රාජපක්ෂ පවුල දැවැන්ත විසකුරු අඬු ඇති මකරෙක් වගෙයි | දිනමිණ

රාජපක්ෂ පවුල දැවැන්ත විසකුරු අඬු ඇති මකරෙක් වගෙයි

කඩාවැටුණු සම්ප්‍රදායන් ප්‍රතිෂ්ඨාපනය කරන්න අවශ්‍ය වන්නේ මියෙනතුරා රාජ්‍ය බලය පරිහරණය කිරීමේ පරමාර්ථය තිබෙන පාලකයකුට හෝ තමන්ගේ පරම්පරාවට, තමන්ගේ ගජ මිතුරන්ට බලය භුක්ති විඳීමට සූදානම් වන පාලකයකුට නොවේ. රාජපක්ෂ පවුල කියන්නේ දැවැන්ත විසකුරු අඬු තිබෙන මකරෙක් යැයි සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ සභාපති, කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ කළේය.

ඒමහතා මේ බව පැවැසුවේ රාජගිරිය ෆුඩ්සිටි ගොඩනැඟිල්ලේ දී පෙරේදා (21) පැවති සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත්අදහස්දැක්වූ ඒ මහතා මෙසේ ද කීය.

යම්කිසි භීතිකාවක් ව්‍යාප්ත කර තිබෙන බව දැනටම අපිට පෙනෙනවා. යහපාලන ආණ්ඩුව යටතේ ජනමාධ්‍යවේදීන් යම්කිසි මාධ්‍ය නිදහසක් භුක්ති වින්ඳාද නැද්ද කියන දේ දන්නවා. ව්‍යවස්ථාදායක සභාව ගොඩනැඟීමෙන් අප දිනා ගත් දේවල් අවශ්‍යද නැද්ද කියන කාරණා ගැඹුරින් කල්පනා කරන්න අවශ්‍යයි. ප්‍රථමයෙන්ම නිදහස අවශ්‍යයි. ජීවත්වීමේ නිදහස, දේශපාලනය කිරීමේ නිදහස,අදහස් පළ කිරීමේ නිදහස තිබෙන්න අවශ්‍යයි.

නීතිය කාටත් එක හා සමානව භුක්ති විඳීමට හැකියාව තිබෙනවා නම් එක එක පුද්ගලයාට අභිමත පරිදි රාජ්‍ය පාලනය කරන්න බෑ. ඉදිරියේ දී පෙනී සිටින්නේ නීතියේ පාලනය වෙනුවෙන්. නීතියේ පාලනයේ ප්‍රතිලාභ නොලැබෙන විට දුප්පත්කම වැඩි වෙනවා. සමාජ අසාධාරණකම් වැඩි වෙනවා. සියලු පුද්ගලයන්ට නීතියේ ප්‍රතිපාදන ලබාගැනීමට නොහැකි වෙනවා. බලය, ධනය තිබෙන අය තමන්ගේ අභිමතාර්ථ මුදුන්පත් කර ගන්නවා. මේ ක්‍රියාවලිය පාලනය කළ හැකි පාලනයක් අපට අවශ්‍යයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය නීතිඥ නාමල් රාජපක්ෂ මහතා

යහපාලන රජය අධිකරණ ස්වාධීනත්වය ඇති කරන්න කටයුතු කළා. ඊට පෙර අධිකරණ ක්‍රියාවලිය සිදු වූ ආකාරය අපි දැක්කා. තමන්ගේ පවුලේ කටයුතු සඳහා භාවිත කළ අධිකරණ පද්ධතියක් තිබුණේ. අපි අධිකරණ කොමිසන් සභාව ස්වාධීන කර ගත්තා. විනිශ්ච්‍යකාරවරුන් පත්කර ගැනීමේ දී පාරදෘශ්‍යභාවය ඇති කළා. රාජපක්ෂ යුගයේ දී විනිශ්චකාරවරුන් පත් කිරීමේ දී ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව තිබුණේ නෑ. ඒ කාලයේ දී පත් වුණේ ජනතාවට අධිකරණමය බලය ක්‍රියාත්මක වන විනිශ්චකාරවරුන් නොවේ. විශේෂයෙන්ම රාජපක්ෂවරුන්ට අවශ්‍ය ආකාරයට විනිශ්චකාරවරුන් පත් වුණා. අපි ඒ තත්ත්වයෙන් මිදී දැන් ස්වාධීන අධිකරණයක් බිහි කරගෙන තිබෙනවා. එවන් අවස්ථාවක එම තත්ත්වය නැවත අනතුරට පත් කිරීමට දුෂ්ට පාලන තන්ත්‍රයක් පෙළ ගැසී සිටිනවා. ප්‍රජාතන්ත්‍රවාදය අගයන, මාධ්‍ය නිදහස අගයන, ප්‍රගතිශිලී ජනතාව එයට ඉඩ දෙන්නේ නෑ. අපි අපේ ව්‍යාපාරයට අනුගත වන පක්ෂ දේශපාලනයට නොයෙදෙන, දේශපාලන පක්ෂවල යෙදුණ ද ඒ පුද්ගලයා පක්ෂ දේශපාලනයෙන් ඉවත් වී ස්වාධීන ජනාධිපතිවරයෙක් විය යුතුයි. අපේ රටේ ජනාධිපතිවරයාට බලතල රාශියක් දී තිබෙනවා. ඒ බලතල ලබා දී තිබෙන්නේ ස්වාධීන අපක්ෂපාතී පුද්ගලයකුටයි.

