තෘප්තිමත්ව වැඩ කරන රාජ්‍ය සේවයක් ඇති කිරීම අපේක්ෂාවයි | දිනමිණ


 

තෘප්තිමත්ව වැඩ කරන රාජ්‍ය සේවයක් ඇති කිරීම අපේක්ෂාවයි

රක්ෂණ ශ්‍රියන්ත

මරදාන තනිකඩ භට නිවාස සංකීර්ණය විවෘත කරමින් ජනපති කියයි

පොලිස් නිලධාරීන් ඇතුළු සියලු රජයේ සේවකයන් වෙත යහපත් මානසිකත්වයකින් යුතුව තෘප්තිමත් සේවාවක නිරතවීමට අවස්ථාව සලසා දීම තම අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රාජ්‍ය නිලධාරීන්ට රාජකාරිමය වශයෙන් මෙන්ම පෞද්ගලික ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ද අවශ්‍ය පහසුකම් සැපයීම තුළින් උපරිම සහ ඵලදායී මහජන සේවාවක් ජනතාවට හිමි වන බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ පොලිස් නිලධාරීන් සඳහා සුබසාධන පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණ පෙරදැරිව ඉදි කරන ලද මරදාන තනිකඩ භට නිවාස සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය දා (16) පස්වරුවේ එක් වෙමිනි.

මහල් 10කින් සමන්විත මේ නිවාස සංකීර්ණය නිලධාරීන් 1174 දෙනකු හට නවාතැන් පහසුකම් සපයා තිබෙන අතර, සියලු පහසුකම්වලින් සමන්විතව ඉදිකර තිබෙන නිවාස සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 350කි.

සමරු ඵලකය නිරාවරණය කර නිවාස සංකීර්ණය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

මේ අතර පොලිස් නිලධාරීන් සඳහා සුබසාධන පහසුකම් වැඩි දියුණු කිරීමේ අරමුණ පෙරදැරිව ඉදිරන ලද මට්ටක්කුලිය වෙරළබඩ විවාහක පොලිස් නිල නිවාස සංකීර්ණය විවෘත කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි. මහල් 11 කින් යුත් මේ නිවාස සංකීර්ණය විවාහක නිල නිවාස 60කින් සමන්විත අතර, පොලිස් පරීක්ෂකවරුන් සඳහා නිවාස 18ක් ද, ඉන් පහළ ශ්‍රේණි සඳහා සෙසු නිවාස ද පිරිනමා තිබේ. සියලු පහසුකම්වලින් සමන්විත එම නිවාස සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 407කි.

සමරු ඵලකය නිරාවරණය කර එම නිවාස සංකීර්ණය ද විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අතර නිවාසලාභියකු වෙත යතුර ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.

මේ අවස්ථාව සනිටුහන් කරමින් නිවාස සංකීර්ණ පරිශ්‍රයේ පැළයක් රෝපණය කිරීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා,

පොලිස් සේවාව ශක්තිමත් කිරීමේ කාර්යයේ දී ප්‍රධාන වශයෙන්ම සේවාවේ යෙදී සිටින ඉහළ සිට පහළට පහළ සිට ඉහළට ඒ සෑම කෙනකුටම සිය සේවාවේ තෘප්තිමත් භාවයන් මානසික තෘප්තියක් අතුව වැඩ කිරීමට නම් ඒ අවශ්‍ය පසුබිම යහපත් පරිසරයක් හැදෙන්නට ඕන. ඒක පොලිසියේ පමණක් නොවෙයි ඕනෑම සේවාවක රාජ්‍ය සේවයේ වෙන්න පුළුවන් පෞද්ගලික අංශයේ වෙන්න පුළුවන් ඒ විතරක් නෙවෙයි සාමාන්‍යයෙන් ගෙදරක පවුල් ජීවිතයක් ගත්තොත් පවුල් සංස්ථාවක මව පියා සහ දරුවන් ඒ පවුල් ජීවිතය සාර්ථක වෙන්නත් ඒ පවුලේ සියලු දෙනාට තිබිය යුතු මානසික තෘප්තිය යහපත් බව ඉතාමත් අවශ්‍යයි. පසුගිය මාසය තුළ මාසයක් ඇතුළත ගුවන් හමුදාවේ යුද හමුදාවේ සේවය කරන භටයන් කිහිප දෙනකුම සිය දිවි නසා ගත්තා. සිය දිවි නසා ගත්තේ තමාගේ අතේ තියෙන ආයුධයම තමන් පාවිච්චි කරලා.

