අභි­යෝග කොතෙක් පැමි­ණි­යත් අපි ජය ගත්තා | දිනමිණ

අභි­යෝග කොතෙක් පැමි­ණි­යත් අපි ජය ගත්තා

 
මහින්ද්‍රා මෝටර් රථ එක­ලස් කිරීමේ කර්මාන්ත ශාලාව අර­ඹ­මින් අග­මැති කියයි
 

‘අපි භාර ගත්තේ ණය කන්දක් සහිත ආණ්ඩුවක්. අපි එය විධිමත්ව ගෙවන අතරේ රටේ සංවර්ධන කටයුතු ඉදිරියට ගෙන ගියා. ඉන් පසුව අපිට දරුණු නියඟයකට මෙන්ම ජල ගැල්මකට මුහුණ දීමට සිදු වුණා. ගොවියාට සහන දෙමින් විපතට පත් අය නඟා සිටුවමින් අපි සියල්ල යථා තත්ත්වයට ගෙන ආවා. ඉන් අනතුරුව දේශපාලන කුමන්ත්‍රණයකට මුහුණ දීමට සිදු වුණා. එයත් ජය ගත් අපිට මුහුණ දීමට සිදු වුණේ බෝම්බයකට. අපි මේ වන විට එහි අහිත කර විපාකයන් ජය ගනිමින් සිටිනවා. අපි දේශපාලනිකවත් පරාජයවී නෑ. ආර්ථිකවත් පරාජයවී නෑ. ආර්ථික වශයෙන් රට ස්ථාවර කිරීමට යටිතල පහසුකම් දියුණු කිරීම මෙන්ම ආයෝජන දියුණු කිරීමත් වැදගත් වෙනවා. අද වැලිපැන්නෙහි ආරම්භ කෙරෙන මේ මහේන්ද්‍රා අයිඩියල් මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව අපගේ ආණ්ඩුව ඇති කිරීමට දිරිදෙන ආර්ථික ප්‍රතිසංස්කරණවල ඵලයක් ලෙස හැඳින්විය හැකියි.‘ යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා (17) වැලිපැන්නෙහි ආරම්භ කළ මහින්ද්‍රා අයිඩියල් කර්මාන්ත ශාලාව ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමින් පැවැසීය.

අමෙරිකානු ඩොලර් බිලියන 20.7ක වත්කමක් ඇති මහින්ද්‍රා සමූහයේ අනුබද්ධ ආයතනයක් වන මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගම ශ්‍රී ලංකාවේ කොළඹට නුදුරු වැලිපැන්නහි දී තම දේශීය මෝටර් රථ එකලස් කිරීමේ කම්හල ඇරැඹීමත් සමඟ ගෝලීය වශයෙන් තම ව්‍යාප්තිය සඳහා දැවැන්ත පියවරක් තබා ඇත. මහින්ද්‍රා අයිඩියල් වශයෙන් නම් කරන ලද මේ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව අයිඩියල් මෝටර්ස් සමඟ සහයෝගීතාවෙන් කටයුතු කරනු ලබයි.

මේ නවතම එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව තම පළමු නිෂ්පාදනය වන Mini SUV KUV1OO එළි දැක් වූ අතර, ඉදිරි වසර තුන තුළ තවත් නිෂ්පාදන රාශියක් එළිදැක්වීමට නියමිතය. මේ නවතම CKD එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්, මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පවන් ගොඑන්කා, මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ ප්‍රධාන ජාත්‍යන්තර මෙහයුම් නිලධාරී අරවින්ද් මැතිව් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.

මේ අවස්ථාවට එක්වෙමින් අදහස් දැක් වූ මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පවන් ගොඑන්කා මහතා-

මේ මෝටර් රථ එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව ආරම්භ කිරීම ශ්‍රී ලංකා වෙළෙඳ පොළට පිවිසීමේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සලකන්න පුළුවන්. ශ්‍රී ලංකාව අපගේ උපායමාර්ගික වෙළෙඳ පොළක් වන අතර, මේ කාර්මාන්ත ශාලාව ඇරැඹීමත් සමඟ දේශීය අවශ්‍යතාවන්ට ගැළපෙන නිෂ්පාදන නිසි වේලාවට ලබා දීමේ හැකියාව අප සතු බව කිව යුතුයි. එමෙන්ම ශ්‍රී ලංකා රජය ලබා දුන් විශේෂ සහායට අපගේ විශේෂ ස්තූතිය පිරිනමන අතර, මෙය රටේ කාර්මික සංවර්ධනයට පමණක් නොව විශාල රැකියා උත්පාදනයකටත් මඟ පෑදෙන බව මගේ විශ්වාසයයි” පැවැසීය.

මහින්ද්‍රා සහ මහින්ද්‍රා සමාගමේ ජාත්‍යන්තර මෙහයුම් ප්‍රධානී අරවින්ද් මැතිව් මහතා-

‘වසර ගණනාවක් පුරා අයිඩියල් මෝටර්ස් සමඟ තිබූ අපගේ නොබිදෙන සහයෝගීතාව දිනෙන් දින ශක්තිමත් වෙමින් ජයග්‍රාහී මාවතකට පැමිණ තිබෙනවා. මේ නව එකලස් කිරීමේ කර්මාන්ත ශාලාව තුළින් කාර්මික ක්‍රියාකාරකම් තව දුරටත් වර්ධනය වෙමින් මෙහෙයුම් කාර්යක්ෂමතාව වේගවත් කිරීමටත් එමගින් ශ්‍රී ලංකාව තුළ අපගේ පාරිභෝගිකයන්ට වඩාත් හොඳ සේවයක් ලබාදීමට හැකි වනු ඇතැයි මම විශ්වාස කරනවා” යැයි පැවැසීය.

සමාරම්භක උත්සවය අමතමින් අදහස් දැක් වූ අයිඩියල් මෝටර්ස් සභාපති නලින් වෙල්ගම මහතා-

‘අයිඩියල් මෝටර්ස් සහ මහින්ද්‍රා අතර දශකයකට වැඩි කාලයක් පුරා පවතින සබඳතාව ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට බොහෝ වටිනාකම් ලබා දීමට සමත් වී තිබෙනවා. අද මේ සමාරම්භක උත්සවය අපගේ අභිලාෂයන් සහ සිහින සැබෑවීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් දේශීයව මගී වාහනයක් එකලස් කිරීමේ සිහිනය මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ දැවැන්තයකු වන මහින්ද්‍රා සමඟ සැබෑ කර ගැනීමේ හැකියාව අපට ලැබෙනවා. මේ නව හවුල්කාරීත්වය මඟින් ශ්‍රී ලංකාවට නැඟී සිටීමට හැකි වන අතර, ශ්‍රී ලාංකික නිෂ්පාදනයක් යන වචන පේළිය හරහා අපගේ කීර්තිය ලොවටම විදහා දැක්වීමට අවස්ථාව ලැබෙනවා‘ යැයි පැවැසීය.

 

නව අදහස දක්වන්න