මුවහත් කළ යුතු සයිබර් අපරාධ නීතිය | දිනමිණ

මුවහත් කළ යුතු සයිබර් අපරාධ නීතිය

රෝෂන් තුෂාර

සයිබර් තස්ත්‍රවාදයට එරෙහිව කටයුතු කිරීමට මෙරට නීති ප්‍රමාණවත් නොවන බව අවබෝධ වූයේ පාස්කු ප්‍රහාරයෙන් පසුවය. සයිබර් ත්‍රස්ත්‍රවාදයට එරෙහි නීති ප්‍රමාණවත් නොවන්නා සේම සමාජ මාධ්‍ය පාලනයටද මෙරට පවතින නීති ප්‍රමාණවත් නැත. ඒ නීති සැකසිය යුත්තේ උත්තරීතර පාර්ලිමේන්තුව මගිනි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විදේශ විනිමය ඉපැයීමේ කර්මාන්ත අතර සිවුවන ස්ථානයට පත්ව ඇත. එය රටේ පළමු අපනයන ආදායම බවට පත් කිරීමට රජය වෙර දරමින් සිටී. දැනට ඇමරිකන් ඩොලර් මිලියන 1200ක අපනයන ආදායමක් ලබන මේ කර්මාන්තයේ ආදායම ඇ.ඩො.මිලියන 5000 බවට පත් කර සෘජු රැකියා අවස්ථා 85000 සිට 200000 දක්වා වැඩි කිරීම රජයේ අභිලාසය වේ. මේ වන විට ඊට අවශ්‍ය වටපිටාව සකසමින් අනපනත් සම්මත කරමින් හා නීති රාමුව සකසමින් පවතී.

2003 අංක 27 දරණ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පනත, 2006 අංක 09 දරණ ඉලෙක්ට්‍රොනික ගනුදෙනු පනත, සයිබර් ආරක්ෂණ පනත් කෙටුම්පත හා නොබෝදා කැබිනට් මණ්ඩලය අනුමත කළ අන්තර්ජාල පද්ධති මෙවලම් පනත් කෙටුම්පත් එම නීති සැකසුමේ එක් පැතිකඩකි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කර්මාන්තයේ ප්‍රගමනයට, ආයෝජන අද්දවා ගැනීමට නීති සම්පාදනය කරමින් සිටි රජය පාස්කු ප්‍රහාරයෙන් පසුව සයිබර් අවකාශය හරහා සිදු කරන ගෝලීය ත්‍රස්තවාදය මැඩලීමට නීති සම්පාදනය කිරීම කෙරෙහි ද අවධානය යොමුකර තිබේ. ඒ පවතින නීති යාවත්කාලීන කිරීම මඟිනි.

සයිබර් අවකාශයේ වැදගත් පැතිකඩක් උසුලන සමාජ ජාලා මාධ්‍ය භාවිතයෙන් සිදුකරන වැරදි සම්බන්ධයෙන් ද දැඩි නීති අවශ්‍ය බවට සමාජ මතයක් ගොඩනැගෙමින් පවතී. එහිදී මෙතෙක් අප සමාජයේ සමාජ මාධ්‍ය හරහා සිදුකරන, සිදුකළ වැරැදිවලට දඬුවම් ලබාදීමට නීති නොතිබුණේ ද, නැතහොත් එම නීති ක්‍රියාත්මක නොවූයේ ද යනුවෙන් ගැටලුවක් මතුවනු ඇත.

සන්නිවේදන තාක්ෂණ විප්ලවයේ කොටස්කරුවන් වන අප එම නීති රීති පිළිබඳව දැන සිටිය යුතුමය. නොදැන‍ ගතහොත් අතේ ගෙනයන සන්නිවේදන මෙවලම නිසා අතේ විලංගු වැටෙනුයේ නීතිය නොදැනීම සමාවට කරුණක් නොවේය යන්න පසක් කරමින්ය.