සොයල බලපුවාම එම සිද්ධීන්වල දී පැහැදිලි වෙන්නේ ඔවුන්ගේ තිබෙන තිබූ ප්‍රේම සම්බන්ධතාවක් මත ඇති වෙච්ච සිත් වේදනා නිසා සිය දිවි නසා ගත්තා කියලා. ප්‍රේම සම්බන්ධතාවන් මත වුවත් ත්‍රිවිධ හමුදාව පොලිසිය වුවත් මේ සේවාවන්වල යෙදී සිටින අයගේ එවැනි තත්ත්වයක් එවැනි මානසික තත්ත්වයක් ඇති වෙනවා නම් යම් කිසි දෙයක් තමන්ට විද දරා ගැනීමට නොහැකියාව, ඒක තමයි ප්‍රශ්නය.

තමන්ට ඇති වන යම් කිසි ප්‍රශ්නයක් ගැටලුවක්, මානසික වේදනාවක්, එය තමන්ට ඔරොත්තු නොදෙන තත්ත්වයක්, එය විද දරා ගැනීමට නොහැකිකම. ඒ නිසා තමා තමාගේ අතේ තියෙන ආයුධයම තමාගේ ජීවිතයම විනාශ කරන්න පාවිච්චි කරන්නේ. මේක පොලිස් දෙපාර්තමේන්තුවේ ඔබ මට වඩා හොඳින් දන්නවා. පසුගිය අවුරුදු හතළිහක් පනහක් ගත්තොත් සඛ්‍යාත්මකව විශාලයි ඒ විදියේ සේවයේ යෙදී සිටින අවස්ථාවල්වල සිය දිවි නසා ගැනීම්. එහෙම නම් අපි කල්පනා කරන්නට ඕන ප්‍රධාන වශයෙන්ම මේ මානසික තෘප්තිය නිදහස් පරිසරය තෘප්තිමත් සේවාව ඉටු කිරීම සඳහා ඒ අවශ්‍ය පරිසරය සකස් කිරීමේ වැදගත්කම. ඒ පරිසරය සකස් කර ගත්තේ නැත්නම් යහපත් සේවාවක් ඉෂ්ඨ කර ගැනීමේ හැකියාව ලැබෙන්නේ නැහැ. පාසල් යන පාසල් දරුවකුට වුණත් උදේ නැඟිටලා සතුටෙන් පාසලට යන්න ඒ දරුවාට නිවෙස තුළ මවුපියන්ගේ යහපත් පරිසරයක් තිබෙන්න ඕන.

සමහර වෙලාවට පන්තියේ වැඩ කරන සිසුන් පිළිබඳව ගුරුවරයා අදුර ගන්නවා සිසුන්ව. දක්ෂ සිසුන් දුර්වල සිසුන්. ඒ වගේම පන්තියේ කටයුතු නොකරන සිසුන් වුවමනාවක් නොමැති අය ඒ විදියට ගුරුවරයා තමන්ගේ පන්තියේ සිසුන් ගැන දන්නවා. එහිදීත් ප්‍රධාන වශයෙන් දරුවාගේ මානසික තත්ත්වය එළි දැක්වෙන්නේ ඇයි. ඒ වගේම තමයි දෙපාර්තමේන්තුවක් ආයතනයක් රජයේ ආයතනයක් පෞද්ගලික ආයතනයක් ආයතනයක ප්‍රධානි ප්‍රධාන වශයෙන්ම තමාගේ කාර්ය මණ්ඩලය තමාගේ යටතේ සිටින අය ඔවුන්ගේ තිබෙන සේවාවේ වැදගත්කම වගේම ඒ සේවාව නිසි ලෙස ලබා ගැනීම සඳහා තමාගේ කාර්ය මණ්ඩල මුහුණ දෙන ගැටලු ප්‍රශ්න මොනවාද කියන එක හඳුනා ගැනීම ඉතා අත්‍යාවශ්‍ය දෙයක්.

මේ නිවාස ලබා දුන්නා. මේ සේවාවෙ ඉන්න අයට උදේට නැගිට්ටාම වැසිකිළියට යන්න පෝළිම නම් ඉන්න තැන ඒක ප්‍රශ්නයක්. නාන්න පෝළිමේ ඉන්න ඕන නම් ඒක ප්‍රශ්නයක්. වෙලාවට කොහොමද වැඩට යන්නේ. වෙලාවට කොහොමද ඩියුටි භාර ගන්නේ, දවසේ වැඩ ටික කරන්නේ කොහොම‍ද ඒ යහපත් මානසික තත්ත්වය ඇති වෙන්න පරිසරය තුළ සකස් විය යුතු කරුණු රාශියක් තිබෙනවා.

