පඩිය මාසෙටම 7500යි උතුරු දුම්රිය මාර්ගයේ ගේට්ටුකරුවෝ ලෙඩ‍ෙවති | දිනමිණ

පඩිය මාසෙටම 7500යි උතුරු දුම්රිය මාර්ගයේ ගේට්ටුකරුවෝ ලෙඩ‍ෙවති

උතුරු දුම්රිය මාර්ගයේ තඹුත්තේගම, තලාව ආදි ප්‍රදේශවල තාවකාලික පදනමින් සේවයේ නියුතුව සිටි ගේට්ටුකරුවන් කිහිපදෙනෙක් සේවයෙන් ඉවත්ව ඇත. මේ හේතුවෙන් දැඩි අනාරක්ෂිත තත්ත්වයක් මතුව ඇති බව ප්‍රදේශවාසීහු පවසති. දිනකට රුපියල් 250ක් වනසේ රුපියල් 7500ක උපරිම මාසික දීමනාවකට තවදුරටත් සේවය කළ නොහැකි බව මේ ගේට්ටුකරුවෝ පවසති. තලාව, ගම්මැද්ද දුම්රිය හරස් මාර්ගය, තඹුත්තේගම ජය මාවත දුම්රිය හරස් මාර්ගය වැනි ස්ථානවල සේවයේ යෙදී සිටි ගේට්ටුකරුවන් ඉවත්ව ඇත. පයින්ඩිකුලම දුම්රිය හරස් මාර්ගය, රත්මලේ සුදු පාලම දුම්රිය හරස් මාර්ගය වැනි ස්ථානවල සේවයේ නිරතව සිටින ගේට්ටුකරුවන් ද ඉවත් වනවා හැර වෙනත් විකල්පයක් නැති බව පවසති. මේ දුම්රිය හරස් මාර්ග ගේට්ටු දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සහ සමහරක් ගේට්ටු පොලිස් දෙපාර්තමේන්තුවෙන් පාලනය වේ. තලාව, ගම්මැද්ද දුම්රිය හරස් මාර්ගයේ සේවයේ යෙදී සිට ඇති ඇන්ටන් දේවරාජා මහතා මෙසේ කීය. මං අවුරුදු දහයක් විතර තිස්සේ තනියම මෙතැන ගේට්ටුව බලාගත්තා. දවසකට රුපියල් දෙසිය පනහයි හම්බ වුණේ. කිසිම අනතුරක් වෙන්ඩ දුන්නේ නෑ.

ඒත් රුපියල් දෙසිය පනහකින් මොනවද කරන්න පුළුවන්. මාසෙම රැයක් දවාලක් නැතිව දුක් වින්දත් හම්බ වෙන්නේ රුපියල් හත්දාස් පන්සීයයි. වැඩිකරලා දෙන්ඩ කියලා ඉල්ලුවා. ඒත් කවුරුවත් අපිව ගණන් ගත්තේ නෑ. අපි නැති හින්දා ගිය සතියේ මෙතැන වෑන් එකක් කෝච්චියට

අහුවෙලා මනුස්සයෙක් මැරුණා. තඹුත්තේගම, ජයමාවත දුම්රියේ හරස් මාර්ගයේ සේවයේ යෙදී සිට පසුගියදා ඉන් ඉවත්ව ඇති එච්. අවුසදහාමි මහතා මෙසේ පැවසීය.

මමයි මගේ පුතයි තමයි මෙතැන ගේට්ටුව බලාගත්තේ. තුන්දෙනෙක් ඉන්ඩ ඕන තැනට මෙතැන හිටියේ අපි දෙන්න විතරයි. පැය විසිහතරම වැඩ. අඩුම ගානේ පුතාට හරි යහපතක් වෙයි කියලා බලන් හිටියා. කිසිදෙයක් වුණේ නෑ. රුපියල් පන්සීයක් දවසකට දෙන්ඩ කියලා ඉල්ලුවා. ඒත් කිසිකෙනෙක් ගණන් ගත්තේ නෑ. පුතා මීට මාසෙකට විතර කලින් මෙතැනින් අයින් වුණා. මට තනියම කරන්ඩ බැරි නිසා පොලිසියට කියලා මමත් අයින් වුණා. මෙතැනින් දවසකට කෝච්චි විස්සක් විතර යනවා. පාර හරහා වාහන දාහක් විතර යනවා.

තඹුත්තේගම විශේෂ - ඩබිලිවි.ප්‍රදීප්

නව අදහස දක්වන්න