මහජන මතය

ඊමේල්, ස්කයිප්, ෆේස් බුක්, වට්ස් ඇප්, ට්විටර්, ඉමෝ වැනි සමාජ මාධ්‍ය අද ජංගම දුරකථනය හරහා සමාජයේ සංසරණය වේ. උගත් නූගත්, වයස් පන්ති, සමාජ භේදයකින් තොරව සියලු පුද්ගලයින්ට සන්නිවේදන පහසුකම් ලැබීම සමාජීය ප්‍රගමනයකි. ඇමරිකාවට ලිපියක් යැවීමට දින 17ක් ගත වූ යුගය අවසන් කරමින් එම සැණින් යම් පණිවිඩයක් ඕනෑම රටක පුද්ගලයකුට යැවීම හැකියාව මෙතුළින් ලැබී ඇත. පෞද්ගලික අන්තර් සම්බන්ධතා රට රටවල රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා රට රටවල රාජ්‍ය ත්‍රාන්ත්‍රික සම්බන්ධතා ව්‍යාපාරික සමුළු, දෙරටක් අතර නඩු විභාග ඇතුළු එකී නොකී ඕනෑම සන්නිවේදනයක් සපුරාගත හැකිවීම සමාජ මාධ්‍යය හරහා හැකිවේ.

තාක්ෂණයේ මෙම දියුණුව ප්‍රථමයෙන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ඇමරිකාව තමන්ට අනුගත නොවන රටවල දෙවන පෙළ දේශපාලන කණ්ඩායම්වලට හා සිවිල් වැසියන්ට බලපෑම් කිරීම තුළින් තම අභිමතාර්ථ ඉටුකර ගත් අවස්ථා ද තිබේ. ඒ අනුව රටක මහජන මතය වෙනස් කිරීමට ඇමරිකාව සමාජ මාධ්‍ය භාවිතා කළේය.

රටක ආරක්ෂක තොරතුරු ත්ත්පර කීපයකින් සමාජගත කිරීමට හා රැස්කිරීම සමාජ මාධ්‍යයෙන් සිදුවූ තවත් සුබදායක පැතිකඩකි. සුනාමි අනතුරක් වැනි ස්වාභාවික විපත් සන්නිවේදනය ඊට එක් උදාහරණයකි. ආරක්ෂාව, අධ්‍යාපනය, ව්‍යාපාර ප්‍රවර්ධනය, තොරතුරු සන්නිවේදනය වැනි සියලු පැතිකඩවල සංවර්ධනයක් සමාජ මාධ්‍ය හරහා සිදුවුවද සමාජ හර පද්ධතීන් වියැකී යෑම පිළිබඳ සමාජ විද්‍යාඥයින්ගේ කනස්සල්ල ද සමාජ මාධ්‍ය කෙරෙහි එල්ලවේ. සමීපයේ සිටින සහෘදයා අතහැර නොදන්නා නොහඳුනන පුද්ගලයින්ගේ සිතුම් පැතුම් කියවීම ඇඟිලි තුඩින් කරන සමාජයක මිනිසුන් මව, පියා සහෝදරයා, සහෝදරිය අතහැර හුදකලාවීම සමාජ ප්‍රගමනයට බාධාවක් යැයි කිව හැකිය. පෙරදින සංස්කෘතීන් අගයමින් එක මේසයේ සුහදව රාත්‍රී ආහාරය ගත් ජීවන රටාව සමාජ මාධ්‍ය හේතුවෙන් අද නැත. ඇබ්බැහිවීම, හුදකලා බව තරබාරුව, අක්ෂි රෝග, ස්නායු පද්ධතියේ හා මොළයේ ආබාධ සහිත පිරිසක් මෙතුළින් සමාජයට දායාද වී ඇත යන මතයද බැහැර කළ නොහැකිය.