ඒ භෞතික සම්පත්වල පහසුකම් වගේම අනිත් පැත්තෙන් ගත්තොත් අධ්‍යාත්මික වශයෙන් මානසික වශයෙන් ඕනෑම සේවාවක යෙදී සිටින කෙනකුට තමාගේ සේවාවට සාර්ථකත්වයක් දෙන්න වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා දෙන්න තිබෙන බාධාවන් සහ ගැටලු, ඒවා එක පැත්තකින් ඒ සේවයේ යෙදී සිටින්නා තමා සිතන්න ඕන තමාට තිබෙන ප්‍රශ්න මොනවාද ඒවා කොහොමද විසඳා ගන්නේ. අනිත් පැත්තෙන් ප්‍රධාන වශයෙන්ම ආයතන ප්‍රධානීන් මූලික වශයෙන්ම තමාගේ කාර්ය මණ්ඩලයට පෞද්ගලිකව දෛනිකව මුහුණ දෙන්න තිබෙන සේවාව නිසි ලෙස ඉටු කරන්න තිබෙන යම් යම් අසීරුකම් මොනවද? ඒවාට දිය හැකි උදව් මොනවාද? සහයෝගය මොනවාද? ඒ අවශ්‍ය පහසුකම් මොනවාද? මේ කරුණු බොහෝ විට සැලකිල්ලට ගැනීම අවශ්‍ය වෙනවා.

සාමාන්‍යයෙන් වත් පොහොසත්කම් තිබෙන මහා ලොකු ධනපති පවුල්වල දරුවො පොලිසියේ සේවයට එන්නේ නැහැ. ත්‍රිවිධ හමුදාවේ සේවයට එන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි රාජ්‍ය සේවයට එන්නෙත් නැහැ. රාජ්‍ය සේවයේ පහළ තනතුරුවලට. බොහෝ වෙලාවට අපි දන්නවා සාමාන්‍ය පන්තියේ දුප්පත් පන්තියේ සාමාන්‍ය පොදු ජනතාව අතරෙ ඒ පවුල්වලින් තමයි මේ සියලු ආයතන නියෝජනය වෙන්නේ. පොලිස් සේවාව ගත්තාම පොලිස් දෙපාර්තමේන්තුවේ මම හිතන්නේ අසූ පන්දහසක් විතර ඉන්නවා. මේ රටේ රාජ්‍ය සේවය ගත්තාම අද ලක්ෂ දහසයක් ඉන්නවා.

රාජ්‍ය සේවයේ තමයි පොලිසියත්, රාජ්‍ය සේවයේ තමයි ත්‍රිවිධ හමුදාවත්. නමුත් සාමාන්‍ය රාජ්‍ය සේවයේ සිවිල් සේවාවන්වල සිටින කාර්ය මණ්ඩල සහ ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සේවාවන් ඊට වඩා බොහෝ හාත්පසින්ම වෙනස් තත්ත්වයන් ඇති කරනවා. ඒ තුළත් නිල ඇඳුම අදින රාජ්‍ය නිලධාරීන් නිල ඇඳුම් අදින්නේ නැති රාජ්‍ය නිලධාරීන්ට වඩා වෙනස් තත්ත්වයක් තිබෙනවා.

ප්‍රධාන වශයෙන්ම තමාගේ පෞරුෂත්වය විනය චරිතවත් භාවය මේ සියල්ල පිළිබඳ නිල ඇඳුම් අදින රාජ්‍ය නිලධාරීන් රාජ්‍ය සේවකයා ප්‍රධාන චරිතයක්. අපි ඉතාම පැහැදිලිව දන්නවා පොලිස් දෙපාර්තමේන්තුව විදියට ගත්තාම පොලිස් දෙපාර්තමේන්තුවේ වැඩ කරන අය විදියට දුක් ගැහැට කරදර මොනවද කියන එක. මට වඩා ඒ ගැන බොහෝ හොඳින් දන්නේ ඔබ. සාමාන්‍ය රාජ්‍ය සේවය ගත්තොත් ලක්ෂ දහසයක රාජ්‍ය සේවය පැය අටේ සේවය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක රාජයේ දෙපාර්තමේන්තුවක එහි තිබෙන ස්වභාවය සහ පොලිසිය රාජ්‍ය සේවයේ දෙපාර්තමේන්තුවක් වුවත් පොලිසියේ සේවයේ තිබෙන ස්වභාවය බොහෝ වෙනස්. සමහර වෙලාවට සමහර අවස්ථා නින්දක් නැතිව සමහර විට සේවයේ යෙදී සිටින්න සිදුවන වෙලාවල් තිබෙනවා.

