පරිසරවාදී ගවමස් තහනම | දිනමිණ

පරිසරවාදී ගවමස් තහනම

ධම්මික සෙනෙවිරත්න
ලන්ඩනයේ ගෝල්ඩ්ස්මිත් සරසවිය

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ජෝෂප් පුවර් කියා සිටින්නේ, මිහිතලයට මිනිසාගෙන් වන හානිදායී බලපෑම් අවම කිරීමට තනි පුද්ගලයන් ලෙස ගත හැකි හොඳම පියවර මාංශ රහිත ආහාර පරිභෝජන රටාවකට හුරුවීම බවය. එමඟින් හරිතාගාර වායු විමෝචනය පමණක් නොව ගෝලීය ආම්ලිකතාව වැඩිවීම, ඉඩම් භාවිතය හා ජලය භාවිතය ආදී තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන්ම වාසිදායක තත්ත්වයක් ඇතිවේ.

මිනිසා විසින් පරිසරයට කරන ලද හානිදායී බලපෑම් දේශගුණික විපර්යාස ලෙස ප්‍රකාශයට පත්වෙමින් මිනිසා අසරණ කර තිබියදී ලන්ඩන් සරසවියක් එම පරිශ්‍රය තුළ ගවමස් හා ගව මස් යොදාගන්නා ආහාර වර්ග තහනම් කර තිබේ.

ගවමස් සැකසීමේ ක්‍රියාවලියේදී පරිසරයට නිදහස් වන කාබන් ප්‍රමාණය අධික වීම කාලයක් තිස්සේ විද්‍යාඥයන් පෙන්වා දී තිබූ කාරණයකි. මේ පිළිබඳ අවධානය යොමුකළ රටවල් ගවමස් පරිභෝජනය සීමා කිරීමට විකල්ප ක්‍රියාමාර්ග ද හඳුන්වා දුන්නේය. ලන්ඩනයේ ගෝල්ඩ්ස්මිත් සරසවිය සිය නව අධ්‍යයන වර්ෂය ඇරැඹෙන ලබන සැප්තැම්බරයේ සිටම එහි ආපනශාලා, කැෆේ හා ආහාර අලෙවිසැල් යන සියල්ලේම ගවමස් භාවිතය තහනම් කිරීම නව ගෝලීය ආදර්ශයකි. විශ්වවිද්‍යාලයේ ප්‍රධානියා වශයෙන් අලුතින් පත්ව සිටින ෆ්‍රාන්සිස් කෝනර්ගේ නව විධිවිධාන යටතේ වසර 2025 වන විට විශ්වවිද්‍යාල පරිශ්‍රය කාබන් විමෝචනයෙන් තොර කලාපයක් බවට පත් කිරීම අරමුණය.

ගවමස් තහනමට පමණක් සීමා නොවෙමින් පානීය ජල බෝතල් හා ප්ලාස්ටික් කෝප්ප භාවිතය අවම කිරීමේ අරමුණින් ඒවා භාවිතයේදී ශත 12 ක බදු මුදලක් ද පනවා තිබේ. එම බද්ද බැරවෙන්නේ ‘‘හරිත ශිෂ්‍ය ක්‍රියාන්විත අරමුදලටය.’’

දේශගුණික විපර්යාස වැළැක්වීම හිස් වචනවලින් කළ නොහැකි බව පවසමින් මෙවැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව අවධාරණය කරන්නේ විශ්වවිද්‍යාලයේ වෝර්ඩ්න්, මහාචාර්ය ෆ්‍රාන්සිස් කෝනර් ය. ලෝක ඉතිහාසයේ තීරණාත්මක මොහොතකට අප ළඟාවී ඇති බව පෙන්වා දෙන ඇය කාබන් විමෝචනය අවම කිරීමට නොපමාව ගත හැකි හදිසි පියවර ගැනීමට ගෝල්ඩ්ස්මිත් සරසවිය ද සෙසු ආයතන හා සංවිධාන සමඟ ක්‍රියාකරන බව ද පවසා තිබිණි.

හරිතාගාර වායු විමෝචනය සම්බන්ධව බ්‍රිතාන්‍යයේ තත්ත්ව විමසන විට ගව, බැටළු ගොවිපළ ආශ්‍රිතව හා කිරි ආහාර නිෂ්පාදනයේදී සැලකිය යුතු හරිතාගාර වායු ප්‍රතිශතයක් පරිසරයට මුදාහැරෙන බව නිරීක්ෂණය වී තිබේ. දේශගුණික විපර්යාස පිළිබඳ කටයුතු කිරීමට පත්කර ඇති ආණ්ඩුවේ කමිටුවේ (ccc) වාර්තාවන් පෙන්වා දෙන පරිදි, 2016 දී ගව - බැටළු වැනි ගොවිපළවලින් නිදහස් වන හරිතාගාර වායු ප්‍රතිශතය සමස්ත ප්‍රමාණයෙන් 58% කි.