අප රට තුළ ද සමාජ මාධ්‍ය හරහා දේශපාලනය හැසිරවීමට ගත් ප්‍රයත්න පසුගිය ජනපතිවරණ සමයේ දක්නට ලැබිණි. 2015, 2016 වසරවල සමාජ මාධ්‍ය අවභාවිතා කළ පුද්ගලයින් අධිකරණය ඉදිරියට පැමිණ වූ අවස්ථාද එමටය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ඡායාරූප විකෘතිකර පළ කළ පුද්ගලයින්ට එරෙහිව නීති ක්‍රියාත්මක කෙරිණි. එසේ වැරදි තොරතුරු පළකිරීම්, අපහාස කිරීම්වලට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව පොලීසියට පවතී.

රජයේ වෙබ් අඩවියකට අනවසරයෙන් ඇතුළු වී එහි දත්ත වෙනස් කළ තරුණයකු ට එරෙහිව නීති ක්‍රියාත්මක වූ බව ප්‍රසිද්ධ රහසකි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ එම පැමිණිල්ල විමර්ශනය කෙරිණි. දේශපාලනයට එරෙහි වන සමාජ මාධ්‍යයට නීතිය ක්‍රියාත්මක කළ රටක වෛරී ප්‍රකාශ පතුරවන, රටේ ස්වෛරීත්වයට, භෞමික අඛණ්ඩතාවයට හා ආරක්ෂාවට තර්ජනයක් වන මාධ්‍ය මැඩ පැවැත්වීම සඳහා නීති ප්‍රමාණවත් නැතැයි කිසිවකු පවසන්නේ නම් එය නොහැකියාව වසා ගැනීමට උත්සාහ කිරීමකි. එසේම ත්‍රස්ත මර්දන ක්‍රියාවලිය සඳහා සමාජ මාධ්‍ය භාවිත කර ඇති ඇමරිකාව වැනි රටවල්, එම රටවල සමාජ මාධ්‍ය තහනමට ලක්කර නැති බවද අප සිහිතබා ගත යුතුය.

අප රටෙහි සමාජ මාධ්‍ය පිළිබඳව විදෙස් රටවල කෙතරම් අවබෝධයෙන් සිටියේ ද යන්න පාස්කු ප්‍රහාරය පිළිබඳ අපට ලබා දී ඇති ඔත්තුවලින් පැහැදිලි වෙයි. අතෙහි ඇති සන්නිවේදන මෙවලම ජාතික වශයෙන් නොව ජාත්‍යන්තර වශයෙන් පවා විමසුමට ලක්වන බව ඒ අනුව ජනතාව ප්‍රථමයෙන් වටහා ගත යුතුය.

මෙරට නීති දැඩි නොවුවත් යම් රටකට, එම රටෙහි ජන කොට්ඨාසයට, ඇඟ මතට එරෙහි වන යමක් ඔබගේ සන්නිවේදන මෙවලමේ හෝ සමාජ මාධ්‍යයේ තිබේ නම් ඔබ එම රට හරහා ගමන් කළහොත් අත්අඩංගුවට පත්වීමට ඉඩකඩ ඇති බව වටහා ගත යුතුය. භාෂණයේ නිදහස් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ප්‍රජාතන්ත්‍රවාදය හෝ තොරතුරු දැනගැනීමේ අයිතිය තිබූ පමණින් සමාජ මාධ්‍ය ඔස්සේ ඕනෑම දෙයක් සමාජගත කළ නොහැකි බව ඉන් පැහැදිළි වේ.