විශේෂ රාජකාරිවලට ගියාම මුහුණ දෙන ගැටලු ප්‍රශ්න රාශියක් තිබෙනවා. ප්‍රභූ ආරක්ෂක සේවාව ජනාධිපති ආරක්ෂක සේවය ද අගමැති ආරක්ෂක සේවය ද එහෙම නැත්නම් ඇමැතිවරයකුගේ ප්‍රභූ ආරක්ෂක සේවාව ද ඒ සේවාවන්, ඊළඟට අපි ගත්තොත් අවසන් වෙච්ච නුවර පෙරහර ඒ වගේ අවස්ථාවන්වල දී පොලිසියේ සාමාන්‍ය රාලහාමි කෙනකුගේ ජීවිතය ඒ පැය ගාණ කොයි විදියටද ගෙවෙන්නේ. නුවර පෙරහර අවසන් කර දියවඩන නිලමේවරයා වාර්තා කරන්න පැමිණි උත්සවයේදීත් මම මේ ගැන කතා කළා.

මොකද ජාතික ආරක්ෂාව රටේ ආරක්ෂාව ඒ වගේම මහනුවර පෙරහර පිළිබඳව තිබූ යම් යම් කට කතා විවේචන ආරක්ෂාව පිළිබඳ තිබූ විවේචන ඒවා සැලකිල්ලට ගත් විට ඉතාම සාර්ථක ලෙස පෙරහර ඉතා හොඳින් ඉටු කළා කියලා වාර්තා කරන විට මම ඒ සියලු දෙනාටම කිවුවේ පෙරහර මේ විදියට පවත්වන්න කවුද කැප වුණේ, වැඩියෙන්ම කවුද මහන්සි වුණේ, කැලෑ අස්සේ අකුල් අස්සේ මුඩුක්කු අස්සේ කානු අස්සේ නොයෙක් නොයෙක් සාමාන්‍ය මිනිසෙකුට ඉන්නවත් බැරි හිටගෙන ඉන්නවත් බැරි ඉදගෙන ඉන්නවත් බැරි තැන්වල කන්න ටික නැතිව, වතුර ටික නැතිව, නින්දක් නැතිව, ඔළුව කැක්කුමක් හැඳුනොත් පැනඩෝල් පෙත්තක් නැතිව ඒ සේවාව ඉෂ්ඨ කරනවා ඉෂ්ඨ කරන්න වෙලා තිබෙනවා. මේ තත්ත්වයන් ප්‍රධාන වශයෙන් සේවාවේ යෙදී සිටින අය අත් විඳිනවා වගේම මේ සේවාවේ තිබෙන දුෂ්කරතා සහ ගැටලු පිළිබඳව එහි අභියෝගතා තත්ත්වය පිළිබඳව රටේ සාමාන්‍ය ජනතාවත් දැනුවත් වෙන්නට ඕන.

මහ පාරේ සේවය කරන පොලිසියේ රාලහාමි කෙනකු රථවාහන අංශයක ඉන්න ඒ ඉන්න පැය ගාණ කොයි තරම් අසීරුවෙන් අමාරුවෙන් ඉන්වාද, කට්ට අවුවේ සමහර විට වතුර ටිකක් නැහැ බොන්න, සමහර වෙලාවට ඒ වෙලාවේ පාරෙ යන ලොකු මහත්තයෙක් මහාචාර්යවරයෙක් වෙන්න පුළුවන්, ඉංජිනේරුවරයෙක් වෙන්න පුළුවන්, ලොක්කෙක් වෙන්න පු‍ළුවන් නමුත් රථ වාහන පැදවීමේදී වැරැද්දක් කළොත් සමහර වෙලාවට පොලිසියේ රාලහාමිට කුණු හරුපයකුත් කියලා ලොකුකම පෙන්නගෙන යන්න යනවා. ඒක තමයි ස්වභාවය.

 ඒ කොතරම් ලොකුකම් තිබුණත් නිල තලවල ලොකුකම් තිබුණත් ඉහළ තනතුරු දැරුවත් සමහර අය මනුෂ්‍යත්වය තුළ වැඩ කරන්නේ නැහැ. මිනිස්කම කියන එක විභාගවලින් ගන්න එකක් නෙවෙයි. මනුෂ්‍යත්වය මිනිස්කම කියන එක මිනිසකුට ආදරය දයාව සෙනෙහස මේ සේවයේ යෙදී සිටින කෙනකුගේ ඒ තිබෙන අසීරුකම් අමාරුකම් සමහර වෙලාවට ලොකු මහත්වරු දන්නෙත් නැහැ.

