විමර්ශන වාර්තා කඩිනමින් ඕනෑ! | දිනමිණ

විමර්ශන වාර්තා කඩිනමින් ඕනෑ!

මෑත කාලයේ සිදු වූ විශේෂ ගණයෙහි ලා සැලැකිය හැකි අපරාධ පහක් සම්බන්ධයෙන් වන විමර්ශන වාර්තා හැකි විගස තමන් වෙත ලබා දෙන්නැ’යි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ. රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ ඝාතනය, මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදීම, මුතූර් ප්‍රදේශයේ පුද්ගලයන් දාහත් දෙනකු පැහැරගෙන ‍ෙගාස් ඝාතනය කිරීම, කොළඹ ද්‍රවිඩ ජාතික තරුණයන් එකොළොස් දෙනකු අතුරුදන් කිරීම හා ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීමත් මීට ඇතුළත් ය. මේ අපරාධ සිද්ධි රටේ මහත් ආන්දෝලනයක් ඇති කර තිබුණද ඊට අදාළ වින්දිතයන් උදෙසා අද වනතුරු ද යුක්තිය ඉටු වී නැත.

කිසියම් අපරාධයක් සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා සිද්ධියට අදාළ පොලිස් පරීක්ෂණ අවසන් කොට විමර්ශන වාර්තවක් ලබා ගත යුතුය. විමර්ශන වාර්තාව ප්‍රමාද වන තරමට නඩු පැවරීම ප්‍රමාද වෙයි. නඩු පැවරීම ප්‍රමාද වන තරමට යුක්තිය ඉටු වීමද ප්‍රමාද වෙයි. ශ්‍රී ලංකා‍ෙව් නීති කටයුතු හා අධිකරණ කියාවලිය නිරීක්ෂණය කරනවිට පෙනී යන්නේ පොලිස් විමර්ශන වාර්තාවේ සිට විනිශ්චයක් ලබා දීම තෙක් සෑම පියවරකදීම කුමක් හෝ ප්‍රමාදයක් සිදු වන බව ය. ඇතැම් විමර්ශන වාර්තා යට ගසන බවට චෝදනා තිබේ. පාර්ලිමේන්තුව තුළ පවා මේ ගැන සාකච්ඡා වී ඇත. එහෙත් පොලිස් විමර්ශන වාර්තා කඩිනමින් ලබාදෙන බවක් පෙනෙන්නට නැත.

නීතිපතිවරයා මෙහි ලා තවත් උපදේශන දෙකක් පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දී ඇත. පළමු උපදේශනය වන්නේ විමර්ශන සම්බන්ධයෙන් නැවත - නැවත උපදෙස් ඉල්ලමින් අදාළ ලිපි ගොනු නීතිපති ‍ෙදපාර්ත‍ෙම්න්තුව වෙත ලබාදීම නැවැත්විය යුතු බව ය. එලෙස ලැබෙන ලිපි‍ෙගානු ආපසු හරවා යැවීමට ක්‍රියා කරන බව ද නීතිපතිවරයා සඳහන් කර ඇත. විමර්ශන වාර්තා එකිනෙක දෙපාර්තමේන්තු අතර හුවමාරු වන විට කාලය අපතේ යෑමක් සිදු වෙයි. ඇතැම් විට මේ හුවමාරුව නිසා විමර්ශන කටයුතු මධ්‍යස්ථ ලෙස සිදු නොවන්නටත් ඉඩ තිබේ. දෙවන උපදේශනය වන්නේ විමර්ශන වාර්තා ලබාදීම පිළිබඳ අලුත් ක්‍රමවේදය සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු අංශ දැනුම්වත් කළ යුතු බව ය. මෙය නීතිපතිවරයා ගත් වැදගත් තීරණයක් බව පෙනී යයි.

