ලේට්න් බොක්සිං කුසලානය සජීව නුවන්ට | දිනමිණ

ලේට්න් බොක්සිං කුසලානය සජීව නුවන්ට

ශූරිය කේෂානී හංසිකා
වසර දහයකට පසුව යුද හමුදාව සමස්ත පිරිමි ශූරතාව දිනයි

ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයේ එන්.ජිනදාසට එරෙහිව පැවැති තරගයෙන් තියුණු ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ සජීව නුවන් දක්ෂතම ක්‍රීඩකයා බවට පත්වෙමින් 74 වැනි ලේට්න් කුසලානය දිනා ගැනීමට සමත් විය. පසුගිය වසරේ ජාතික ලයිට් ෆ්ලයිවේට් ශූරයා වූ සජීව හමුවේ පරාජයට පත්වූ ජිනදාසට තරගාවලියේ හොඳම පරාජිතයාට හිමි සම්මානය අත්විය.

ක්‍රීඩා සමාජ 18ක ක්‍රීඩකයන් 118ක් සහ ක්‍රීඩිකාවන් 34ක් තරග වැදුණු මෙවර තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මානයට පාත්‍ර වූයේ යුනිචෙලා බොක්සිං ක්‍රීඩා සමාජයේ කේෂානී හංසිකාය. පසුගිය වසරේ ඉන්දුනීසියාවේ පැවැති ජනාධිපති කුසලාන බොක්සිං තරගාවලියේ ලෝකඩ පදක්කම දිනාගත් කේෂානී හංසිකා හමුවේ පරාජයට පත්වූ ගුවන් හමුදා බොක්සිං ක්‍රීඩා සමාජයේ සංජීවනී කුරේ තරගාවලියේ හොඳම පරාජිත ක්‍රීඩිකාව බවට පත්වූවාය.

දින පහක් පුරා කොළඹ රාජකීය විදුහලේ රෝයල් මාස් අරීනා බොක්සිං වළල්ලේ පැවැති 74 වැනි ලේට්න් කුසලාන කාන්තා හා පිරිමි බොක්සිං තරගාවලියේ දී බර පන්ති 10කින් රන් පදක්කම් 7ක් දිනාගත් යුද හමුදා බොක්සිං ක්‍රීඩා සමාජය වසර 10කට පසුව ලේට්න් කුසලාන සමස්ත ශූරයන් බවට පත්විය. පසුගිය වසරේ ලේට්න් කුසලාන සමස්ත ශූරයන් වූ ස්ලිම්ලයින් බොක්සිං ක්‍රීඩා සමාජයට මෙවර දිනාගැනීමට හැකිවූයේ රන් පදක්කම් 3ක් පමණි.

යුනිචෙලා බොක්සිං ක්‍රීඩා සමාජය රන් පදක්කම් 8ක් දිනා ගනිමින් තරගාවලියේ සමස්ත ශූරියන් බවට පත්විය.

මෙවර ලේට්න් කුසලාන බොක්සිං තරගාවලිය පැවැත්වූයේ ලබන දෙසැම්බරයේ නේපාලයේ පැවැත්වීමට නියමිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං තරග අංශය නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අවසන් සංචිතය තෝරා ගන්නා තේරීම් තරගාවලියක් ලෙසටය.

ශ්‍රී ලංකා බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස් මහතාගේ ප්‍රධානත්වයෙන් සම්මාන ප්‍රදානය සිදු කෙරිනි.

නව අදහස දක්වන්න