ගෝලීය වශයෙන් සළකන විට පශු සම්පත් කර්මාන්තය හරිතාගාර වායු විමෝචනයෙන් 41% කට වගකිවයුතුය. මස් නිෂ්පාදන කර්මාන්ත අංශයේ එම දායකත්වය 14% ක් පමණ වේ.

විද්‍යාඥයන් තර්ක කරන පරිදි, මාංශ පරිභෝජනයෙන් ඉවත්විය හැකිනම් එය මිනිසා පරිසරයට සිදුකරන අනර්ථකාරී බලපෑම්වලින් වැළැකිය හැකි සරලම පියවරකි. මේ තත්ත්වය කොපමණ යත්, ගවමස් ග්‍රෑම් 100 ක්ද නිෂ්පාදනය කිරීමේදී හරිතාගාර වායු කි. ග්‍රෑම්. 106 ක් පරිසරයට නිදහස් වීම සිදුවේ.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ ජෝෂප් පුවර් ඉල්ලා සිටින්නේ, මිහිතලයට මිනිසාගෙන් වන හානිදායී බලපෑම් අවම කිරීමට තනි පුද්ගලයන් ලෙස ගත හැකි හොඳම පියවර මාංශ රහිත ආහාර පරිභෝජන රටාවකට හුරුවීම බවය. එමඟින් හරිතාගාර වායු විමෝචනයට පමණක් නොව ගෝලීය ආම්ලිකතාව වැඩිවීම, ඉඩම් භාවිතය හා ජලය භාවිතය ආදී තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන්ම වාසිදායක තත්ත්වයක් ඇතිවේ. පුවර් අවධාරණය කරන්නේ, එය ඉලෙක්ට්‍රික් කාරයක් මිලදී ගැනීමටත් වඩා පරිසර හිතකාමී පියවරක් බවය.

ගෝල්ඩ්ස්මිත් සරසවියේ ශිෂ්‍ය සංඛ්‍යාව 10,000 ක් පමණ වේ. දැනට වාර්ෂිකව එම සරසවිය මුදාහරින කාබන් ප්‍රමාණය කි. ග්‍රෑම් මිලියන 3.7 කි. විශ්වවිද්‍යාලයීය අරමුදල් පොසිල ඉන්ධන මත පදනම්ව ලබන ආදායම 10% ට වැඩි සමාගම්වල ආයෝජන කිරීමෙන් වැළැකී සිටීමේ තීරණයක් ද විශ්වවිද්‍යාලය මඟින් ගෙන ඇත. ගෝල්ඩ්ස්මිත් සරසවිය ගත් පරිසර හිතකාමී ක්‍රියාමාර්ග සෙසු සරසවියට ද පළමුව හඳුන්වා දිය හැකි නම් සැලකිය යුතු පරිවර්තනයකට මුලපිරීමට හැකිවනු ඇති බව පෙනී යයි.

ගෝල්ඩ්ස්මිත් සරසවිය ගත් මෙම ප්‍රායෝගික ක්‍රියාමාර්ග තවත් අර්ථවත් වන්නේ උපාධි පාඨමාලාවලදී දේශගුණික විපර්යාස පිළිබඳ හැදෑරීමට ද සිසුන්ට වැඩි අවස්ථා ලබා දී ඇති බැවිනි. එම සෛද්ධාන්තික දැනුම ඔස්සේ ප්‍රායෝගිකවම දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සඳහා දායකවීමට සිසුන්ට අවස්ථාව උදාකර දී තිබේ.

මහාචාර්ය කෝනර් මීට පෙර ලන්ඩන් විලාසිතා කොලීජියේ ප්‍රධානියාව සිටියාය. එහිදී ද ඇය කටයුතු කළේ ‘‘විලාසිතා’’ ක්‍රියාකාරිණියක ලෙස හඳුන්වා ගනිමිනි. කෘත්‍රිම පිහාටු පැලැඳීමේ අවදානම ගැන ඇය අනතුරු ඇඟවූයේ සැබෑ පිහාටු පැලැඳීම සංස්කෘතිකව පිළිගත හැකි යැයි කියමිනි.