ඉහත සඳහන් සෑම අපරාධයක් ම කල් ගත වූ සිද්ධි ලෙස සැලැකිය හැකි ය. රගර් ක්‍රීඩක වසීම් තාජුදීන්ගේ මෘත ශරීරය ගොඩගෙන නැවත පරීක්ෂණ ආරම්භ කැරිණි. ඒ අනුව ඝාතනයට අදාළ තවත් තොරතුරු හා සාධක ගණනාවක් හෙළිදරව් කර ගත හැකි විය. එහෙත් විමර්ශන වාර්තා සම්පූර්ණ කොට නිතිපති වෙත භාර දී නැත. මෙයින් අගතියට පත්වන පාර්ශ්ව කිහිපයක් තිබේ. වැඩිම අගතියක් සිදු වී ඇත්තේ වින්දිත පාර්ශ්වයට යැයි කිව හැකි ය. ඔවුන් ඉල්ලා සිටින යුක්තිය තව ම ලැබී නැත. සැක පිට අත්අඩංගු‍ෙව් හෝ රක්ෂිත බන්ධනාගාරයේ හෝ සිටින චූදිත පිරිසටද මෙයින් යම් අගතියක් සිදුවේ. සියල්ලන් සඳහා ම යුක්තිය ඉටු වීම සිදු විය යුතුය. ඊට ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය වන්නේ නඩු විභාග කඩිනම් කිරීම පමණි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, කීත් නොයාර් පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම, පත්‍රකලා සංගම යේ හිටපු ලේකම් පෝද්දල ජයන්ත පැහැරගෙන ගොස් අමානුෂික ලෙස පහරදීම, උපාලි තෙන්නකෝන් මහතාට පහරදීම, උදයන් පත්තර කන්තෝරුවට පහරදීම, සිරස කාර්යාලයට ගිනි තැබීම හා තවත් සිද්ධීන් ගණනාවක් අදාළ වන්නේ ජන මාධ්‍ය නිදහස පාගා දැමීමක් හෙවත් ඊට එ‍ෙරහිවීමක් හැටියට ය. ලෝකයේ ජන මාධ්‍ය සංගම් සැලැකිය යුතු ප්‍රමාණයක් ද, මානව හිමිකම් කොමිසම ද, ජාත්‍යන්තර ක්ෂමා ආයතනය වැනි අන්තර්ජාතික සංවිධාන ද ඉහත සිද්ධීන් සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබිණි. මේ ආයතන ශ්‍රී ලංකාව යුක්තිය ඉටු කරන ආකාරය ගැන අදටත් බලා සිටී.

ජමාල් කෂෝගි සිද්ධියේ දී ඉතා බලවත් හා ධනවත් රාජ්‍යයක් වූ සවුදි අරාබියේ නායකයන්ට ද සිය දැඩි ප්‍රතිපත්ති වෙනස් කරන්නට සිදු විය. මාධ්‍යවේදී කෂෝගි ඝාතනය කළ බව පිළිගැනීමට ද, සිද්ධියට අදාළ අපරාධකාරයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගෙන දඬුවම් ලබාදීමට පියවර ගැනීමට ද සවුදි පාලකයන්ට සිදුවිණි. ඉන් නොනැවතී සිද්ධිය සම්බන්ධයෙන් කනගාටුව පළ කිරීමට ද සවුදි පාලකයන්ට සිදුවිණි. ජන මාධ්‍යකරුවන් මරා දැමීම, ඔවුනට පහරදීම පමණක් නොව; බලපෑම් සිදු කිරීම ද ලෝකයේ බලවත් ගර්හාවකට ලක් වන කාරණයකි. පාලකයන් එය දැනගත යුතුය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මේ සම්බන්ධයෙන් අපූරු ප්‍රකාශයක් කර තිබේ. එම ප්‍රකාශයෙන් කියැවෙන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තාජුදීන් සිද්ධිය,ලසන්ත ඝාතනය, තීත් නොයාර්ට පහරදීම, එක්නැළිගොඩ අතුරුදන් කිරීම ආදී සංසිද්ධි සම්බන්ධයෙන් ජාතියෙන් සමාව ගත යුතු බව ය. එය දේශපාලන ප්‍රකාශයක් වුව; හැබෑවට ම සිදුවිය යුත්තේ ද එය ම යැයි කිව හැකි ය. ඉහත අපරාධ සිදුවන්නේ එක ම කාල පරාසයක් තුළ ය. එම අපරාධ සිදු කළ හැකි ව තිබුණේ අතිශය බලයක් ඇති පුද්ගලයන්ට ම පමණක් බව ද පෙනී යයි. පරීක්ෂණවලදී හෙළිදරව් වන ඇතැම් කරුණුවලින් අපරාධ හා දේශපාලන බලය අතර ඇති සම්බන්ධය ද පෙනී ගොස් තිබේ.

ඉහත සඳහන් සෑම අපරාධයක් ම මහජනයා දැඩි භීතියකට පත් කළ අතර දැඩි විවේචනයකට ද ලක් විය. වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු එම අපරාධ සම්බන්ධ නඩු විභාග කඩිනමින් පවත්වා යුක්තිය ඉටු කිරීමක් සිදුවෙතැ’යි මහජනයා තුළ විශ්වාසයක් පැවැතිය ද එය ඉටුවූයේ නැත. පරීක්ෂණ වහ - වහා ආරම්භ වුවද නඩු විභාග බොහොමයක් ආරම්භ වී නැත. ඊට එක් හේතුවක් ලෙස පොලිස් විමර්ශන වාර්තා පමාවීම දැක්විය හැකි ය. මේ මොහොතේ හෝ එම විමර්ශන වාර්තා කඩිනමින් ලබාගෙන අධිකරණ ක්‍රියාවලිය කාර්යක්ෂම කළහොත් මහජනයා යළිත් නීතිය ගැන විශ්වාසය තබන්නට පුළුවන.

නව අදහස දක්වන්න