ගංවතුරින් ඉන්දියාවේ 31 දෙනෙකු මරුට | දිනමිණ

ගංවතුරින් ඉන්දියාවේ 31 දෙනෙකු මරුට

උතුරු ඉන්දියාවේ උත්තර්ප්‍රදේශ් සහ උත්තර් කාන්ද් ප්‍රාන්තවලට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් වාර්තා පවසයි.

හිමාචල් ප්‍රදේශ්, උත්තර්කාන්ද් සහ පන්ජාබ් ප්‍රාන්තවල තවත් පුද්ගලයන් 22 දෙනෙකු අතුරුදන්ව සිටින අතර සංචාරකයන් සියගණනක් අතරමංව සිටින බව ද සදහන්.

ගංවතුරෙන් හිමාචල් ප්‍රදේශ් ප්‍රාන්තයේ ජාතික අධිවේගී මාර්ග 13ක් ඇතුළු මාර්ග 670 කට අධික සංඛ්‍යාවක් අවහිරව තිබේ.

කල්කා සහ ශිම්ලා අතර දුම්රිය ගමනාගමනයට ද බලපෑම් එල්ලවී ඇති අතර අද දින ශිම්ලා, සෝලන්, කුල්ලු සහ බිලාස්පූර් දිස්ත්‍රික්කවල සියලු පාසල් සහ උසස් විද්‍යාල වසා තැබීමට බලධාරීන් පියවර ගෙන ඇත.

මෙමගින් වගාබිම් හෙක්ටයාර සිය ගණනක් බලපෑමට ලක්ව ඇති අතර උතුරු ඉන්දියාවේ සන්නිවේදන සේවා , විදුලිබලය සහ ජල පහසුකම් කෙරෙහිද දැඩි බලපෑම් එල්ලවී ඇති බව සඳහන් .

යමුනා ගංගාවේ ජල මට්ටම අවදානම් සහගත ලෙස ඉහළ යාම හමුවේ ඉන්දීය බලධාරීන් දිල්ලි මෙන්ම හර්යානා සහ පන්ජාබ් ප්‍රාන්ත වෙත ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

තමිල්නාඩු ප්‍රාන්තයේ චෙන්නායි නගරයට ද අධික වර්ෂාපතනයක් ලැබී ඇති අතර ඉදිරි දින දෙක තුළදී චෙන්නායි නගරයට ලැබෙන වර්ෂාපතනය තවදුරටත් උත්සන්න වනු ඇතැයි ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීහු අනාවැකි පළ කළේ ය.

මේ අතර දකුණු ඉන්දියාවේ කේරල ප්‍රාන්තයේ ගංවතුරෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 121 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කර්ණාටක ප්‍රාන්තයේ ගංවතුරෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 76 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් අතුරුදන්වූ පුද්ගලයන් සංඛ්‍යාව 10 කි.

 

නව අදහස දක්වන්න