හමුදා බුද්ධි නිලධාරී චාමික සුමිත් CID අත්අඩංගුවේ - UPDATE | දිනමිණ

හමුදා බුද්ධි නිලධාරී චාමික සුමිත් CID අත්අඩංගුවේ - UPDATE

යුද හමුදා බුද්ධි අංශ නිලධාරී චාමික සුමිත් කුමාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන ඇත.
 
මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගැනීමේ සිද්ධියට අදාළව නීතිපති උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

කීත් නොයාර් පැහැර ගැනීම: යුද හමුදා බුද්ධි අංශ මාණ්ඩලික සැරයන් රිමාන්ඩ්

මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහරදීමේ සිද්ධියට නීතිපති උපදෙස් මත අත්අඩංගුවට ගත් දහවැනි සැකකරු වන යුද හමුදා බුද්ධි අංශ මාණ්ඩලික සැරයන් සුමිත් කුමාර යන අය ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සී. එච්. ජී. ලියනගේ මහතා ඊයේ (23) නියෝග කළේය.

යුද හමුදා බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන්වරයකු වන සුමිත් කුමාර නැමැත්තා මෙලෙස ඊයේ (23) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධව නමවැනි සැකකරු ලෙස නම් කර රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හමුදා බුද්ධි අංශ කෝප්‍රල් ලලිත් රාජපක්ෂ යන අය ඇප මත මුදා හැරීමට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් සී. එච්. ජී. ලියනගේ මහතා ඊයේ (23) නියෝග කළේය.

මහේස්ත්‍රාත්වරයා විසින් ලක්ෂ විසිපහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හරින ලදි. ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවත් ඥාතීත්වය ලේඛන හරහා තහවුරු කළ යුතු බව පැවැසීය.

තව ද සැකකරු සෑම ඉරුදිනකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බව ද මහේස්ත්‍රාත්වරයා අවවාද කරන ලදී. සැකකරු හට ඇප ලබා දෙමින් ඔහුගේ විදේශ ගමන් තහනම් කිරීමට හා විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාරදෙන ලෙස මහේස්ත්‍රාත්වවරයා නියම කළේය. නඩුව දෙසැම්බර් මස (03) යළි කැදවීමට නියමිතය.

ගයාන් කුමාර වීරසිංහ අමෝදා ජයමහ

නව අදහස දක්වන්න