මගේ පාලන කාලය තුළ ආණ්ඩුවේ තුවක්කු ජනතාවට පත්තු වුණේ නෑ | දිනමිණ


 

මගේ පාලන කාලය තුළ ආණ්ඩුවේ තුවක්කු ජනතාවට පත්තු වුණේ නෑ

රක්ෂණ ශ්‍රියන්ත
ආදිවාසි දිනය නිමිත්තෙන් ඉදිකරන ලද දිඹුලාගල ආදර්ශ ගම්මාන තුනක් ජනතා අයිතියට පත්කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (18) සිදු කෙරිණි. එම අවස්ථාවට නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මැතිඇමැතිවරු පිරිසක් ද එක් වුහ. ඡායාරූපය - සුදත් මලවීර

ජනපති දිඹුලාගල දී කියයි

ආණ්ඩුවේ තුවක්කුවක් රටේ කිසිදු පුරවැසියකුට පත්තු නොවූ එකම යුගය මගේ පාලන කාලය යැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කෙළේ ඊයේ (18) පෙරවරුවේ පොළොන්නරුවේ පැවති සැමට සෙවණ, ජාතික නිවාස වැඩසටහන යටතේ දිඹුලාගල, සොරිවිල, කොටරාගල ප්‍රදේශයේ සහ දිසාලාගම සහ දිඹුලාගල දළුකාන ප්‍රදේශයේ ඉදිකරන ලද නව ගම්මාන 3ක් ජනතා අයිතියට පත් කිරීමේ උත්සව අවස්ථාව එක්වෙමිනි. මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේද පැවසීය.

ඉදිරි ජනාධිපතිවරණයට කුමන අපේක්ෂකයකු ඉදිරිපත් වුව ද මත්ද්‍රව්‍ය ජාවාරම මුලිනුපුටා දැමීමට කැපවන බවට ඔහු ජනතාවට ප්‍රතිඥා දිය යුතුයි. එසේම 2015 ජනවාරි 8 වැනිදා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවක් පැවති පාලනයට එරෙහිව ඡන්දය භාවිතා කෙළේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන්.

මුළු මහත් සමාජයම විනාශ කරමින් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීම යුගයේ ප්‍රමුඛ අවශ්‍යතාවය වී තිබෙනවා.එම ගැටලුවට විසඳුම් සෙවීමට නම් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදිය යුතුයි. මත්ද්‍රව්‍ය ජාවාරමට කිසිදු දේශපාලන අනුග්‍රහයක් හිමි නොවිය යුතුයි.

ඉදිරියේ දී කුමන ආණ්ඩුවක් බලයට පත්වුව ද ඔවුන්ගේ ප්‍රතිපත්තිය විය යුත්තේ ජනතාව පීඩාවට පත්වන සියලු කරුණු වෙනස් කිරීමට කැපවිය යුතුයි.එමෙන්ම රටට ගැළපෙන ආර්ථික සහ දේශපාලන ක්‍රමයක් මෙන්ම කිසිදු රටකට ගැති නොවන විදේශ ප්‍රතිපත්තියක් සහ රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමට කැපවීම ඔවුන්ගේ මූලික ප්‍රතිපත්ති විය යුතුයි.

අද නිදහසේ කතා කිරීමට පමණක් නොව ව්වේචන, චෝදනා පමණක් නොව අපහාස කිරීමට ද අවස්ථාව හිමිව තිබෙනවා. මීට පෙර සිටි නායකයන්ට එවන් අපහාස සිදු කළා නම් එම පිරිසට අත්වන ඉරණම ඉතා ඛේදජනකයි.

කවුරුන් කුමන චෝදනා කළ ද ඉකුත් පස් වසර තුළ රටේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුර කළා පමණක් නොව රට ගොඩනැගීමට බාධාවක්ව පැවති වංචාව, දූෂණය සහ අක්‍රමිකතාවයට එරෙහිව ද දැඩි වැඩපිළිවළෙක් ක්‍රියාත්මක කළා

ජාත්‍යන්තර බලවේග හේතුවෙන් පිඩාවට පත්ව අන්තර්ජාතික වශයෙන් මෙන්ම ජාතික වශයෙන් ද පැවති භීෂණය ඉවත් කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කළා. සැමට සෙවණ, ජාතික නිවාස වැඩසටහන යටතේ දිඹුලාගල, සොරිවිල, කොටරාගල ප්‍රදේශයේ සහ දිසාලාගම සහ දිඹුලාගල දළුකාන ප්‍රදේශයේ ඉදිරකන ලද නව ගම්මාන 3ක් ජනාධිපතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණි.

ආදිවාසි දිනයට සමගාමිව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් මෙම ආදිවාසින්ගෙන් පැවත එන නව පරපුරේ නිවාසලාභීන්ගේ අපේක්ෂාවන් ඉටුකරමින් ඉදිකරන ලද සොරිවිල කොටරාගලගම ආදර්ශ ගම්මානය නව නිවාස 16කින් සමන්විත වේ.

මූලික පහසුකම්වත් නොමැතිව සිය ජිවිත ගෙනගිය කොටරාගල ගම්වැසියන්ට, සැමට සෙවණ, ජාතික නිවාස වැඩසටහනේ දායකත්වයෙන් දෙවසරක් වැනි කෙටි කාලයකදී නව නිවාස පහසුකම්වලින් සමන්විත ආදර්ශ ගම්මානයකට හිමිකම ලැබිණි.

දළුකාන ජීවහත්තගම නව ගම්මානය නිවාස 27 කින් සමන්විතය.ඒ ඇසුරෙහි ඉදි වී ඇති දිසාලාගම නව නිවාස 23 කින් සමන්විතය.නිවාස ව්‍යාපෘති ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිවරයා අනතුරුව පැවති උත්සව සභාවේදී නිවාස ලාභීන් වෙත යතුරු ප්‍රදානය කිරීමට ද එක් විය.

ඇමැති සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අැමැති වසන්ත සේනානායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් රැසක් ද, ප්‍රදේශාවාසී ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර සිරිපුර, රත්මල්කණ්ඩිය ශ්‍රී ඉසිපතනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරෙන චෛත්‍යරාජයාණන් වහන්සේට මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය ද අද පැවැත් වුණේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙනි.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිවරයා පළමුව ආගමික වතාවත්වල නිතර වූ අතර ඉන් අනතුරුව අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කෙළේය.

සසුනට අරුණ වැඩසටහන යටතේ රුපියල් ලක්ෂ 25 ක වියදමින් චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකෙරේ.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහවැලි සී කලාපයේ උප ප්‍රධාන සංඝ නායක මාම්පිට චන්දවිම හිමි ප්‍රමුඛ ප්‍රදේශයේ මහා සංඝරත්නය ද අැමැති සජිත් ප්‍රේමදාස, රාජ්‍ය අැමැති වසන්ත සේනානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කොළොන්නේ යන මහත්වරුන් ඇතුළු පළාතේ මහජන නියෝජිතයන් රැසක් සහ ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න