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තිය යටතේ භාෂණයේ නිදහස අපට ලැබී ඇත. එසේ නමුත් ඔබගේ හැරමිටිය වැනීමේ නිදහස අනෙක් කෙනාගේ නාසය කෙළවරින් නතර වේ යනුවෙන් කියමනක් ද තිබේ. සමාජ මාධ්‍යයට ද එම සීමා තිබිය යුතුය. අප රට බහු ආගමික, බහු ජාතික රටකි. දණ්ඩ නීති සංග්‍රහයේ 290 වගන්තියේ “ආගමට” එරෙහිව සිදු කරන වැරදි ‍වලදී ක්‍රියාකළ යුතු ආකාරය සඳහන් වේ. විවිධ ආගම් සහ විවිධ ඇදහිලි පවතින රටක එකිනෙකා අතර සුහදත්වය හෝ ජාතික සමඟිය බිඳවැටෙන දේවල් කළ ‍ නොහැකි බව එම වගන්තියේ සඳහන් වේ. ආගම්වලට බාධා කිරීමට, ආගමික විශ්වාස හෙළා දැකීම හෝ ගැරහීමට නොහැකි බව මේ නීතියේ සඳහන් වේ. දණ්ඩ නීති සංග්‍රහයේ 291 ඒ වගන්තිය අනුවත් චේතනාන්විතව එසේ කළ නොහැකි බව සඳහන් වෙනවා. ව්‍යවස්ථාවෙන් ලබා දී ඇති භාෂණයේ නිදහස 290 හා 291 දණ්ඩ නීති සංග්‍රහ වගන්තිය අනුව සීමා වන බව සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් දැන සිටිය යුතුය.

වාචිකව හා ලිඛිතව සමාජ මාධ්‍ය තුළ වෛරී ප්‍රකාශ සිදුකළහොත් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ පනත ප්‍රකාරව එම පුද්ගලයින්ට එරෙහිව නඩු පැවරීමේ හැකියාව ඇත. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පනතේ වගන්ති උල්ලංඝනය කරමින් වරදක් සිදුකර ඇති බවට තීරණය කරනු ලබන තැනැත්තකුට නඩු පැවරුව හොත් එය ඇප ලබාදිය නොදක් වරදක් වන අතර ඇප ලබා ගත හැක්තේ සුවිශේෂී කරුණු මත මහාධිකරණයෙන් පමණක් බවත් පනතේ විස්තර කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 1966 දෙසැම්බර් 16 දින සම්මත කරගනු ලැබූ සහ 1976 මාර්තු 23 දින බලාත්මක වූ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතියට ශ්‍රී ලංකාව 1980 එකඟත්වය ලබාදීම හේතුකොට 2007 වසරේදී පාර්ලිමේන්තුව මඟින් එම පනත සම්මත කළේය. එතෙක් ශ්‍රී ලංකා නීතියේ අඩංගු නොවූ අයිතිවාසිකම් ප්‍රකාශ කිරීම මේ මඟින් සිදුව තිබේ. 1972 ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ඇතුළත් කර තිබුණද, එම අයිතීන් ක්‍රියාත්මක කිරීමට හෝ බලාත්මක කිරීමට නඩු පැවරීමට, අතෘප්තියට පත් පාර්ශ්වයන්ට කිසිදු අවස්ථාවක් තිබුණේ නැත. 1978 ව්‍යවස්ථාවේ පරිච්ඡේද අංක තුන මූලික මිනිස් අයිතිවාසිකම් ලෙස ඇතුළත් කර ඇත. එම මූලික මිනිස් අයිතිවාසිකම් කඩවීම උත්තරීතර අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිමය පිළිසරණ ලබාදීමට විශේෂ අවස්ථා උදාකර දී ඇත. 2007 සිවිල් හා දේශාපලන අයිතිවාසිකම් පනත මඟින් එතෙක් පිළිසරණක් නොවූ අයිතීන් ද රැක දීමට සමත් වූ බවද පෙන්වා දිය හැකිය.