එතන දී හිතන්නේ තමන් නිවැරැදිකාරයා නැත්නම් තමාගේ ගමන තමයි හරි. එහෙම සිතන උගතුන් ඕන තරම් ඉන්නවා. ඒ නිසා මේ සේවාවල තිබෙන දුෂ්කරතාව ගැන රජය රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ මේ සේවාවන්වල යෙදී සිටින අයට දිය හැකි සෑම පහසුකමක්ම දීම ඉතාමත් අත්‍යවශ්‍යයි. පොලිසිය ගත්තොත් ශ්‍රී ලංකාවේ පොලිසි හාරසිය ගාණක් ද කොහෙද තිබෙන්නේ. මම දන්නවා මේ පොලිසිවලින් සියයට අනූවකම නිවාස ප්‍රශ්නය තිබෙනවා.

නාගරික ප්‍රදේශවල ඉතාමත් බරපතළයි නිවාස ප්‍රශ්නය. ඒ නිසා තමන්ට අඩු තරමින් ඉන්න දරුවොත් එක්ක නිවාසයේ ප්‍රශ්නයවත් විසඳිලා නැත්නම් ඒක මානසික වශයෙන් මොනතරම් ප්‍රබල ප්‍රශ්නයක්ද?. මාසේ ගන්න පුංචි පඩියත් එක්ක ණය බේරලා දරුවන්ගේ අධ්‍යාපනය ලෙඩ රෝගවලට වියදම් කරන්න අනිකුත් වෙනත් පෞද්ගලික දේවල්වලට වියදම් කරන්න මේ පුංචි වැටුප කොතෙක් දුරට ඔරොත්තු දෙනවාද?. එහෙම නම් රජයක වගකීම වෙනවා පුංචි වැටුපක් ගන්න කෙනකුට රජය මගින් සැපයිය යුතු අනෙකුත් පහසුකම් සැපයීම පිළිබඳව. සාමාන්‍ය වශයෙන් ඔබ දන්නවා රටක් විදියට අපි රජයත් ආර්ථික වශයෙන් හොඳ තැනක නෙමෙයි ඉන්නේ රජයේ ආර්ථික තත්ත්වය හොඳ නම් මේ තිබෙන ප්‍රශ්න විසඳන්න කිසිසේත්ම ප්‍රමාද වෙන්නේ නැහැ.

ප්‍රමාද කරන්නෙත් නැහැ. නමුත් රජයෙත් ආර්ථික වශයෙන් බරපතළ අමාරුකම් තිබෙන විට රාජ්‍ය සේවයේ අවශ්‍ය පහසුකම් විතරක් නෙවෙයි පොලිසියේ අවශ්‍ය පහසුකම් විතරක් නෙවෙයි වෙනත් විවිධ අත්‍යවශ්‍ය සේවාවන්වල බොහෝ අඩුපාඩුකම් ඒ නිසා ඇති වෙනවා. ඒ නිසා මේ තත්ත්වයන් අපි සැලකිල්ලට අරගෙන කටයුතු කිරීම අවශ්‍යයි.

ඒ වගේම මට මතකයි පසුගිය දිනවල මාධ්‍ය තුළත් විවේචනයට ලක් වුණා. ඒ වගේම සේවාවේ යෙදී සිටින දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණිවල නිලධාරීන් සමහර වෙලාවට හමු වුණාම පෞද්ගලිකවත් කියලා තිබෙනවා ඒ තමන්ගේ සේවාවේ තිබෙන උසස්වීම් දීමනා ඒ පහසුකම් පිළිබඳ. අපි කැබිනට් මණ්ඩලය මේ ගැන තීන්දුවක් ගත්තා කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඊළඟට භාණ්ඩාගාරයට ගියාම භාණ්ඩාගාරයේ තමයි ප්‍රමාදය තිබෙන්නේ. භාණ්ඩාගාරයට සල්ලි නැහැයි කියන ප්‍රශ්නය. විශාල සංඛ්‍යාවක් ඉන්නවා එක අවුරුද්දක කොහොමද මෙහෙම දෙන්නේ කියලා.

ඒ නිසා අපි පොලිස්පතිවරයාත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරී මහත්වරු කිහිපදෙනකු අපි සාකච්ඡා කළා. මේක එහෙමනම් කණ්ඩායම් තුනකටවත් බෙදලා භාණ්ඩාගාරයෙන් අවස්ථා තුනකවත් ඒ මුදල් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සකස් කරමුයි කියලා. ඒ ප්‍රශ්නය කිසිසේත්ම අමතක කරලා නෙමෙයි. නොසලකා හැරලා නෙවෙයි. එය බරපතළ ප්‍රශ්නයක් බව අපි දන්නවා. එය ඉක්මනින් විසඳිය යුතු ප්‍රශ්නයක් බව අපි දන්නවා. නමුත් භාණ්ඩාගාරයේ තිබෙන තත්ත්වයත් බොහෝ වෙලාවට මේ සේවාවන්වලට හරස් වෙනවා.

