සහන ණය! | දිනමිණ

සහන ණය!

ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව දියුණු කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහයෝගය ලබාදීමට යයි. මේ අනුව දුම්රිය සේවයේ ප්‍රවර්ධනය සඳහා අමෙරිකන් ඩොලර් මිලියන එකසිය හැට එකක සහන ණය මුදලක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව පොරොන්දු වී ඇත. මුදල් අමාත්‍යාංශය හා ආසියානු සංවර්ධන බැංකුව මීට අදාළ ගිවිසුම ඊයේ අස්සන් කිරීමට නියමිත ව තිබිණි. මේ ණය මුදලින් ඩොලර් මිලියනයක් ආපසු ගෙවීමට අවශ්‍ය නැත. ඉතිරි ඩොලර් මිලියන එකසිය හැට ගෙවීම සඳහා වසර අටක කාලයක් ලබා දී ඇත. පොලිය දශම බින්දුවයි පහකි.

ඉහත සංසිද්ධිය තුළ විශේෂතා කිහිපයක් පවතී. ඉන් පළමුවන්න නම්; ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාව කෙරෙහි විශ්වාසය තබමින් ඉහත ණය මුදල ලබාදීම ය. දෙවන්න නම්; ශ්‍රී ලංකාවේ අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවාවක් වන දුම්රිය සේවාව වැඩිදියුණු කිරීමෙන් රටේ සංවර්ධනය වේගවත් වන බව ය. තෙවන්න නම්; පවත්නා ආණ්ඩුව ගෙනයන සංවර්ධන ක්‍රියාදාමය ලෝකයේ සැලැකිල්ලට හා අවධානයට ලක්වී ඇති බව ය. මේ සියල්ල විග්‍රහ කරගත හැක්කේ සාධනීය ලක්ෂණ හැටියට ය. ලෝක පිළිගැනීමකින් තොරව අපට යා හැකි ආර්ථික ගමනක් නැත. ජාත්‍යන්තර මූල්‍ය සමාගම්, ණය දෙන ආයතන හා බැංකු වැඩි විශ්වාසය තබන්නේ වේගවත් ආර්ථික වෘද්ධියක් සහිත රාජ්‍යයන් කෙරෙහි පමණි. ඒ අනුව බලනවිට වියට්නාමය මෙන් ශ්‍රී ලංකාව ද පිබිදෙන ආර්ථිකයන් සහිත රාජ්‍යයන් ලෙස හැඳින්වීම නිවැරැදිය.

කාලයක් තිස්සේ ශ්‍රී ලංකාව පැවැතියේ අසමත් රාජ්‍යය යන ලේබලය යටතේ ය. යුද්ධය හා ත්‍රස්තවාදය පැවැති සමයේ මෙන්ම ඉන් පසුවත් එම ලේබලය ශ්‍රී ලංකාව වෙතින් ගැලවී ගියේ නැත. යු‍රෝපා කොමිසමේ සහන නොලැබීම, ජාත්‍යන්තර මූල්‍යායතන ශ්‍රී ලංකාව නොසලකා හැරීම එහි ප්‍රතිඵල ලෙස සටහන් වී තිබේ. ආර්ථික ක්‍රියාවලිය තුළ පැවැති දූෂණය, මූලික මිනිස් අයිතිවාසිකම් අහිමි කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය කඩා වැටීම ඇතුළු තවත් හේතු මත අසමත් රාජ්‍යය යන ලේබලය අපට වැදිණි. පාලකයන් ඒ වනවිටත් විදේශ ණය විශාල ප්‍රමාණයක් ලබාගෙන ඒවා නාස්තිකාර දේවල් සඳහා යොදාගෙන තිබිණි. රට පැවැතියේ විදේශ ණයක් ලබාගත නොහැකි තත්ත්වයේ යැයි කීම වඩා නිවැරැදි ය. වත්මන් ආණ්ඩුව එම තත්ත්වය වෙනස් කළේ ය.

ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවේ දුම්රිය සේවාව නැංවීම සඳහා මෙපමණ ණය මුදලක් ලබාදෙන්නේ ප්‍රථම වතාවට ය. මේ මගින් දුම්රිය සේවය උසස් තත්ත්වයකට පැමිණියහොත් එය සමස්ත සංවර්ධනය කෙරෙහි ඍජු බලපෑමක් ඇති කරයි. අපේ රාජ්‍ය සේවයේ බහුතරයකගේ ප්‍රවාහන මාධ්‍ය කෝච්චිය යි. කෝච්චි ධාවනය ප්‍රමාද වන විට ද, වර්ජන පවත්වන විට ද, කෝච්චි අනතුරු වැඩිවන විට ද ආර්ථිකය පසුබෑමකට ලක්වෙයි. ඉන්දියාවේ ආර්ථික සංවර්ධනයේ හා සාංස්කෘතික බැඳීමේ සංකේතයක් හැටියට එරට දුම්රිය සේවය පවතී. ඉන්දියාවේ දුම්රිය මාර්ග පද්ධතිය කිලෝමීටර් හැටතුන්දහසක් කරා විහිදෙයි. එහි දිනකට ධාවනය වන දුම්රිය ප්‍රමාණය දාහතරදහසක් බව සඳහන් ය.