ගෝල්ඩ්ස්මිත් සරසවිය මිහිකත රැකගැනීම වෙනුවෙන් තබා ඇති පියවර පරිසර ක්‍රියාකාරිකයන්ගේ ගෞරවයට පාත්‍ර වී තිබේ. එහෙත් මාංශ ආහාර නිෂ්පාදනයන් පමණක් හුවා දක්වමින් එවැනි තීරණයකට යාම පිළිගත නොහැකි බව කියන්නේ ජාතික ගොවි සම්මේලනයේ උප සභාපති ස්ටුවට් රොබට්ස් ය. මෙය සිදු වී ඇත්තේ කරුණු ප්‍රමාණවත් පරිදි වටහා නොගැනීම නිසා බව ඔහුගේ අදහසය. දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදය අපේ කාලයේ බරපතළම අභියෝගයක් බව ඔහු ද පිළිගනී. එහෙත්, මෙය සරල ප්‍රවේශයක් බව ඔහු පවසයි. ‘‘කාබන් පාද සටහන’’ විශ්ලේෂණය කරන විට බ්‍රිතාන්‍ය, මාංශ නිෂ්පාදනයේදී පරිසරයට කාබන් මුදාහරින්නේ ගෝලීය මට්ටමට වඩා 2.5 ගුණයක් අඩුවෙන් බව ඔහු පෙන්වා දේ. මෙහිදී පාරිසරිකව තිරසර ප්‍රමිතීන් පවත්වා ගැනීමට බ්‍රිතාන්‍ය උනන්දු වන බව රොබට්ස් පවසා තිබිණි.

කේම්බ්‍රිජ් හා ඔක්ස්ෆර්ඩ් සරසවි ද මාංශ රහිත සඳුදා දින හඳුන්වා දී ඇත. එඩින්ග්බර්ග් සරසවියේ ධරණීය බව පිළිබඳ අධ්‍යක්ෂ ඩේව් ගෝර්මන් පවසන පරිදි සරසවි ආපනශාලාවල ඇති ආහාර මෙනුවෙන් 40% ක් දැනටමත් නිර්මාංශිකය. එය 50% දක්වා ඉහළට ගැනීමට ක්‍රියාකරමින් සිටින බව ද ඔහු පෙන්වා දේ. වෙස්ට්මිනිස්ටර් සරසවිය නිර්මාංශ ආහාර දිරිගැන්වීමට පියවර ගෙන ඇත්තේ නිර්මාංශ ආහාර වේල් 4 ක් මිලදී ගත් විට තවත් ආහාර වේලක් නොමිලේ ලබා දීමෙනි. මේ වසර මුල පටන් බූවල්ලන් ආහාර මෙනුපතින් ඉවත්කර ගැනීමට ඔවුන්ට හැකි වී ඇත.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දෙන අන්දමට පශු ගොවිපොළ යනු මුල්පෙළේ හරිතාගාර වායු විමෝචනයෙකි. ලොව පානීය ජලය පරිභෝජනයෙන් 1/10 ක්ම පරිභෝජනය කරන්නේ ද ඒවාය. එමෙන්ම විශාල ලෙස වනාන්තර එළිපෙහෙළි වීමට ද එය හේතුවකි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට වනාන්තර විනාශය බලපා තිබේ. ශාක ආශ්‍රිතව ලබාගන්නා ආහාර පරිභෝජනයට මෙන්ම තිරසර ලෙස මාංශ, කිරි වැනි ආහාර පරිභෝජනයට නැඹුරුවීමෙන් වසර 2050 දී භූමියෙන් වර්ග කි. මී. මිලියන ගණනක් නිදහස් කර ගැනීමට හැකිවනු ඇත. ඉකුත් මාසයේ පටන් රටවල් 22 ක ක්‍රියාත්මක වන ‘‘වීවර්ක්’’ නම් සමාගම සිය සේවකයන්ගේ ආහාර වියදම් සම්බන්ධයෙන් නව පියවරක් හඳුන්වා දුන්නේ නිර්මාංශ වීමේ අවශ්‍යතාව දක්වමිනි.

