බලය බෙදීමට සහ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට එජාපය කැපවෙනවා | දිනමිණ

බලය බෙදීමට සහ ජාතික ප්‍රතිපත්තියක් සැකසීමට එජාපය කැපවෙනවා

ව්‍යවස්ථාදායක මණ්ඩලය විසින් යෝජනා කර ඇති බලය බෙදා ගැනීම හා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම යන සංකල්පයන් සඳහා එක්සත් ජාතික පක්ෂය හැමවිටම කැපවී ක්‍රියා කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

පෙරේදා (15) යාපනය ගුරුනගර් ධීවර වරායේ සංවර්ධන කටයුතු කිහිපයකට මුල්ගල තැබීමෙන් අනතුරුව පැවැති උත්සව සභාව අමතමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් ‍කළේය.

අග්‍රාමාත්‍යවරයකු ගුරුනගර් ප්‍රදේශයට පැමිණි පළමු අවස්ථාව මෙය වන අතර, මුල්ගල තැබීමෙන් අනතුරුව පැවැති උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් පැවැසුවේ රටේ බහුතරය හෝ වේවා සුළුතරය හෝ වේවා ඕනෑම ජනවර්ගයකට අභිමානයෙන් හා ගෞරවයෙන් යුතුව ජීවත්වීමේ අවකාශය උදාකරලීම තමාගේත් තම පක්ෂයේත් අභිප්‍රාය බවය. එසේම දෙමළ ජනතාවට සිය එදිනෙදා කටයුතු පිළිබඳ ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය හිමි විය යුතු බව තමන් ප්‍රතිපත්තියක් ලෙස පිළිගන්නා බව ද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

වර්තමාන‍යේ රට තුළ පැසවමින් පවතින සමහර ප්‍රශ්නවලට තිරසර දේශපාලන විසඳුම් ලබාදිය යුතු බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරයා ඒ විසඳුම් ලබා ගැනීම සඳහා බහුතර බලයක් සහිත ආණ්ඩුවක් පිහිටුවීමේ අවශ්‍යතාව ද අවධාරණය කළේය. බහුතර බලය ලබා ගැනීමට ශක්තියක් වන ලෙස වික්‍රමසිංහ මහතා උතුරේ ජනතාවගෙන් ඉල්ලා සිටියේය. මේ අවස්ථාවට අධ්‍යාපන රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන්, දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා, එම්. එම්. සුමන්තිරන්, ශ්‍රී සරවණභවන්, හිටපු උතුරු පළාත් සභා සභාපති සී. වී. කේ. සිවඥානම්, යාපනය නගරාධිපති ‍ආනෝල්ඩ්, යාපනය දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගන්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වී. සිවඥානසෝති යන මහත්ම මහත්මීන් ද ප්‍රාදේශීය දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් ද සහභාගි වූහ.

අසේල ලියනගේ සහ සුමිත්‍රි ත්‍යාගරාජන්

නව අදහස දක්වන්න