ශ්‍රී ලංකා දඟ පන්දුවට අසරණ වූ නවසීලන්තට වොට්ලින්ගෙන් තල්ලුවක් | දිනමිණ

ශ්‍රී ලංකා දඟ පන්දුවට අසරණ වූ නවසීලන්තට වොට්ලින්ගෙන් තල්ලුවක්

ෆවුස් මොහොමඩ්

පසුපෙළ පිතිකරුවන් සමග එක්ව ඉනිම පිළිසකර කරමින් බී.ජේ.වොට්ලින් නොදැවී ලකුණු 63ක් රැස් කිරීම නිසා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වැනි දිනය ඊයේ ආලෝක තත්ත්වය මඳවීමෙන් තරගය නවත්වන විට සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 7කට ලකුණු 195ක් රැස් කිරීමට නවසීලන්තය සමත්විය. තවත් ඕවර 6ක් යැවීමට ඉතිරිව තිබියදී තරගය එලෙස නතර කළ අතර ඒ අනුව නවසීලන්ත පිල ශ්‍රී ලංකා පිලේ පළමු ඉනිමට වඩා ලකුණු 177ක් ඉදිරියෙන් පසුවන්නේ තවත් කඩුලු 3ක් අතැතිවය.

එක් ලකුණක් ලබා සිටියදී කඩුල්ල මුවා කළ බවට දුන් තීන්දුව විනිසුරු තීරණ යළි විමසීමේ ක්‍රමවේදයේ පිහිටෙන් වෙනස් කරගත් මේ පිතිකරුවා පිටියට පිවිසියේ ලකුණු 81කට කඩුලු 4ක් බිඳ වැටී තිබුණු මොහොතේදිය.

ලසිත් ඇඹුල්දෙණිය ඇතුළු දඟපන්දු යවන්නන් එක්ව නවසීලන්ත පිලේ මුල්පෙළ පිතිකරුවන්ට තැන්පන් වීමට ඉඩ නොදී යළි ක්‍රීඩාගාරයට හරවා යැවීම නිසා ඊයේ පස්වරු තේ පානය වනවිට ප්‍රතිවාදී දෙවැනි ඉනිමේ කඩුලු 6ක්ම බිඳ වැටෙන්නට වූයේ ලකුණු 124ක් ඇතුළතදීය. තේ පානයෙන් පසුව නවසීලන්ත පිලේ මුළු ලකුණු සංඛ්‍යාව 143දී ඇඹුල්දෙණිය යැවූ පන්දුවකට ලබා දුන් උඩ පන්දුව කඩුල්ල අසළම පන්දු රැකීමේ නිරතව සිටි කුසල් මෙන්ඩිස් අතින් ගිලිහී යාමෙන් උපරිම ඵල නෙලා ගත් ටිම් සවුති ලකුණු 23ක් රැස් කළේ වොට්ලින්ට අනගි සහයක් දෙමිනි. මේ දෙදෙනා එක්ව 7 වැනි කඩුල්ලට ලකුණු 54ක් එකතු කළහ. කෙසේ වෙතත් මුළු ලකුණු සංඛ්‍යාව 178දී සවුති දවාලූ ඇඹුල්දෙණිය නවසීලන්ත දෙවැනි ඉනිමෙන් සිවුවැනි කඩුල්ලත් උදුරා ගැනීමට සමත්විය.

නවසීලන්තයට වඩා ලකුණු 22ක් පසුපසින් සිටිමින් ඊයේ උදෑසන සිය පළමු ඉනිමේ ඉතිරි භාගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිල පැයකුත්, මිනිත්තු 15ක් ඇතුළත ලකුණු 267කට දැවී ගියේ නවසීලන්ත පළමු ඉනිමට වඩා ලකුණු 18ක වාසියක් සහිතවය.

අනතුරුව දිවා ආහාරයට පැයකට පමණ පෙර සිය දෙවැනි ඉනිම ආරම්භ කළ නවසීලන්තයේ මුළු ලකුණු සංඛ්‍යාව 8ක්ව තිබියදී ජීට් රාවල් පිටියෙන් ඉවත් කරමින් පළමු කඩුල්ල බිඳ දැමීමට ධනංජය ද සිල්වා සමත්වූයේ දිවා ආහාරයටත් පෙරය.

දිවා ආහාරයෙන් පසුව යවන ලද දෙවැනි ඕවරයේදි නායක කේන් විලියම්සන් පිටියෙන් ඉවත් කළ ඇඹුල්දෙණිය අනතුරුව නවසීලන්ත පළමු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ රොස් ටේලර් පිටියෙන් ඉවත් කළේ ලකුණු 3කටය. ඔහුට තුන්වැනි කඩුල්ල අත්කර දෙමින් මිචෙල් සැන්ට්නර් පිටියෙන් ඉවත්වූයේ තේ පානයට පෙර යැවූ අවසන් ඕවරයේදිය.

