ගුවන් සමාගමේ අමිහිරි කතාව! | දිනමිණ

ගුවන් සමාගමේ අමිහිරි කතාව!

සීමාසහිත ශ්‍රී ලන්කන් ගුවන් සමාගම 2009 සිට 2019 දක්වා කාලය තුළ ලබා ඇති පාඩු ව කෝටි විසිහතර දහසක් බව කෝප් කමිටුව පෙන්වා දෙයි. සමාගම වෙනත් රාජ්‍ය ආයතන කිහිපයකට ගෙවීමට ඇති මුදල රුපියල් බිලියන එකසිය හතළිස්හයක් බවද, බැංකුවලින් ණය වශයෙන් ලබාගෙන ඇති මුදල රුපියල් බිලියන එකසිය දෙකක් බව ද කෝප් කමිටුව තවදුරටත් සඳහන් කරයි. මේ ආයතනය රටට බරක් ලෙස පවත්වාගෙන යන්නේ ද? නැතහොත් විකුණා දමන්නේ ද යන ගැටලුව පමණක් නොව; සිදු වී ඇති හා සිදුවෙමින් පවතින අලාභය ජනතාවගේ බදු මුදල්වලින් පියවන්නේ ඇයි ද යන ගැටලුව ද අප ඉදිරියෙහි පවතී.

පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් මතුවන සංවාදවල දී එකිනෙකාට විවේචන ඉදිරිපත් කරනු මිස; ආයතනය ගොඩනැඟිය හැකි ස්ථාවර වැඩසටහනක් ඉදිරිපත් කරන බවක් ද පෙනෙන්නට නැත. කිසියම් ආයතනයක් පාඩු ලබන්නේ නම්; එහි වගකීම ඉහළ කළමනාකාරිත්වය භාරගත යුතුය. එම කළමනාකාරිත්වය පත්කළ දේශපාලන අධිකාරිය ද ඊට වගකිව යුතුය.

කෝප් කමිටුව මෙහිලා සඳහන් කරන තවත් වැදගත් කාරණයක් තිබේ. එනම්; 2013 – 2014 කාලයෙහි එළඹ තිබූ ගිවිසුමක් අවසන් කිරීම හේතුවෙන් රුපියල් මිලියන දාහත්දහස් පනස් අටක වන්දියක් ගෙවීමට සිදු වී ඇති බව ය. එලෙස ම ඊට අදාළ තීන්දුව ශ්‍රී ලන්කන් සමාගමේ ඉහළ කළමනාකාරිත්වය හිතුවක්කාර ලෙස ගෙන ඇති බව ද එය කළමනාකාරිත්වයේ බලය ඉක්මවා යෑමක් ලෙස ද කෝප් කමිටුව සඳහන් කර ඇත. ගුවන් සමාගමට අදාළ වැදගත් තීන්දු ගැනීම සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගී කරවාගත යුතු වුව වාර ගණනාවකදීම එවැන්නක් සිදු වී නැත. නිලධාරීන්ගේ ක්‍රියාකාරිත්වය පිළිබඳ අදහසක් ඉන් ලබාගත හැකි ය.

විගණකාධිපතිවරයාගේ වාර්තාවල සඳහන් වන අන්දමට කැබිනට් අනුමැතිය ලබාගත යුතු අවස්ථාවලදී ගුවන් සමාගමේ ඉහළ කළමනාකාරිත්වය එය ලබාගෙන නැත. ගිවිසුම් අවසන් කිරීම මෙන්ම උපදේශන ලබාගැනීම ද හිතුවක්කාරී ලෙස සිදු වී ඇත. නිලධාරීන් බලය ඉක්මවා කටයුතු කිරීම ඔස්සේ කරුණු දෙකක් වටහාගත හැකිය. එක කරුණක් වන්නේ රටේ ඉහළ ම තැන්වලින් ඔවුනට ආරක්ෂාව සැපයූ බව ය. අනෙක් කාරණය වන්නේ නිලධාරීන් තමන්ගේ වාසිය පතා විවිධ තීරණ ගෙන ඇති බවය. උපදේශන සේවා මේ අයුරින් ලබාගෙන ඇති අතර ඒ සඳහා වැය කර ඇති මුදල අතිවිශාල ය. එම උපදේශනවලින් සමාගමට ලැබුණු දෙයක් නැත. රටට ලැබුණු දෙයක් ද නැත යනුවෙන් කෝප් කමිටු සභාපතිවරයා පෙන්වා දී ඇත.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ පාඩුව හා අවුල පටන්ගන්නේ මහින්ද රාජපක්ෂ පාලන සමය තුළ ය. මේ ගුවන් සමාගමේ ඉහළ කළමනාකාරිත්වය විදේශීය සමාගමක් මගින් සිදු වූ කාලය තුළ ආයතනය යම් ලාභයක් ලැබූ අතර කාර්යක්ෂම සේවාවක් ද ලබා දුන් බව සටහන් වී ඇත. එහෙත් රටේ පාලකයන්ගේ ‍පෞද්ගලික අභිමතය පරිදි ඉහත කළමනාකාරිත්වය වෙනස් කළ තැන සිට ආයතනය පිරිහෙන්නට පටන් ගත් බව පෙනෙයි. ඉනි’ක්බිති ඉහත ආයතනය තුළ දූෂණ ගණනාවක් සිදු වූ බවට විවේචන පවතී. ඒවා සම්බන්ධයෙන් විමර්ශන ද සිදුවේ. පසුගිය කාලය තුළ ගුවන් සමාගම බරපතළ ලෙස පාඩු ලබා ඇති අතර එය පවත්වාගැනීම සඳහා මහජන බදු මුදලින් ඩොලර් මිලියන අනූ අටක් වැය කර තිබේ.

