වැහිබර අහස යට ශ්‍රී ලංකා පිල පරිස්සමෙන් ගමන අරඹයි | දිනමිණ

වැහිබර අහස යට ශ්‍රී ලංකා පිල පරිස්සමෙන් ගමන අරඹයි

ප්‍රින්ස් ගුණසේකර

පළමු දිනයේ කඩුලු 2කට ලකුණු 85යි

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනයේ වර්ෂාවෙන් ඇතිවූ බාධක මැද මුලින් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 85ක් ලබා සිටී. උදෑසන පැය තුනක පමණ කාලයක් ප්‍රමාදවී පී. සරා ඕවල් පිටියේ ඊයේ ආරම්භවූ මේ තරගය පළමු දිනයේ තේ පානය සඳහා නතර කරද්දී ඇද හැලුනු සිරි පොද වර්ෂාව හේතුවෙන් නැවැත පැයකට අධික කාලයක් අපතේ ගියේය. සම්පූර්ණ දිනයේ යැවිය යුතු ඕවර් ගණන 60ක් දක්වා අඩුකර තිබිණද අයහපත් කාලගුණික තත්ත්වය මැද පළමු දිනයේ යැවීමට හැකි වූයේ ඕවර් 36.3ක් පමණි.

මුල් දිනයේ තරගය නතර කරද්දී දිමුත් කරුණාරත්න සහ ඇන්ජලෝ මැතිව්ස් නොදැවී කඩුල්ලේ රැදී සිටියහ. දිනයේ කැපී පෙණන ඉනිමක් දියත් කළ දිමුත් කරුණාරත්න තම ටෙස්ට් දිවියේ 23වැනි අර්ධ ශතකයට ලකුණක් පසුපසින් සිටි අතර මැතිව්ස් ලකුණු ලබා ගැනීම ආරම්භ කර නොතිබිණි. දිමුත් පන්දු 100කට මුහුණදී සිටි අතර හතරේ පහර 6ක් එල්ල කරමින් ශ්‍රී ලංකා පළමු ඉනිමේ එක් අන්තයක් ආරක්ෂා කිරීම ප්‍රශංසනීය මෙහෙවරක් විය.

උදෑසන සිට දිගින් දිගටම ඇද හැලුණු වර්ෂාව දහවල් වනවිට අවසන් වුවද අහස වැහි වළාකුළුවලින් බරව පවතිද්දීම දහවල් 1.10ට පමණ කාසියේ වාසිය උරගා බැලූ අතර නායක දිමුත් කරුණාරත්න කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහරදීමට තීරණය කළේය. ඒ අනුව පස්වරු 1. 40ට තරගය ආරම්භවූ අතර දිමුත් කරුණාරත්න හා ළහිරු තිරිමාන්න ආරම්භක පිතිකරු යුගලය පිටියට පිවිසියහ.

නවසීලන්ත වේග පන්දු බළ ඇණියේ ප්‍රධාන තුරුම්පු දෙක වූ ට්‍රෙන්ට් බෝල්ට්ගේ හා ටිම් සවුතිගේ පන්දු හොඳින් තේරුම්ගත් දිමුත් හා ළහිරු මුල් ඕවර් කිහිපයේදී දෝලනය වෙමින් පැමිණි බොහෝ පන්දු නිදැල්ලේ යෑමට ඉඩ හරිමින් ක්‍රීඩා කළ අතර මේ හේතුවෙන් ට්‍රෙන්ට් බෝල්ට් වෙනුවට දකුණතින් පිට දඟ පන්දු යවන ක්‍රීඩක විලියම් සමර්විල් කැඳවීමට නායක කේන් විලියම්සන් තීරණය කළේය.

එය වඩාත් නිවැරදි වෙනසක් බව තහවුර් කරමින් විලියම් සමර්විල්ගේ පන්දුවකට ඉදිරි පාදයේ ක්‍රීඩා කරද්දී ෂෝට් කවර් කළාපයේ පන්දු රකිමින් සිටි කේන් විලියම්සන් අතට උඩ පන්දුවක් දෙමින් ළහිරු තිරිමාන්න ලකුණු 2කට දැවී ගියේය. තිරිමාන්න එම ලකුණු 2ක ලබා ගැනීමට පන්දු 35ක් වැය කිරීම සරා තණතිල්ලේ පිතිකරුවන්ට ලකුණු ලබා ගැනීම පහසු නොවන්නක් බවට කදිමව කියා පාන්නකි. ශ්‍රී ලංකා පිල කඩුල්ලක් දැවී ලකුණු 29ක්ව තිබියදී දිමුත් සමග එක්වූ කුසල් මෙන්ඩිස් දුර්වල පන්දුවට වේගයෙන් පහරදී ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත් විය. එහෙත් වේග පන්දු යවන කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම්ගේ පන්දුවකට ඉදිරි පාදයේ ආරක්ෂාකාරී පහරකට ගිය මෙන්ඩිස් කඩුලු රකින ක්‍රීඩක වෙට්ලින්ග් අතට උඩ පන්දුවක්දී ලකුණු 32කට දැවීගිය අතර ඒ වෙද්දී ඔහු පන්දු 70කට මුහුණදී හතරේ පහර 4ක් එල්ල කොට තිබිණි. දෙවැනි කඩුල්ලට දිමුත් හා කුසල් අතර සම්බන්ධතාව හරියටම ලකුණු 50කි.

දෙපිලේම වෙනස්කමක් බැගින් සිදුකර තිබූ අතර ගාල්ලේ පළමු ටෙස්ට් තරගයේදී පන්දු යැවීමේ ඉරියව්ව අභියෝගයට ලක්වූ අකිල ධනංජය වෙනුවට දිල්රුවන් පෙරේරා ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති මිචෙල් සැන්ටර් වෙනුවට වේග පන්දු යවන කොලින් ඩි ග්‍රැන්ඩ්හෝම් නවසිලන්ත කණ්ඩායමට කැදවීය.

 

නව අදහස දක්වන්න