පාර්ලිමේන්තුව

එම පනතේ වගන්තිය අනුව සෑම පුද්ගලයෙක්ම නීතිය ඉදිරියේ සමාන අයිතිවාසිකම්වලින් යුක්ත බව සඳහන් වේ. බාල වයස්කාරයකු පවා නීතිය ඉදිරියේ සමාන පුද්ගලයෙක් ලෙස සැලකේ. තුන්වන වගන්තිය අනුව යුද්ධය පැතිරවීම හෝ වෙනස් ලෙස සැලකීමට සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට යොමුකිරීමට තුඩු දෙන ජාතිකාවාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවන ප්‍රකාශ නිකුත් කිරීම නොකළ යුතුය. මෙකී කරුණ ඉදිරිපත් කර ඇත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ මෙතෙක් ආවරණය නොවූ නීති සඳහා වේ. මේ පනත අනුව ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය ඇති කරන්නන්ට ඇප දිය නොහැකි බව සඳහන් වේ. සමාජ මාධ්‍ය තුළින් සිදුකරන අපහාස අවලාදවලට සිවිල් නීතිය මඟින් යම් වාරණයකට, වන්දියකට යටත් කිරීමකින් ඔබ්බට ගොස් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලබාදීමට මේ තුළින් හැකිවේ.

හදිසි අනතුරක් සිදුවූ විටදී අපරාධමය නඩුවක් පැවරිය හැකි ය. සිවිල් නඩුවක් ද පවරා වන්දි ලබාගත හැකි ය. එවන් ආකාරයට අපහාසයක දී, වෛරය පැතිරවීමටද සිවිල් මෙන්ම අපරාධ නඩුවක් පැවරීමේ හැකියාව තිබිය යුතුය. හිටපු පොලිස්පතිවරයාට හා ආරක්ෂක ලේකම්වරයාට නොසලකා හැරීම යන පදනම මත අපරාධමය නඩුවක් පැවරීමට නැතහොත් අධිකරණයක් ඉදිරියට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත්තේ ඒ සඳහා නීතියෙන් ඉඩ තිබූ නිසාය.

ඇතැම් අවස්ථාවල සමාජ මාධ්‍ය නිර්දෝෂී පුද්ගලයන් නොමරා මරණ තත්ත්වයට පත්ව ඇත. අප රටේ මෙතෙක් ක්‍රියාත්මක රෝම ලන්දේසි නීතිය අනුව සිවිල් නඩුවක් පවරා වන්දි අයකරගැනීමෙන් ඔබ්බට ගොස් අපරාධ නීතිය ක්‍රියාත්මක කළ යුතුව පවතින්නේ ඒ අනුවය.

සයිබර් තස්ත්‍රවාදයට එරෙහිව කටයුතු කිරීමට මෙරට නීති ප්‍රමාණවත් නොවන බව අවබෝධ වූයේ පාස්කු ප්‍රහාරයෙන් පසුවය. සයිබර් ත්‍රස්ත්‍රවාදයට එරෙහි නීති ප්‍රමාණවත් නොවන්නා සේම සමාජ මාධ්‍ය පාලනයටද මෙරට පවතින නීති ප්‍රමාණවත් නැත. ඒ නීති සැකසිය යුත්තේ උත්තරීතර පාර්ලිමේන්තුව මගිනි.

එහෙත් පාර්ලිමේන්තුවෙන් මෙතෙක් එළි දක්වා ඇත්තේ යම් යම් සංස්ථාගත කිරීමේ පනත් පමණි. එබැවින් රටට වැදගත් මාතෘකා පිළිබඳ පාර්ලිමේන්තුවේ විවාද කළ යුතුය.

ඇමරිකාව සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන රටට අහිතකර දේ වැළැක්වීමට කටයුතු කර ඇති අතර එවැනි ක්‍රමවේදයක් එරටේ ඇත. මෙරට ඒ සඳහා ක්‍රමවේදය වන්නේ ටික දිනකට සමාජ මාධ්‍ය අවහිර කිරීමය. එහෙත් තාක්ෂණය දන්නා අය වී.පී.එන්. මඟින් සමාජ මාධ්‍යවල සැරිසරණ බව නොරහසකි. එසේ නම් ආණ්ඩුව කළ යුත්තේයම් විදේශ නීති විශේෂඥයින් ලවා රටට ගැලපෙන විසඳුමක් හදුන්වා දීමය.

නව අදහස දක්වන්න