නවසීලන්ත පිලේ පළමු ඉනිමේදි ලකුණු නොලබා දැවී ගිය නායක කේන් විලියම්සන් දෙවැනි ඉනිමේදි ලකුණු 4කට සීමා කිරීමට ඇඹුල්දෙණිය සමත්වූයේ මිඩ් ඕන් හරහා එල්ල කළ කළ පහරින් පන්දුව ඉහළින් ඇදී යද්දී පසුපසට දිව යමින් කුසල් ජනිත් පෙරේරා රැකගත් විශිෂ්ට උඩ පන්දුව හේතුවෙනි. එය ඇඹුල්දෙණිය මේ තරගයේ දවාගත් පළමු කඩුල්ල ද විය. අනතුරුව ටොම් ලේතම් සමග එක්වූ හෙන්රි නිකොල්ස් නවසීලන්ත දෙවැනි ඉනිම ලකුණු 81 දක්වා ඇදගෙන ගියේ සිවුවැනි කඩුල්ලට ලකුණු 56ක සම්බන්ධතාවක් ද ගොඩ නගමිනි. ලේතම්ගේ දැවී යාමෙන් පසුව පිටියට පැමිණි බී.ජේ.වොට්ලින් බිඳ වැටුණු ඉනිම පිළිසකර කිරීමට දැඩි උත්සාහයක නිරතවූවත් ශ්‍රී ලංකා පිලේ දඟ පන්දු යවන්නන් හමුවේ නිරුත්තර වූ වාර ගණන අනන්තය.

ධනංජය ද සිල්වා යැවූ ඉනිමේ 38 වැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළ නිකොල්ස්ගේ පිත්තේ අග වැදුණු පන්දුව කඩුලු රකින නිරෝෂන් දික්වැල්ල වෙත ඇදී ගියත් ඔහුට එය රැකගත නොහැකිවිය. එහෙත් ඔහුගේ ඊළඟ ඕවරයේ දෙවැනි පන්දුවට එවැනිම පියවරක් අනුගමනය කරන්නට ගිය නිකොල්ස් එවර වාසනාවන්ත නොවිය. ඔහුගේ පිත්තේ අගවැදුනු පන්දුව ස්ලිප් කලාපයට ඇදි යද්දි කුසල් මෙන්ඩිස් සුරැකිව එය ඩැහැ ගත්තේය.

පෙරේදා දිනය නිමාවනවිට කඩුල්ලේ රැඳී සිටි නිරෝෂන් දික්වැල්ල සහ සුරංග ලක්මාල් අටවැනි කඩුල්ලට ලකුණු 81ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 242 දක්වා ඉහළ දැමූ අතර ලක්මාල්ගේ දැවීයාමෙන් පසුව ඉතිරි කඩුලු 2ම ලකුණු 25ක් ඇතුළත ගලවා දැමීමට නවසීලන්ත පිල සමත්විය.

ට්‍රෙන්ට් බෝල්ට් ඊයේ උදෑසන කෙටි පන්දු කිහිපයක්ම යවමින් සුරංග ලක්මාල්ගේ ඉවසීම පරීක්ෂා කළ අතර ඉන් එක් පන්දුවකට ෆයින් ලෙග් කලාපයෙන් හයේ පහරක් එල්ල කළ කිරීමට ලක්මාල් සමත්විය. එහෙත් දිගින් දිගටම කෙටි පන්දු යවමින් ලක්මාල් උගුලට හසු කරගැනීමට උත්සාහ දැරූ බොල්ට් සිය ඊළඟ ඕවරයෙන් එය සාර්ථක කරගත්තේය. එම ඕවරයේ පළමු පන්දුව වැළමිටේ වැදීම නිසා ලක්මාල් දැඩි වේදනාවට පත්ව සිටි අතර තුන්වැනි පන්දුවෙන් දැවී ගියේ ඔහුගේ පිත්තේ ගැටී එම කෙටි පන්දුව කඩුල්ල තුළට රිංගා යාමෙනි. මිනිත්තු 119ක් කඩුල්ලේ රැඳී සිටි ලක්මාල් පන්දු 98කට මුහුණදුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් ඇතුළත් විය. අනතුරුව ලසිත් ඇඹුල්දෙණිය සමග එක්ව නවසීලන්ත පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව පසුකර යාමට සමත්වූ දික්වැල්ල සිය ටෙස්ට් තරග දිවියේ 12 වැනි අර්ධ ශතකය රැස් කළේ මිනිත්තු 150ක් පුරා කඩුල්ලේ රැඳී සිටිමිනි.

අද තරගයේ සිවුවැනි දිනයයි.

නව අදහස දක්වන්න