‍ෆැසිස්ට්වාදයට එරෙහි බලවේගයක් ඕනෑ | දිනමිණ

‍ෆැසිස්ට්වාදයට එරෙහි බලවේගයක් ඕනෑ

දුමින්ද සම්පත්
නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකයා පිළිබඳ ප්‍රශ්නය, ඊළඟ මැතිවරණයේ ජාතික හෙළ උරුමය දරන ස්ථාවරය, ජ.වි.පෙ. ප්‍රමුඛ දේශපාලන එකමුතුව යහපාලන කණ්ඩායමේ දේශපාලනය කෙරෙහි බලපාන ආකාරය, ද්විත්ව පුරවැසි ප්‍රශ්නය සහ ගෝඨාභය මහතාගේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ආදී කරුණු ගැන අවධානය යොමු කරමින් නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සංවාදයට එක්වේ.

* වෘත්තීය පුහුණුවෙ නිහඬ විප්ලවයක් කළා 
* දූෂිත කල්ලිය පරාජය කරන්න බලය යොදනවා 
* එදා අපේ සටන් පාඨ අදටත් වලංගුයි 
* ද්විත්ව පුරවැසියකුට ඡන්ද ඉල්ලන්න බැහැ 
* යහපාලන නායකයො කුලල්කා ගත්තා 
* පන්සල දේශපාලනීකරණයට විරුද්ධයි

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජය කරන්න, ජාතික හෙළ උරුමය විශාල කාර්යභාරයක් කළා. වසර පහකට පස්සෙ නැවත තීරණාත්මක ජනාධිපතිවරණයකට මුහුණ දෙන්න වෙලා. මේ වෙලාවෙ ජාතික හෙළ උරුමයෙ කාර්යභාරය ‍ෙමාකක්ද?

එදා අපි හිටපු ස්ථාවරය, ඒ සටන්පාඨ අද සමාජයට එදාටත් වඩා වලංගුයි. එදා අපි පරාජය කරපු, පවුල්වාදී රාජාණ්ඩුවාදී බලවේගය කිසිම වෙනසක්, ස්වයං විවේචනයක් නැතුව එදාටත් වඩා ගැඹුරින් ඒ පවුල්වාදයම සියලු දූෂිත බලවේග කරපින්නාගෙන දරුණු පුද්ගලවාදයක් ශක්තිමත් වෙමින් තිබෙනවා. ඒ බලමුළු ශක්තිමත් කරගන්න මේ ආණ්ඩුවෙ දුර්වලකම් බලපෑවා. අයියා ජනාධිපති මල්ලි අගමැති ඊළඟ අයියා කතානායක ඊළඟ මල්ලි ඇමැති, පුතාලා ඇමැතිවරු මස්සිනාලා සභාපතිවරු, තානාපතිවරු කරන පවුල් ගහක් මුල්බහින එකට අපි විරුද්ධයි. මේ පුද්ගලයොත් එක්ක පෞද්ගලික ප්‍රශ්න අපිට නැහැ. එක පවුලක ආධිපත්‍යයට රටක් යටත් කරන්න දෙන්න බැහැ.

මේ ආධිපත්‍යයෙන් රට බේරගන්න ආපු කඳවුර අද වෙනකොට කෑලි කිහිපයකට කැඩී බිඳී යාම ගැන මොකද කියන්නෙ?

ඒක ඉතාම කනගාටුදායක තත්ත්වයක්. ආණ්ඩුවෙ දුර්වලකම් මේ තත්ත්වයට බලපෑවා. යහපාලන ආණ්ඩුවෙ නායකයො කුලල් කා ගත්තා. එකට හිටියෙ නැහැ. ඒ අයට දූෂණ චෝදනා එල්ල වුණා. පක්ෂයක් හැටියට අපිට එහෙම ‍චෝදනා නැහැ. අපි පෙනී හිටපු දේශපාලන සාරධර්ම ආරක්ෂා කර ගනිමින් අපි ඉන්නවා. අපේ කඳවුරේ යම් අඩුපාඩු තිබුණත් අපි පෙනී හිටපු දේශපාලන කාරණා, සටන් පාඨ එකක්වත් වෙනස් වෙලා නැහැ. එන්න හදන දූෂිත තන්ත්‍රය පරාජය කරන්න අපේ සියලු වීර්යය යොදනවා.

