පුරවැසි බව නැතිව සිටියදී ඡන්ද ලේඛනයට ගෝඨාභයගේ නම ඇතුළත්වූයේ කෙසේද? | දිනමිණ

පුරවැසි බව නැතිව සිටියදී ඡන්ද ලේඛනයට ගෝඨාභයගේ නම ඇතුළත්වූයේ කෙසේද?

පරීක්ෂණයක් කළ යුතු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි

‍ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පුරවැසි භාවයෙන් ඉවත්ව සිටියදී ඔහුගේ නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් වී තිබීම ගැන නොපමාව සාධාරණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එම නිවේදනය මෙසේය.

තවත් නොබෝ දිනකින් පැවැත්වීමට නියමිත මෙරටේ අටවැනි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් තරග කිරීමට නියමිත ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා තම ශ්‍රී ලාංකීය පුරවැසිබව ඉවත් කරගෙන සිටි සමයේ එවකට උපයෝගී කරගත් ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිව සිට ඇතැයි යනුවෙන් පළව ඇති මාධ්‍ය වාර්තා පිළිබඳ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය තම බලවත් අවධානය යොමුකර ඇත. එහිලා සතිඅන්ත සිංහල මාධ්‍ය පුවත්පතක නියෝජ්‍ය කතුවරයෙක් මේ වනවිටත් මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණිලි කොට ඇති අතර එකී පැමිණිල්ල පිළිබඳ කොමිෂන් සභා තීරණය ලබාදීමට නියමිතව පැවතියේ පෙර දිනයේය.

එහි පවත්නා වඩාත් බරපතළ තත්ත්වය නම් ඔහු මෙරටේ පුරවැසියකුව නොසිටින පසුබිමකදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මුල්කිරිගල මැතිවරණ ‍කොට්ඨාසය යටතේ වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචිව තිබීමත්, වසර 2005 මෙරටේ පැවැත්වූ පස්වැනි ජනාධිපතිවරණයේදී තම ඡන්දය භාවිත කිරීමත්ය. මෙරටේ ජනාධිපතිවරණය හා සබැඳි මැතිවරණ නීතිය බලාත්මක කොට ඇත්තේ 1981 අංක 15 දරන ජනාධිපතිවරණ මැතිවරණ පනත මඟින්ය. එකී පනතේ ප්‍රකාර මෙලෙස ව්‍යාජ ලෙස ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි වීම හා ඡන්දය භාවිත කිරීම අධිකරණය හමුවේ දඬුවමට ලක්විය හැකි වරදක් ලෙස දක්වා ඇත. එපමණක් නොව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 (අ) ව්‍යවස්ථාවට අනුව ශ්‍රී ලාංකීය පුරවැසියෙක් නොවන්නෙකුට පාර්ලිමේන්තු හෝ ජනාධිපතිවරණය යන එකදු මැතිවරණයකදී මෙන්ම ජනමත විමසුමකදී තම ඡන්දය භාවිත කිරීමේ හැකියාවක් නොමැත.

දැනටමත් මාධ්‍ය වාර්තා කොට ඇති පරිදි ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා තම අමෙරිකානු පුරවැසිබව ලබාගෙන ඇත්තේ වසර 2003 දීය. අනතුරුව වසර 2005 සැප්තැම්බර් මස 04 වැනි දින මෙරටට ගොඩබැසීමෙන් පසු ගුවන්තොටුපළේදී ලබාගත හැකි සංචාරක වීසා බලපත්‍රයක් යටතේ මෙරටට ඇතුළුව ඇති රාජපක්ෂ මහතා එකී කාලසීමාව තුළ තම සොහොයුරා වූ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ද තම දායකත්වය දක්වා ඇත්තේය. දින තිහකට පමණක් වලංගු සංචාරක වීසා බලපතක් යටතේ මෙරටට ඇතුළුව එලෙස මැතිවරණ කටයුතු සඳහා සහභාගිවීම ද මෙරටේ ආගමන හා විගමන පනත් ප්‍රකාර (45) (1) (ඒ) අදාළ කොන්දේසි කඩකිරීමක් මෙන්ම දඬුවම් ලැබිය හැකි වරදක් ද වන්නේය.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් ලෙස අප සංවිධානය නිරන්තරයෙන් අවධාරණය කරමින් පවත්නා කරුණක් වන්නේ මෙරටේ පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ‍ගොඩනැගිමෙහිලා පවත්නා එක් බරපතළ බාධාවක්ව ඇත්තේ නීතියේ ආධිපත්‍යය ය නිසිලෙස තහවුරු නොවීම හා ළබැඳියාවන් අතර පවත්නා පිළිගැටුමයි. රාජපක්ෂ මහතා හා සබැඳි ඉහත ක්‍රියා පිළිවෙළ විමසීමේදී තහවුරු වන එක් කරුණක් නම් ඔහු තම සිතැඟි පරිදි රටෙහි ස්ථාපිතව පවත්නා මැතිවරණ නීතිය මෙන්ම සාමාන්‍ය නීතිය ද උල්ලංඝණය කොට ඇති බවයි.

