වන විටත් ගල්ගමුව ප්‍රදේශයට පැමිණ සිටි අතර මුලින්ම ගල්ගමුව දුම්රිය ස්ථානය අසලදී හිමිනමගේ කල්ලියේ එක් පුද්ගලයෙකු ඔවුන් පැමිණි වාහනයට ගොඩ වී තිබේ. පසුව ගල්ගමුව නගර මධ්‍යයේ ඔරලෝසු කණුව අසලදී හිමිනම ලෙස පෙනී සිටින පුද්ගලයා එම වාහනයට නැග ඇති අතර ගල්ගමුව ප්‍රාදේශීය සභාව අසලදී ගනුදෙනුව සිදුකරගෙන තිබේ. ඒ අනුව ව්‍යාපාරිකයාගෙන් රුපියල් ලක්ෂ දහය ලබාගත් හිමිනම කලබලකාරී ස්වාභාවයක් පෙන්වා පොලීසිය පැමිණෙන බව පවසා ඔහු සන්තකයේ තිබූ කාසි තොගය සහිත මල්ල ව්‍යාපාරිකයාට ලබා දී ඔවුන් පැමිණි වාහනයෙන්ම පලාගොස් තිබේ. එම සිදුවීමෙන් පසුව ව්‍යාපාරිකයා එම කාසි තොගයද රැගෙන ගොස් නැවත පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඒවා ව්‍යාජ ඒවා බවට අනාවරණය කරගෙන ඇත. කෙසේ වෙතත් අදාළ සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා විසින් සෘජු පැමිණිලිල්ලක් කිසිදු පොලිස්ථානයක් වෙත ලබා දී නොමැති අතර සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ මාර්ගයෙන් ගල්ගමුව වැඩබලන පොලිස් ස්ථානාධිපති දුමින්ද නයනසිරි මහතාට මේ පිළිබද දැනගැනීමට හැකියාව ලැබී තිබේ.

සිදුවීම පිළිබද සියලු තොරතුරු ලබා ගැනීමෙන් පසුව ගනුදෙනුව සිදුවූ ස්ථානයේ ඇති CCTV දර්ශන උපයෝගී කර ගනිමින් සැකකරුවන් පැමිණි වාහනයේ අංකය මගීන් අදාළ වාහනයත්, එහි හිමිකරුත් සොයාගෙන තිබේ. ඒ අනුව මෝටර් රථය අනුරාධපුර ප්‍රදේශයෙන් කුලී පදනම මත ලබා ගත් එකක් බවත්, සැකකරුවන්ට එය ලබා දුන් පුද්ගලයාත් ඇතුලුව හිමිනමද පොලීසිය විසින් හදුනාගෙන තිබේ. පසුව අනුරාධපුර මූලස්ථාන පොලිස්ථානයේ අපරාධ අංශයෙන් කරන ලද විමසීමකට අනුව අනාවරණය වී ඇත්තේ හිමිනම ලෙස පෙනී සිටි හිච්චා නැමැති පුද්ගලයා ඒවන විටත් හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවයි.

පසුව අධිකරණ නියෝගයක් ලබා ගැනීමෙන් පසුව අදාළ හිමිනම ලෙස පෙනී සිටි පුද්ගලයා ඇතුළු සැකකරුවන් තිදෙනෙක් හදුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කර ඇති අතර ව්‍යාපාරිකයා විසින් ඔවුන් හදුනාගෙන තිබේ. එ් අනුව හිමිනම ලෙස පෙනී සිට මුදල් වංචා කළ සැකකරු ලබන 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමට අධිකරණය මගීන් නියෝග කර තිබේ. සැකකරු අනුරාධපුර ප්‍රදේශයේම බාටියා මාවත, කුඩාවන්නිකුලම, අනුරාධපුර යන ලිපිනයේද හිරන්ත බුද්ධික රණසිංහ යන නමින් පෙනී සිටි අයෙක් බවට ද පොලීසිය පැවසීය. නිකවැරටිය කොට්ඨාස භාර පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ හා ගල්ගමුව දිස්ත්‍රික් භාර සහකාර පොලිස් අධිකාරී සලින්ද දිසානායක යන මහත්වරුන්ගේ උපදෙස් මත, ගල්ගමුව පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති දුමින්ද නයනසිරි මහතාගේ මෙහෙයවීම මත එහි අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයරත්න මහතා ඇතුලු නිලධාරීන් විසින් මේ වැටලීම සිදුකර තිබේ.

ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්

නව අදහස දක්වන්න