ඇවන්ගාඩ් විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්න | දිනමිණ

ඇවන්ගාඩ් විභාග කිරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්න

ඇවන්ගාඩ් සමාගමේ සභාපති මේජර් නිශ්ශංක සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙස නීතිපති දප්පුල ද ලිවේරා අද පස්වරුවේ අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඔවුන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ, ඇවන්ගාඩ් මැරිටයිම් සර්විසස් සමාගමට අයත් එම් වී ඇවන්ගාඩ් නැමති නෞකාවේ කිසිදු නීත්‍යානුකූල බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් නොමැතිව නීති විරෝධි අන්දමින් ස්වයංක්‍රීය ගිනි අවි 816 ක් හා ජීව උණ්ඩ 202,395 ක් තබා ගැනීම ඇතුළු අධිචෝදනා 7573 යටතේයි.

ඒ අනුව මෙම නඩුව ශ්‍රී ලංකා අධිකරණ ඉතිහාසයේ වැඩිම අධිචෝදනා ප්‍රමාණයක් විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා ගොනු කළ නඩුව වන බව නීතිපතිවරයාගේ සම්බන්ධිකරණ නිලධාරිනි නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා ය.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් මහත් කැළඹීමකට ලක් වූ එම සිද්ධියේ පවතින දැඩි සංකීර්ණභාවය ඇතුළු සුවිශේෂී කරුණු කිහිපයක් නිසා විශේෂ පුහුණු හා නීතිය පිළිබඳ මනා අවබෝධයක් ඇති විනිසුරු මඩුල්ලක් හමුවේදී විභාගය පැවැත්වීම සුදුසු බවට නිගමනය කළ නීතිපතිවරයා, අගවිනිසුරු ජයන්ත ජයසුරියගෙන් එම ඉල්ලීම කර තිබේ.

 

නව අදහස දක්වන්න