දැනට අපේ දුම්රිය සේවය දුවන්නේ බලවත් අසීරුතා මධ්‍යයේ ය. බොහොමයක් පාරවල් අබලන් ය. ධාවනය සඳහා ප්‍රමාණවත් දුම්රිය එන්ජින් සේම ප්‍රමාණවත් මැදිරි සංඛ්‍යාවක් ද නැත. අප අත්විඳින්නේ පිළියම් යොදා දුවන දුර්වල දුම්රිය සේවාවක අත්දැකීම් ය. එක දුම්රියක එන්ජිම ගලවා අනෙක් දුම්රිය ධාවනය කිරීම අපේ ක්‍රමය වී ඇත. මේ නිසා ම දුම්රිය එන්ජින් වේගයෙන් අබලන් වෙයි. රටට තවත් දුම්රිය එන්ජින් සේම දුම්රිය මැදිරි ද අවශ්‍ය වෙයි. ඒ අතර වේගවත් ධාවනයක් සඳහා දුම්රිය මාර්ග පද්ධතිය පිළිසකර කළ යුතුය. දුම්රිය සේවකයන්ගේ ගැටලු ද විසඳාගත යුතු ය. මේ සියල්ල සඳහා අවශ්‍ය වන ප්‍රධාන සාධකය මුදල් ප්‍රතිපාදන ලෙස සටහන් කර තැබිය හැකි ය.

ශ්‍රී ලංකාව මහා ණය කන්දක හිර වී ඇතැ’යි කියුව ද අත්‍යවශ්‍ය කටයුතු සඳහා විදේශ ණය ලබා නොගෙන රට ඉදිරියට ගෙන යා නො හැකි ය. ණය උගුලක් බවට පත්වන්නේ විදේශ ණය ලබාගන්නා ආකාරයට අනුව ය. අප ලබාගත යුත්තේ විදේශ ආධාර, ප්‍රදාන හා සහන ණය යැයි කිව හැකි ය. ඉහත ණය මුදලේ පොලිය ඉතා අඩු ය. එය සියයට දශම බින්දුවයි පහක් ලෙස සටහන් වී ඇත. අනෙක් අතට ණයෙන් සුළු කොටසක් ආපසු ගෙවීමට අවශ්‍ය නැත. ණය ආපසු ගෙවීමට ඇති කාලය ද වසර අටක් ලෙස සඳහන් වී ඇත. වසර අටක් ගෙවී යනවිට දුම්රිය ප්‍රවර්ධනයේ ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ ආර්ථිකය වෙත හොඳින් ම ලැබෙනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය.

ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන ණය හා සහන ණය ලබා දෙන්නේ රටක් පිළිබඳ පූර්ණ නිරීක්ෂණයකින් පසුව ය. ශ්‍රී ලංකා ආර්ථිකයේ වසර දහයක අතීතය මෙන් ම වසර දහයක අනාගතය වුව සටහන් කර තැබීමේ හැකියාවක් ඉහත ආයතනවලට තිබේ. ලෝක ආර්ථිකයේ ඊළඟ වසර පුරෝකථනය කිරීම ද එම ආයතනවල කාර්යභාරයට අයත් ය. ලෝක බැංකුව ශ්‍රී ලංකාවේ දිළිඳුකම පිටුදැකීමේ වැඩසටහන් අගය කරමින් වාර්තාවක් නිකුත් කළේ මේ වසර මුල දී ය. ඉහත ආයතන ශ්‍රී ලංකාවේ ආර්ථික ක්‍රියාවලිය කෙරෙහි දක්වන අවධානයෙන් පෙනී යන්නේ ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති හා වැඩසටහන් නිවැරැදි බව ය.

රුපියල් මිලියන විසිඅටදහස් නවසිය අසූවක් යනු සැලැකිය යුතු මූල්‍ය ප්‍රතිපාදනයකි. මේ මුදල නිසි සැලැසුමක් ඇතිව දුම්රිය සේවයේ ප්‍රවර්ධනය සඳහා යොදාගතහොත්; ඉතා කෙටි කාලයකින් ම සාර්ථක දුම්රිය සේවයක් අපට ලබාගත හැකි ය. මේ වැඩසටහන්වලදී නාස්තිය අවම කළ යුතු ය. දූෂණයට සුළු හෝ ඉඩක් නොතැබිය යුතුය.

 

නව අදහස දක්වන්න