වාර්ගික සාමය සහ සංහිඳියාව ඇති කරන්න ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා | දිනමිණ

වාර්ගික සාමය සහ සංහිඳියාව ඇති කරන්න ශ්‍රී ලංකාව සමත්වී තිබෙනවා

කෲර අන්තවාදය පරාජය කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරම රටේ වාර්ගික සාමය සහ සංහිඳියාව ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකාව සමත් වීම ලෝකයේ අනෙක් රටවලටත් සැබෑ පාඩමක් බව ශ්‍රී ලංකාවේ හිටපු ජපාන විශේෂ නියෝජිත යසුෂි අකාෂි මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා සිටියේ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවූ අවස්ථාවේදීය.

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පෙරේදා (19) පැවති ජාතික සම්මාන උළෙල 2019 හිදී ශ්‍රී ලාංකික සහ පොදුවේ මානව වර්ගයා වෙනුවෙන් සිදු කරන ලද විශිෂ්ට සේවය ඇගැයීම වෙනුවෙන් ශ්‍රී ලාංකික පුරවැසියන් නොවන පුද්ගලයන් සඳහා ප්‍රදානය කරනු ලැබූ 'ශ්‍රී ලංකා රත්න සම්මානයෙන්' ජපන් ජාතික යසුෂි අකාෂි මහතා පිදුම් ලැබීය.

ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව ඇති කිරීම වෙනුවෙන් අකාෂි මහතා දැරූ නොමඳ උත්සාහය වෙනුවෙන් ජනාධිපතිතුමා ඔහුට මෙහිදී ස්තූතිවන්ත විය. එමෙන්ම ඔහුට ලෝක සාමය තහවුරු කිරීම වෙනුවෙන් ඉදිරියටත් කැපවීමට අවශ්‍ය ශක්තිය ධෛර්යය සහ දීර්ඝායු ලැබේවා යැයි සුබ පැතුම් එක් කළ ජනාධිපතිතුමා පැවසුවේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය වර්ධනය කිරීමට එතුමා කළ කටයුතු විශේෂයෙන් අගය කරන බවයි.

‍එමෙන්ම අකාෂි මහතා ද ජනාධිපතිතුමාටත් ශ්‍රී ලාංකේය මුළු මහත් ජනතාවටත් තමන්ට ලබා දුන් ගෞරවය පිළිබඳ ස්තූතිය පළ කෙළේය. තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර බොහෝ සමානතා ඇති බවත් බුද්ධාගම දෙරට අතර විශේෂ මිත්‍රත්වය තහවුරු කරන බවත්ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජපන් තානාපති අකිරා යුගියාමා මහතා සහ ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීර‍කෝන් මහතා ද මෙම හමුවට සහභාගී වූහ.

නව අදහස දක්වන්න