මීට දින කිහිපයකට පෙර තුවාලුහිදී රැස්වූ රටවල් 18 කින් සමන්විත පැසිෆික් දූපත් ජාතීන්ගේ සංසදය අමතමින් නවසීලන්ත උප අගමැතිනි ජෙසිකා අර්ඩර්න් ද දේශගුණික විපර්යාසවලට එරෙහිව ඉක්මනින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව අවධාරණය කළාය. ඕස්ට්‍රේලියා අගමැති ස්කොට් මොරිසන්ගේ රජය දේශගුණික විපර්යාස සම්බන්ධව අනුගමනය කරන පිළිවෙත විවේචනයට ලක්ව තිබියදී ඔහු ද ඊට සහභාගි විය. මෙම එකතුවේ ප්‍රබලයා වන්නේ ද ‍ඔස්ට්‍රේලියාවය. අලුත් ගල්අඟුරු ආකරවලට එරෙහිව කාබන් ශේෂ කරන ඉන්ධන භාවිතයෙන් වැළැකීම සඳහා කාලරාමුවක් පිළියෙල කර ගැනීම ගැන සංසදයට ඉදිරිපත් වූ යෝජනා ඕස්ට්‍රේලියාව පිළිනොගැනීම ග්‍රීන්පීස් ක්‍රියාකාරී ජෝෂප් මොයිනෝ වැනි පරිසර ක්‍රියාකාරීන්ගේ විරෝධයට හේතු වී තිබේ.

‘‘දේශගුණික විපර්යාසවලට එරෙහි එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී සංසදය’’ ලබන මස රැස්වූ විට ඊට ශක්තිමත් ප්‍රකාශයක් ඉදිරිපත් කිරීමට තමන්ට හැකිවනු ඇතැයි ‘‘පැසිෆික් සංසදයේ’’ සාමාජික රටවල් අදහස් කරති.

පෘථිවි වායුගෝලයේ ඇති කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය වසර මිලියන 3 ක කාලසීමාවක් තුළ වැඩිම අගය සටහන් කළේ 2018 වර්ෂයේදීය. ඒ, කොටස් මිලියනයකට 408 ක් වශයෙනි. මෙතෙක් වාර්තා වූ උණුසුම වැඩිම වසර ලෙස සටහන් වන්නේ 2016 වර්ෂයයි.

උණුසුම වැඩිම වසර 18 න් 17 ක් ම වර්ෂ 2000 න් පසු වාර්තා වී තිබේ. හරිතාගාර වායු විමෝචනයට අදාළව 11% ක පංගුවක් වනාන්තර විනාශ කිරීම හේතුවෙන් පරිසරයට නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් නිසාය. එය සියලු කාර් සහ ට්‍රක් රථවලින් නිදහස් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමානය. ඇමේසන් වනය කාබන් ගබඩාකර ගන්නා බලාගාරයක් බඳුය. එහි ඇති ගස්වලින් 1% ක් එම කලාපයේ කාබන්වලින් 50% ක්ම අවශෝෂණය කරයි. ලෝක ජනගහනය මේ වන විට මිලියන 800 කි. ඉන් 11% ක් දේශගුණික විපර්යාස නිසා ඇතිවන නියඟය, ගංවතුර වැනි ආපදාවලින් පීඩා විඳිති. ලෝකයේ වනාන්තර ගහනයෙන් 0.7% ක් මුහුදුබඩ කඩොලාන ප්‍රජාවය. ඒවා නිවර්තන වනාන්තරවලට වඩා දස ගුණයකින් (හෙක්ටයාරයකට කාබන් ප්‍රතිශතය) අවශෝෂණය කර ගනී. සෑම වසරකදීම වෙරළාසන්න පරිසර පද්ධතියට අයත් ප්‍රදේශයෙන් නිව්යෝර්ක් නගරය තරම් විශාල වපසරියක් විනාශයට පත් වේ. පරිසර පද්ධති සංරක්ෂණය වෙනුවෙන් දැරීමට සිදුවන වියදම එම විනාශය නිසා ඇතිවන බලපෑම් වළක්වා ගැනීමට මිනිසා දරන වෑයමට දරන වියදමට වඩා බෙහෙවින් අඩුය. නිදසුනක් ලෙස මාලදිවයින රැකගැනීමට වෙරළ තීරය වටා පවුරක් ඉදිකිරීමට ඇ. ඩො. බිලියන 2.2 ක් වැය වෙතැයි ගණන් බලා තිබේ. වසර 10 ක් එම පරිසර පද්ධති රැකගැනීමට දරන වියදම වුව ඊට වඩා හතර ගුණයකින් අඩුය. දේශගුණික විපර්යාස මෙතරම් අභියෝගයක් වී ඇත්තේ ලෝකයේ රටවල් 195 ක්ම පැරිස් සම්මුතියෙන් බැඳී සිටියදීය.

ලන්ඩන් සරසවිය තැබූ පියවර ලොවටම ආදර්ශයක් විය යුත්තේ මෙවැනි පසුබිමකය.

නව අදහස දක්වන්න