මහින්ද රාජපක්ෂ යුගයේ දී නීතිපති දෙපාර්තමේන්තුව තමන්ගේ යටතේ තබාගෙන තමන්ට විරුද්ධවාදීන්ට නඩු පවරමින්, තමන්ගේ හිතවතුන්ගේ නඩු නිදහස් කරමින් ගෙන ගිය පාලන යුගය අපි දැක්කා. දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ඝාතනයේ දී නීතිය ක්‍රියාත්මක වුණේ නෑ. ඒ කාලයේ රාජපක්ෂ කල්ලියට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් කරන්න පුළුවන්කම තිබුණේ නෑ. ජනමාධ්‍යවේදීන් කොයිතරම් ලංකාවෙන් බැහැර වුණාද. ජනමාධ්‍යවේදීන් ඝාතනය කළාම කිසිදු නීතියක් ක්‍රියාත්මක වුණේ නෑ. ඒ නිසා අපි ලබා ගත් නිදහස ඉදිරියටත් ගෙන යා යුතුයි. මොකද මේ රාජපක්ෂ පවුල කියන්නේ දැවැන්ත විසකුරු අඬු තිබෙන මකරෙක්. එහි දැවැන්තම විසකුරු අඬුව වන්නේ ගෝඨාභය රාජපක්ෂයි. ඉතාම අනතුරුදායක පාලනයකට යන බව ඔහු වටා රැස් වී සිටින අයගෙන් අපට පෙනෙන්නට තිබෙනවා.

විද්‍යුත් මාධ්‍ය ක්‍රියාත්මක වන්නේ මහජනතාවගේ සංඛ්‍යාතය මතයි. ඒ නිසා ජනතාවට වග වන අයුරින් විද්‍යුත් මාධ්‍ය හැසිරිය යුතුයි. ජනතාවට ද්‍රෝහී නොවන ආකාරයට, ජනතාවට ප්‍රශ්න ඇති නොවන ආකාරයට, ජනතාව සනසවන, දුර දක්නා දේ පෙන්වාදීමට, ජාතිවාදය ප්‍රතික්ෂේප කරන, සංහිඳියාව ඇති කරන ආකාරයට ජනමාධ්‍ය හැසිරිය යුතුයි.

සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් පාලිත ලිහිණියකුමාර මහතා

අපි බලාපොරොත්තු වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමටයි. නමුත් අද වනතුරු එය සිදු කරගැනීමට නොහැකි වී තිබෙනවා. ඒ නිසා යහපාලනයේ ඉදිරි මඟ අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ එකඟතාව අනුව අවුරුදු 02ක් ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කර ඉදිරියට යෑමට බලාපොරොත්තු වෙනවා. 2015ට පෙර ආරක්ෂක ලේකම්, ජනාධිපති, විදේශ කටයුතු අධීක්ෂණ මන්ත්‍රීවරයාට විරුද්ධව සටහනක් ලියන්නට යනවා නම් මනසේ ක්‍රියාත්මක වූ සංකල්ප මොනවාද කියා හිතලා බලන්න.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ මහත්වරුන්ට යම් එකඟතාවකට එන්න පුළුවන් නම් මේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරන්න කියා ඉල්ලා සිටිනවා.

චන්දිමා කරුණාරත්න 
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

නව අදහස දක්වන්න