ඔය කඳවුරු දෙකේම දූෂිත බවක් පේනවා. ඔබ කියන විදිහට අඩු දූෂිතයන්ව තෝරාගෙන රටේ වෙනසක් ඇති කරන්න පුළුවන් කියලා හිතනවද?

දේශපාලනයේදී තෝරාගැනීම් කරන්න වෙනවා. දේශපාලන පාරිශුද්ධ වාදයට පල්ලම් බැහැලා දේශපාලන කන්‍යාභාවය ආරක්ෂා කරගෙන අපිටත් ඉන්න පුළුවන්. එහෙම කරන වාමාංශික බලවේග ඉන්නවා. දේශපාලනය කියන්නෙ බලයත් එක්ක කරන ගනුදෙනුවක්. උසස් පරමාදර්ශ වෙනුවෙන් පෙනී සිටින අය ප්‍රායෝගික වෙන්නත් අවශ්‍යයි. මහජනයා දේශපාලනයේදී කල්පනා කරන විදියක් තියෙනවා. ඔවුන් හැමවෙලාවෙම සබුද්ධික තීන්දු තීරණ ගන්නෙ නැහැ. විවිධ අපගාමී බලවේග තිබුණත්, ෆැසිට්වාදය, වර්ගවාදය, පවුල්වාදයට එරෙහිව දේශපාලන බලවේගයක් ගොඩනැගිය යුතුයි.

ඔබ නියෝජනය කරන කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීම අර්බුදයක පවතින බවයි කියන්නෙ?

අපි තවම අපේක්ෂකයව තෝරල නැහැ. තවම අපි සන්ධානය ගොඩනඟනවා. එක්සත් ජාතික පෙරමුණ එක්ක එදා හිටපු සියලුම අය ඉන්නවා. තවත් අය එකතු කරගන්න පුළුවන්ද කියන සාකච්ඡාවත් කෙරෙනවා. සන්ධානය ගොඩනැගීමේ තිබුණු ගැටලු සියල්ල ඉවරයි. සන්ධානයෙ ප්‍රධාන පක්ෂය හැටියට එක්සත් ජ‍ාතික පක්ෂයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්න අවශ්‍ය නම් ඒ අපේක්ෂකයා කවුද කියලා ඉක්මනින් කියන්න ඒ අයට අවස්ථාව දුන්නා. දැන් එක්සත් ජාතික පක්ෂය ඒ වගකීම ඉටුකළ යුතුයි. ඉදිරිපත් වෙන අපේක්ෂකයා අපේ සන්ධානයෙ ප්‍රතිපත්තිවලට එකඟ නම් අපි ඔහුට සහාය දෙනවා. පුද්ගලයා කවුරු වුණත් අපිට ප්‍රශ්නයක් නැහැ.

සජිත් ප්‍රේමදාස ස්ථීරවම ජනාධිපති අපේක්ෂක වෙන බව ඔහු පවසනවා?

එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වෙන්නෙ ඔහු නම්, සන්ධාන වැඩපිළිවෙළට එතුමා එකඟනම්, සහයෝගය දෙන්න අපිට බාධාවක් නැහැ.

ජනාධිපතිවරණ අපේක්ෂක නාමලේඛන අතරෙ පාඨලී චම්පික ඇමැතිවරයගෙ නමත් කියවුණා?

මගේ පෞද්ගලික අදහස නම්, දැන් ඉන්න අය අතරින් රටේ රාජ්‍ය නායකත්වයට, ජාතික නායකත්වයට ඉතාම සුදුස්සා පාඨලී චම්පික ඇමැතිතුමා. අධ්‍යාපනය, දේශපාලන කැපවීම, ප්‍රායෝගික බව, අවංකබව, කෙළින් වැඩ කිරීමේ හැකියාව පැත්තෙන් බැලුවත් ඔහු ඉතාම දක්ෂයෙක්. අපි පොඩි පක්ෂයක්. ඒ යථාර්ථයට අපි මුහුණ දෙන්න අවශ්‍යයි. සන්ධානයත් එක්සත් ජාතික පක්ෂයත් එකඟනම් ඔහුට දිනන්න පුළුවන්. අපිට අවශ්‍ය පුද්ගලයෙක් නෙවෙයි. ප්‍රතිපත්තියක්. රටට ප්‍රායෝගික වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ගෝඨාභය එනතුරු ජනතාව මඟ බලමින් ඉන්නව කියලා මහා සංඝරත්නය කියනවා?

