අවසන් තීන්දුව ජනපති අතට | දිනමිණ


 

අවසන් තීන්දුව ජනපති අතට

පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් සිදුකර ඇති මත වීමසීමට අදාල විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත නිගමනය ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම විභාගය පැවැත්වුණි.

බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ ,ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන විනිසුරුවරු එම පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් වශයෙන් කටයුතු කළේය.

නඩු විභාගය ආරම්භයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය විවෘත අධිකරණය ප්‍රකාශ කර සිටියේ ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මෙම මත විමසීමට අදාළව  ශ්‍රේෂ්ඨාධිකරණය වෙත විවිධ පාර්ශව වලින් ලිඛිත දේශන 13ක් ඉදිරිපත් වී තිබෙන බවයි.

2017 අංක 17 දරණ පළාත් සභා සංශෝධන පනත මේ වනවිට නීතියක් වශයෙන් බලාත්මක පවතින බව කියා සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය ඒ යටතේ සීමා නිර්ණය කටයුතු සිදුවෙමින් පවතින බවයි ප්‍රකාශ කළේය.

සීමා නිර්ණ කටයුතු අවසන් වීමෙන් පසුව එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමු කෙරෙන බවත් ජනාධිපතිවරයා විසින් එය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් ලැබෙන බව ද රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයා ගේ මත විමසීමට අදාළ විභාගය අවසන් කරමින් තම රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළේය.

 

නව අදහස දක්වන්න