අපි දැකලා තිබෙනවා රජයේ ආයතනවල ගොඩනැගිලි හදන්න පටන් ගත්තාම මේ ගොඩනැගිල්ල හදන්න පටන් අරගෙන අවුරුදු අටක්. ඇයි ඒ අවුරුදු අටක් යන්නේ, දැන් මේ ගොඩනැගිල්ල මුල්ගල තියලා අද විවෘත කරන්නේ අවුරුදු අටක් ගිහිල්ලා. ඇයි ගොඩනැගිල්ලේ වැඩ ඉවර වෙන්න අවුරුදු අටක් යන්නේ. මේක ඔබේ සේවාවේ ගොඩනැගිලි විතරක් නෙවෙයි සමහර වෙලාවට පාසල් ගොඩනැගිලි තිබෙනවා. මම විවෘත කරන්න ගියාම කියනවා ජනාධිපතිතුමා මේක මුල්ගල තිබ්බේ අවුරුදු දහයකට ඉස්සර වෙලා කියලා.

ඒකට හේතුව වාර්ෂිකව අවශ්‍ය ප්‍රතිපාදන ලැබෙන්නේ නැති එක. වාර්ෂික අය වැයෙන් වෙන් කරන්න අවශ්‍ය මුදල් නොමැතිකම. මේක රජයේ ගොඩනැගිලිවලට තදින්ම බලපාන ප්‍රශ්නයක් අවුරුදු පහ දහය දොළහ සමහර වෙලාවට ඊටත් වැඩිය වැඩ පටන් අරගෙන ගොඩනැගිලි අවසන් කරන්න කාලය යනවා. ඒ මොකද මුදල්වල ප්‍රශ්නය. සංවර්ධන යෝජනා ක්‍රමත් ඒ විදියටයි. සමහර වෙලාවට ලොකු ඇළක් කපපුවාම මඟ නවතිනවා සල්ලි නෑ කියලා. ඒක නිසා මේක පොදුවේ ගත්තාම රජය මුහුණ දෙන ආර්ථික ප්‍රශ්නත් එක්ක තමා ඒ සේවාවන්වල යම් යම් ප්‍රමාදයන් තිබෙන්නේ.

නමුත් ඒ කුමන අඩුපාඩුකම් තිබුණත් ඔබ පොලිස් දෙපාර්තමේන්තුව විදියට ඔබේ තිබෙන පහසුකම්වල තිබෙන අඩුපාඩු දීමනාව උසස්වීම්වල ඒ මොන අඩු පාඩුකම් තිබුණත් පොලිස් දෙපාර්තමේන්තුව විදියට විශාල සේවයක් රටට කරනවා. පොලිසියට විවේචන තිබෙනවා. ඒ විවේචන තිබෙන්නේ ත්‍රිවිධ හමුදාවට වඩා පොලිසියේ තිබෙන වෙනස්කම මොකක්ද, රටේ තිබෙන දෙපාර්තමේන්තු අතරින් වැඩිම මහජන සම්බන්ධතාවය තිබෙන දෙපාර්තමේන්තුව පොලිසිය. ඒ වැඩිම මහජන සම්බන්ධතාවය ඇති වුණාම ඒ විවේචන එනවා. දේශපාලනඥයොත් වැඩි පුර විවේචනයට ලක් වෙන්නේ ඇයි. දේශපාලනඥයෝ වැඩි පුර විවේචනයට ලක්වෙන්නේ සෘජුවම දේශපලනඥයාගේ සේවාව ජනතාවත් එක්ක.

ඒ ජනතාවත් එක්ක සේවාව කරනකොට ඒ සේවාව හරි හැටි නොලැබුණොත් යම් කිසි තැනක ඒ විවේචනයන්ට ලක් වෙනවා. පොලිසිය කියන්නේ පහසු කාර්යන් කරන දෙයක් නෙවෙයි. බරපතළ අපරාධකාරයෝ පාතාල කුඩු මිනී මරුවො ස්ත්‍රී දූෂකයෝ මේ රටේ නීති විරෝධී කටයුතු කරන සියලු දෙනා වෙනුවෙන් තමයි ඔබේ කැපවීම. නීතිය හා සාමය සදාචාරය විනය.

මේ කියන කරුණු රටක් විදියට ආයතනික වශයෙන් ගෙනයෑමේ වගකීම තිබෙන්නේ පොලිස් දෙපාර්තමේන්තුවට. ඒ නිසා ඔබ කරන්නේ ඉතා අසීරු අමාරු සේවාවක්. ඒ සෑම අංශයක්ම මොන අංශයකට ගියත් මම කලින් කිවුවේ ඒකයි ජනාධිපති ආරක්ෂක, අගමැති ආරක්ෂක ද ප්‍රභූ ආරක්ෂක සේවය ද විවිධ විශේෂ රාජකාරි පෙරහර උත්සව නොයෙක් දේවල් රාජ්‍ය උත්සව මේ වගේ දේවල්, එවැනි තත්ත්වයන් ඇති වෙනවා.

