මාලඹේ-කොළඹ සැහැල්ලු දුම්රිය සේවයේ ඉදි­කි­රීම් ඇරැඹේ | දිනමිණ

මාලඹේ-කොළඹ සැහැල්ලු දුම්රිය සේවයේ ඉදි­කි­රීම් ඇරැඹේ

ඩොලර් බිලි­යන 2.2ක ආයෝ­ජ­න­යක්  
 

මාලඹේ කොළඹ සැහැල්ලු දුම්රිය පද්ධතියේ මූලික අදියරේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇත. එහි ඉංජිනේරුමය සැලසුමට අනුව දුම්රිය ධාවනය සඳහා කණු ඉදි වන ස්ථානයන් හි පූර්ව විශේෂ පරීක්ෂණ කටයුතු (Bore hole Testing) සිදු කෙරෙමින් පවතී. මේ අනුව ස්ථාන 200ක් පරීක්ෂා කරන අතර, එම කටයුතු විශේෂඥ දැනුම ඇති ආයතන 5ක් විසින් සිදු කරනු ලබයි. ඉදිකිරීම් කටයුතු මහජනතාවගේ එදිනෙදා කටයුතුවලට බාධාවක් නොවන අයුරින් සිදු කරන අතර, මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක කරනු ලබයි. මේ ව්‍යාපෘතිය මගින් මාලඹේ සිට කොළඹ කොටුව දක්වා කි. මී. 16ක් දුර නව දුම්රිය මාර්ගයක් ඉදි කරනු ඇති අතර, ඒ මත මේ නවීන සුඛෝපභෝගී සැහැල්ලු දුම්රිය සේවාව ආරම්භ කරනු ඇත. දුම්රිය මාර්ගය දැනට පවතින මහා මාර්ගවල මධ්‍යයේ ඉදි කෙරෙන කොන්ක‍්‍රීට් කුලුනු මත ඉදිකෙරේ. ගමනාන්ත දෙක අතර දුම්රිය නැවතුම් පොළ 16ක් ඉදි කෙරෙන අතර, මාලඹේ චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ආසන්නව දුම්රිය නඩත්තු හා සේවා සඳහා අංගණයක් ද ඉදි කෙරේ. ජපන් තාක්ෂණයෙන් නිෂ්පාදනය කරනු ලබන සුඛෝපභෝගී සැහැල්ලු විදුලි දුම්රිය මෙහි ධාවනය සඳහා යොදාගනු ලබයි. ආරක්ෂාකාරී සහ සුවපහසු ප‍්‍රවාහන සේවාවක් මෙමගින් සැපයේ.

මේ සැහැල්ලු දුම්රිය පද්ධතිය 2025 වර්ෂය වන විට මහජනතාව සඳහා විවෘත කිරීමට හැකි වනු ඇත. කණු මත ඉදි වන දුම්රිය මාර්ගය මීටර් 8.4ක පළලින් සමන්විතය. ධාවනය සඳහා දුම්රිය කට්ටල 25ක් යොදා ගැනීමට නියමිත අතර, ඒවා දුම්රිය මැදිරි 4 කින් සමන්විත වරකට මඟීන් 800ක් පමණ රැගෙන යෑමේ ධාරිතාවකින් යුක්තය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය නිම වූ පසු කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මාලඹේ IT Park දුම්රිය ස්ථානයට ගමන් කිරීමට ගත වන කාලය මිනිත්තු 32කි. කාර්ය බහුල වේලාවන් තුළ සෑම මිනිත්තු 3කට වරක්ම දුම්රියක් දුම්රිය ස්ථානවලට ළඟාවනු ඇත. කාර්ය බහුල නොවන වේලාවන්වල සීමා සහිත නැවතුම් දුම්රියක් හඳුන්වා දීමට අපේක්ෂා කරන අතර, එය මිනිත්තු 28ක් තුළදී කොළඹ කොටුව සිට IT Park දුම්රිය ස්ථානය දක්වා ගමන් කරනු ඇත. මේ ව්‍යාපෘතිය කාන්තාවන්, දරුවන් සහ අනෙකුත් ආබාධිත පුද්ගලයන්ට පහසුකම් සපයන සේවාවක් ලෙස ඒ සඳහා වූ ජාත්‍යන්තර ප‍්‍රමිතිවලට අනුගත වෙමින් නිර්මාණය කරනු ඇත. ව්‍යාපෘතියේ මුළු ආයෝජනය අමෙරිකානු ඩොලර් බිලියන 2.2ක් පමණ වන අතර, එම මුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 1.85ක ප‍්‍රමාණයක් ජපන් ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (ජයිකා) විසින් සහනදායි ණයක් ලෙස ලබා දෙනු ලබයි. මේ ණය මුදල සිවිල් වැඩ සහ උපකරණ සඳහා පොලී අනුපාතය වාර්ෂිකව 0.1%ක් ද, උපදේශන සේවා සඳහා පොලී අනුපාතය වාර්ෂිකව 0.01%ක් ද සහිතව ලබා දෙනු ලැබේ. මේ ණය මුදල පියවීමට අවුරුදු 40ක ආපසු ගෙවීමේ කාලයක් ලබා දී ඇති අතර, අවුරුදු 12ක සහන කාලයක් ඒ සඳහා ඇතුළත්ව ඇත.

මෙමගින් ජනතාව පෞද්ගලික වාහන භාවිතය වෙනුවට පොදු ප‍්‍රවාහන ක‍්‍රමය සමඟ සම්බන්ධවීමත්, නාගරික රථවාහන තදබදය අඩුවීමත් හේතුවෙන් ඉන්ධන දහනය අඩු වී කාබන් විමෝචනය අඩු වනු ඇත. ඇස්තමේන්තුවලට අනුව ව්‍යාපෘතිය හේතුවෙන් කාබන් විමෝචනය වසරකට ටොන් 53,929කින් අඩු වනු ඇත. ඒ අනුව කොළඹ සැහැල්ලු දුම්රිය සේවය පරිසර හිතකාමී ව්‍යාපෘතියක් වන අතරම එම ව්‍යාපෘතිය හේතුවෙන් රථවාහන අනතුරු ද අඩු වනු ඇත.

නව අදහස දක්වන්න