මෙරට විශා­ල­තම තාක්ෂ­ණික අභ්‍යාස ආය­ත­නය ජන­පති-අග­මැති ප්‍රධා­න­ත්ව­යෙන් හෙට ජනතා අයි­ති­යට | දිනමිණ

මෙරට විශා­ල­තම තාක්ෂ­ණික අභ්‍යාස ආය­ත­නය ජන­පති-අග­මැති ප්‍රධා­න­ත්ව­යෙන් හෙට ජනතා අයි­ති­යට

 

තාක්ෂණික නවෝදයට පාර තනන දැයේ නිපුණතා තක්සලාව, කොරියානු - ශ්‍රී ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය හෙට (20) ජනතා අයිතියට පත් කිරීමට නියමිතය. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි. මේ තාක්ෂණික අභ්‍යාස ආයතනය ඔරුගොඩවත්ත මං සන්ධියේ ස්ථාපිත කොට ඇත. මේ වෘත්තීය පුහුණු ආයතනය ඉදි කිරීම සඳහා අමෙරිකානු ඩොලර් 11,571,581ක මුදලක් වැය කොට ඇත. කොරියානු එක්සිම් බැංකුව ඒ සඳහා අධාර සපයා ඇත.

කොරියානු - ශ්‍රී ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය ජනතා අයිතියට පත් කිරීම සම්බන්ධයෙන්, නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු නියෝජ්‍ය ඇමැති කරුණාරත්න පරණවිතාන මහතා මෙසේ සඳහන් කළේය.

මේ කොරියානු - ශ්‍රී ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය අලුත් වැඩ සංස්කෘතියක් නිර්මාණය කරනවා. අලුත් ඉගෙනුම් සංස්කෘතියක් නිර්මාණය කරනවා. මෙහි උගන්වන පාඨමාලා සියල්ල ලෝකයේ නව වැඩ ලෝකයට ගැළපෙන පාඨමාලා. ලෝකය වර්තමානයේ මුහුණ දෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි නිපුණ ශීල්පීන්ගේ හිඟය. විශේෂයෙන් මෝටර්, ඉදිකිරීම්, පරිගණක ඉංජිනේරු යන ක්ෂේත්‍ර මුහුණ දෙන ප්‍රධාන අභියෝගය නිපුණ ශීල්පීන් නොමැතිවීම. මේ කොරියානු - ශ්‍රී ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය ඒකට හොඳ පිළියමක්. මින් මුදා හරින්නේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු කුසලතාවෙන් පිරිපුන් ශීල්පීන්. මේ අයට ලෝකයේ ඕනම තැනක සේවය කළ හැකියි.

කොරියානු - ශ්‍රී ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය යටතේ Automotive Technology, Pneumatic Hydraulic Technology, Automation and Robotic Technology, Computer Numerical Countrol (CNC), Technology, Welding Technology, Refrigeration & A/C Technology, Electrical Technology, MechalaonicTechnology, The Automation andRobotic Technology, pneumatic and Hydraulic Technology ඇතුළු අති නවීන තාක්ෂණික පාඨමාලා රැසක් පැවැත්වීමට අපේක්ෂිතයි. මේ ඩිප්ලෝමා පාඨමාලා හැදැරීම සඳහා ජාතික වෘත්තීය සුදුසුකම් වන NVQ 3,4 ලබාගෙන තිබීම හෝ අ. පො. ස. උසස් පෙළ විෂයන් තුනක් සමත්ව තිබීම සුදුසුකම් වේ. මේ සඳහා තෝරා ගැනීමේ පරීක්ෂණයකින් අනතුරුව සිසුන් පාඨමාලාව සඳහා යොමු කෙරේ. පූර්ණකාලීනව හා අර්ධකාලීනව පවත්වනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවලට සිසුන් ඇතුළත් කර ගැනීමට නියමිතයි. මෙහි විශේෂත්වය වන්නේ පූර්ණකාලීන පාඨමාලාව නොමිලේ ලබා දීමයි. එහෙත් අර්ධකාලීන පාඨමාලාව සඳහා ගාස්තු අය කර ගැනේ.

සිසුන්ට අධ්‍යයන කටයුතු සඳහා අවශ්‍ය බොහෝ පහසුකම් කොරියානු - ශ්‍රී ලංකා තාක්ෂණික අභ්‍යාස ආයතනය කටයුතු යොදා තිබේ. දේශන ශාලා, සම්මන්ත්‍රණ ශාලා, ශ්‍රවණාගාර, පුස්තකාල, ආපනශාලා, නවීන මුලුතැන්ගෙයි, නවාතැන් පහසුකම් හා තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක් ද ආයතනය තුළ පවතියි.

නව අදහස දක්වන්න