එක්තරා අවස්ථාවක මගේ දැඩි හිත් වේදනා ඇති වෙච්ච කාර්යක් මගේ මතකයේ තිබෙනවා. මීට අවුරුදු විසි පහකට විතර කලින්. මම එතකොට නියෝජ්‍ය ඇමැතිවරයෙක්. නියෝජ්‍ය ඇමැතිවරයෙක් විදියට මම හිටියා මගේ ඇමැතිවරයා එවකට ඒ අමාත්‍යාංශය බොහෝ ප්‍රබල අමාත්‍යාංශයක්. පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යය ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලට ලක්වෙලා අලුත් වැඩියා කරලා සෝමාවතී චෛත්‍ය මුලින්ම ප්‍රතිසංස්කරණය කළාට පස්සේ මුලින්ම වැද පුදා ගන්න මම මගේ ඇමැතිවරයාට මම ආරාධනා කළා. ඒ ඇමැතිවරයා ආවා. ආවේ හෙළිකොප්ටර්වලින්. සෝමාවතී චෛත්‍යය වටේ තිබෙන්නේ විශාල කැලෑවක් ඔබ දන්නවා. එදා ඒ උත්සවය නිසා කැලේ ඇතුළට පොලිසියේ සහ හමුදාවේ තුන්දහසක් විතර ඇරියා. ඒ ගොල්ලො දවස් එක හමාරක් විතර කැලේ.

ඒ උත්සවය නිසා, ඒ කාලේ තිබූ ත්‍රස්ත්‍රවාදී ප්‍රශ්නයත් එක්ක. මට වුවමනා කරලා තිබුණේ පුළුවන් තරම් ඉක්මනින් මේ උත්සවය ඉවර කරන්න. පැය භාගෙකින් නම් පැය භාගෙකින් ඉවර කරන්න මගේ අදහස තිබුණේ. ඇයි ඒ?, මගේ ඔළුවට එනවා කැලය ඇතුළේ කී දෙනෙක් ඉන්නවාද පොලිසිය හා හමුදාව. ඒ ගොල්ලන්ට කන්න තියෙනවාද වතුර තියෙනවාද ඒ ටික හරියට හම්බ වෙනවාද ඒ වගේම සත්තු අලි කොටි නරක සත්තු ඔක්කොම. පින්කම ඉවර වෙලා මගේ ඇමැතිවරයාට මම කිවුවා දැන් පින්කම ඉවරයි අපි එහෙමනම් දවල් කෑම කන්න යමු පොළොන්නරුවට කියලා.

මගේ ඇමැතිවරයා ඇයි එච්චර හදිස්සි කියලා මගෙන් ඇහැවුවා. මම කිවුවා සර් මේ කොල්ලො තුන්දහසක් විතර ඉන්නවා කැලේ ඇතුළේ ඊයේ කැලේට දැම්මේ ඒ ටික එළියට ගන්න ඕනනේ, එතකොට මගේ ඇමැතිවරයා මගෙන් අහපු ප්‍රශ්නය තමයි ඔයාට ඒ ගැන තියෙන අමාරුව මොකක්ද කියලා. අහලා ඒ ගොල්ලො ගෙනාපු කෑමත් ආහාරත් එහෙම ඉදගෙන කෑවා පැය තුනක් විතර ඒ ‍වැඩේ ඉවරවෙලා. ඉවරවෙලා තමයි ඒ අය ආපසු කොළඹ එන්න පටන් ගත්තේ. මම ඒ වෙලාවේ කල්පනා කෙරුවා මිනිස්සු ගැන හිතනවා වගේම මිනිස්සු ගැන කොච්චර නොහිතන මිනිස්සු ඉන්වාද කියන එක.