නීතිය අභියස සියල්ලන් සමාන විය යුතු යැයි යන්න නීතියේ මූලික සංකල්පයක් වූවද රාජපක්ෂ මහතා ක්‍රියාකොට ඇති ආකාරයෙන් පෙනී සන්නේ ඔහු රටෙහි සාමාන්‍ය නීතිය අභිභවා ක්‍රියාකොට ඇති බවයි. ඔහු මේ රටේ අටවැනි විධායක ජනාධිපතිවරයා බවට පත්වීම සඳහා අතිශය දැවැන්ත මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයක්ද දැනටමත් දියත් කොට ඇති අතර ඉහත මතුකොට ඇති චෝදනා හමුවේ ඔහු තම නිරවද්‍ය බව තහවුරු කිරීම අවශ්‍යයෙන්ම සිදුකළ යුත්තක් ය යන්න මැ.ප්‍ර.ක්‍රි.නි.ම. ස්ථාවරයයි. තම ද්විත්ව පුරවැසිබව ඉවත්කරගැනීම පිළිබඳ විවිධ පාර්ශ්ව චෝදනා නැගුවද එකී චෝදනා හමුවේ පවා නිහඬව සිටිමින් අඛණ්ඩව මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයෙහි යෙදී සිටින රාජපක්ෂ මහතාගේ ක්‍රියාකලාපය නිසැකවම මැතිවරණ ක්‍රියාවලියක පැවතිය යුතු සුපිලිපන්න බව අභියෝගයට ලක් කරන්නේය. ඡන්ද හිමියන් වාර්ෂිකව ලියාපදිංචි කිරීම යනු එකී කොමිෂන් සභාවට ව්‍යවස්ථාපිතව හිමිව ඇති නිශ්චිත වගකීමකි. එය ඉහළ නිරවද්‍යතාවකින් යාවත්කාලීන කිරීම අදාළ කොමිෂන් සභාව මඟින් අපේක්ෂා කරන අතරම ඔවුන් වෙත නිර්ව්‍යාජ තොරතුරු ලබාදී මැතිවරණයක පැවතිය යුතු නිදහස් හා සාධාරණ බව තහවුරු කිරීම සියලු සුදුසුකම් ලත් ඡන්ද හිමියන් සතු පරම වගකීමකි. එහෙත් ඉහත සඳහන් කළ ක්‍රියාදාමය තුළින් පැහැදිලි වන එක් කරුණක් වන්නේ ඡන්ද හිමියන් ගණන් ගැනීමේ ක්‍රියාවලිය සතුව පැවතිය යුතු විශ්වාසනීයත්වය මෙවැනි අකටයුතුකම් හමුවේ බිඳ වැටිය හැකි බවයි.

ඒ අනුව මැතිවරණ කොමිෂන් සභාව සතුව මේ මොහොතේ ඉතා බරපතළ වගකීමක් ඇත්තේය. එනම් මෙකී ක්‍රියාවලිය පිළිබඳ කඩිනම් හා සාධාරණ පරීක්ෂණයක් පැවැත්වීමත්, ව්‍යාජ තොරතුරු සපයමින් මැතිවරණ නීති උල්ලංඝණය කොට ඇති පාර්ශ්ව අනාවරණය කරගැනීමත්ය. මැතිවරණ කොමිෂන් සභාව මෙන්ම මෙම සිද්ධිදාමය හා සබැඳි අනෙකුත් පාර්ශ්ව මෙහිලා දක්වන අපක්ෂපාති අනලස් මැදිහත්වීම, මෙරටේ මැතිවරණ ක්‍රියාවලිය කෙරෙහි ඡන්ද දායකයන්ගේ විශ්වාසය අඛණ්ඩව රඳවා තබා ගැනීමට මහෝපකාරී වන බව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ ස්ථාවරයයි.

නව අදහස දක්වන්න