රාජ්‍ය ආයතන අතරින් වැඩියෙන් ම පාඩු ලබන ආයතනයක් හැටියට ද වැඩිම වියදමක් දරන ආයතනයක් හැටියට ද නිලධාරීන් සඳහා ඉහළම වැටුප් හා පහසුකම් ලබාදෙන ආයතනයක් හැටියට ද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම හැඳින්විය හැකිය. රටකට සාර්ථක ගුවන් සේවයක් අවශ්‍ය බවට තර්කයක් නැත. ස්වකීය ගුවන් සේවා නැති රටක් ඇතොත් ඒ කලාතුරෙකින් ය. බොහෝ රටවල් ලෝක ගුවන් සේවා සමඟ තරගවදිමින් ලාභ ලබන තත්ත්වයටද, කීර්ති නාමයක් දිනාගන්නා තැනට ද පත්වී සිටිති. ඒ සඳහා බලපාන ප්‍රධාන සාධකය ලෙස සැලැකිය හැක්කේ සාර්ථක කළමනාකාරිත්වය යි.

පාඩු ලබන රාජ්‍ය ආයතන පවත්වාගැනීම සඳහා ආර්ථික උපාය මාර්ග කිහිපයක් භාවිත කෙරේ. එක උපාය මාර්ගයක් වන්නේ ආයතනය පෞද්ගලිකකරණයට නතු කිරීම ය. ශ්‍රී ලංකාව පෞද්ගලිකකරණය සම්බන්ධයෙන් වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. විශේෂයෙන් වෘත්තීය සමිති ඊට එරෙහි ව අරගල කරති. දෙවන උපායමාර්ගය වන්නේ ඉහළ කළමනාකාරිත්වය සුදුසුකම් හා අත්දැකීම් සහිත සමාගම් වෙත භාරදීමය. තෙවන උපාය මාර්ගය වන්නේ විදේශීය සමාගම් සමඟ ඒකාබද්ධ සේවයක් ආරම්භ කිරීම ය. මේ කිසිදු උපායමාර්ගයක් විධිමත් ලෙස අත්හදා බලන්නට ඉහත ආයතනය යොදාගෙන නැති බව පෙනී යයි. අඩු - වැඩි වශයෙන් යොදාගත් උපාය මාර්ග ද ප්‍රමාණවත් කාලයක් තුළ ක්‍රියාවට නංවා නැත.

ඉහත සිදුවීම් නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම යළි ගොඩනැඟීම සඳහා ස්ථාවර වැඩසටහනක් ඇති කළ යුතු බවය. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව ප්‍රකාශ වී ඇත. එබඳු විවාදයක් පැවැත්වීම වරදක් නොවේ. එහෙත් විවාදයකින් පමණක් ගැටලුවට විසැඳුම් ලැබෙන්නේ නැත. ගුවන් සමාගම ගොඩගත හැකි උපායමාර්ග සෙවීම එක පැත්තකින් පවතින අතර මහජන බදු මුදලින් එය පවත්වාගෙන යෑම ද නැවැත්විය යුතුය. කෝප් කමිටුවේ නිර්දේශ මෙන් ම, විගණකාධිපතිවරයාගේ වාර්තාව ද සැලැකිල්ලට ගනිමින් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම පිළිබඳ තීරණයක් ගැනීමට විද්වත් කමිටුවක් පත් කිරීම වඩා වැදගත් බව පෙනී යයි.

 

නව අදහස දක්වන්න