මිනිසකුට තිබෙන වද වේදනාවල් මිනිසකු විඳින දුක, රාජකාරියක දී රැකියාවක දී කෙනකුට අත් විඳින්න තියෙන දේවල් ඒවා කොතෙක් දුරට තමාගේ ප්‍රශ්නයක් විදියට අනෙත් අය සලකනවාද කියන කාරණය. ඒක නිසා මේ සමාජය විවිධයි විෂමයි විෂමාචාරයි. ඒ ආකාරයේ සමාජයක් තිබෙන්නේ. සමාජය තුළ පොලිස් දෙපාර්තමේන්තුව කරන්නේ පහසු කාර්යක් නොවෙයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ සේවය කරන ඔබට ඔබ සම්බන්ධ ජනතාව සතුටු කරන එක පහසු දෙයක් නෙවෙයි. සතුටු කරන එක පහසු දෙයක් නෙවෙයි. බොහෝ වෙලාවට ඒ අය අසතුටට තමයි පත් වෙන්නේ. ඒ නිසා තමා පොලිසිය පිළිබඳ විවේචන ඇති වෙන්නේ. නමුත් පොලිසිය කියන එක විවේචන නැතිව වැඩ කරන්න පුළුවන් දෙපාර්තමේන්තුවක් නොවෙයි. මම ඒ නිසා තමයි කිවුවේ ඒ ප්‍රශ්න මොනවා තිබුණත් අඩු පාඩුකම් තිබුණත්, මොන විවේචන තිබුණත් මොන අපහසුකම් තිබුණත් ඔබ අපේ රට තුළ පොලිස් දෙපාර්තමේන්තුව විදියට ඉතාම කැපවීමකින් විශිෂ්ට සේවාවක් ඉෂ්ඨ කරනවා.

ඒ පිළිබඳ ජනතාවගේත් රජයේත් ගෞරවය හා ස්තූතිය මම පිරිනමමින්, රජය විදියට පොලිස් සේවාව ශක්තිමත් කරන්න විශේෂයෙන්ම භෞතික සම්පත් වගේම මානව සම්පත් සංවර්ධනයෙන් ඔබට දිය හැකි යම් පහසුකම් වරප්‍රසාද දීමට රජයට හැකි උපරීම ලෙස ඒවා ඉෂ්ඨ කරන්න කටයුතු කරන බව ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාට රාජකාරි කටයුතු වගේම සේවාවේදී වගේම පෞද්ගලික ජීවිතය තුළ වඩාත් සාර්ථක යහපත් ජීවිතයක් සාර්ථකත්වයක් වඩාත් ඵලදායකත්වයක් ඇති කරන්න සියලු දෙනාට ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා කියා සුබ පතමින් ආශිර්වාද කරනවා.

වැඩ බලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා- අද දින මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපතිවරයා විසින් වෙරළබඩ දී, මහල් 11කින් යුක්ත නිවාස හැටකින් සමන්විත විවාහක නිල නිවාස සංකීර්ණය විවෘත කරනු ලැබුවා. රුපියල් මිලියන හාරසිය හතකට අධික මුදලක් ඒ සඳහා වැය කර තිබෙනවා. එමෙන්ම දිවයිනේ විවිධ පළාත්වලින් කොළඹ ප්‍රදේශයේ රාජකාරි ආවරණ සඳහා පැමිණ සිටින තනිකඩ පොලිස් නිලධාරීන්ට නවාතැන් ලබාදීමේ දී පැවැති විශාල ගැටලුවක් නිරාකරණය කරමින් මේ ස්ථානයේ මහල් දහයකින් සමන්විත එකවර නිලධාරීන් 1174කට නවාතැන් ගත හැකි පරිදි මේ තනිකඩ භට නිවාසය ඉදිකර තිබෙනවා.

 රුපියල් මිලියන තුන්සිය පනහකට අධික මුදලක් වැය කරමින් ඉදි කළ මේ භට නිවාසය ජලය, විදුලිය සහ භෝජනාගාර පහසුකම් ඇතුළු සියලු යටිතල පහසුකම්වලින් සමන්විත වනවා. මෛත්‍රී පාලනයක තේමාව වූ යහපාලනය ශක්තිමත් කිරීමට නම් ශක්තිමත් වූ පොලිස් සේවයක් අවශ්‍යයි. ඒ සඳහා පොලිසියේ මානව සම්පත ගුණාත්මකව වැඩි දියුණුවීම සිදුවන අතරම යටිතල පහසුකම් ද නවීකරණය විය යුතු වෙනවා. අද දින විවෘත කරන ලද මේ ගොඩනැගිලි දෙකම මෛත්‍රී පාලනයේ ප්‍රතිඵල ලෙස පෙන්වා දිය හැකියි. එසේ නම් මහජනතාවට වඩාත් මිත්‍රශීලී සේවාවක් සැපයීම අරමුණු කර ගනිමින් විවෘත කරන ලද මේ ගොඩනැගිලි ඉතා වැදගත් වන අතර, ඒ තුළින් යහපත් මානසික මට්ටමකින් යුතුව රටේ නීතිය හා සාමය පවත්වාගෙන යෑමට සියලු නිලධාරීන්ට ශක්තිය ධෛර්ය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.

ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ, වැඩ බලන පොලිස්පති සි. ඩී. වික්‍රමරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප සුදත් මලවීර සහ කපිල ආරියවංශ ජනාධිපති මාධ්‍ය අංශය

නව අදහස දක්වන්න