පහුගිය ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්තය ගැන මහා සංඝරත්නය කිව්වෙත් ඔය කතාවමයි. මහා සංඝයා වහන්සේට අපි ගරු කරනවා. පන්සල දේශපාලනීකරණය කරනවට අපි කැමති නැහැ. පන්සල පක්ෂ කාර්යාලයක් බවට පත්කර ගත්තු හිමිවරු ඔය කතාව කියනවා. එහෙම නැති නිහඬ බහුතර දේශපාලන පක්ෂවලට කඩේ යන්නෙ නැති හාමුදුරුවරුත් ඉන්නවා.

ගෝඨාභය රාජපක්ෂගෙ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධයෙන් හරි පැහැදිලි කිරීමක් තවමත් සිදුවෙලා නැහැ. ආණ්ඩුව පාර්ශ්වයෙන් මේ ගැන කරන පැහැදිලි කිරීම මොකක්ද?

ද්විත්ව පුරවැසියකුට මේ රටේ මැතිවරණවලට ඉදිරිපත්වෙන්න බැහැ. ගීතා කුමාරසිංහ නඩු තීන්දුවේ ඒක පැහැදිලිව තියෙනවා. ඒක තමයි රටේ නීතිය. රාජ්‍යයන් දෙකක් එකවර නියෝජනයේදී ලබැඳියාවන් අතර ගැටුමක් ඇතිවෙනවා. ඒ නිසා තමයි මේ වැදගත් නීතිය ගෙනවිත් තියෙන්නෙ. ගෝඨාභය මහත්තයව ඉලක්ක කරගෙන මේ නීතිය ගෙනාව නෙවෙයි. ගෝඨාභය රාජපක්ෂ මහත්තය ජනාධිපති මැතිවරණයට ඉදිරිපත්වීම අපිට ගැටලුවක් නෙවෙයි. පුරවැසිභාවය ගැන ගැටලුවක් තියෙනවා නම් ඒක තමන්ගෙ පාක්ෂිකයන්ට කියන එක ඒ අයගෙ යුතුකමක්. රට ගැන රටේ නීති ගැන, විනය ගැන කතාකරන අය රටේ නීතියට ගරු කළ යුතුයි. මේ අය අමෙරිකාව එක්ක කිට්ටු සබඳකම් තියෙන අය. අමෙරිකාව එක්ක කතාකරල ඒව විසඳගන්නත් ඒ අයට පුළුවන්.

ජනතා විමුක්ති පෙරමුණ විශාල ජන බලවේගයක් ගොඩනගමින් ඉන්නවා. 2015 ජනාධිපතිවරණයේදී රාජපක්ෂ කඳවුරට එරෙහිව පාවිච්චි වෙච්ච මේ ඡන්ද ප්‍රමාණය මෙවර ජනාධිපතිවරණයෙ තීරණාත්මක බලවේගයක් නේද?

2015 රාජපක්ෂ කඳවුරට එරෙහිව ලැබුණු ඡන්ද පදනමට මේ හරහා යම් බාධාවක් වෙනවා. තමන් දරන මතිමතාන්තර එක්ක ජනතා විමුක්ති පෙරමුණ යම් තීන්දුවකට ඇවිත් තියෙනවා. තමන්ගෙ සාමාජිකත්වයෙ බලපෑමට ඔවුන් ඇහුම්කන් දුන්නා. වාමාංශික පාරිශුද්ධවාදය න්‍යායාත්මකව ඉතාම හොඳ දෙයක්. ඒත් ඒවට සහාය දෙන ජනතාවට කිසිදාක බලයක් ලැබෙන්නෙ නැහැ. හැමදාම විවේචක පක්ෂයක් හැටියට ඉන්න පුළුවන්. විශ්වවිද්‍යාල මහාචාර්යවරු ශාස්ත්‍රවන්තයො මේකට කැමතියි. ප්‍රබුද්ධයො හැටියට සමාජයට විවේචන ඉදිරිපත් කරමින් ඉහළ මධ්‍යම පාන්තික ජීවිතයක් ගතකරන්න ඒ අය කැමතියි. දේශපාලන පාරිශුද්ධවාදය සුවපහසු නවාතැන්පොළක්. ජ.වි.පෙ.ට ප්‍රධාන ධාරාවේ දේශපාලනයට එන්න දැන් කාලය ඇවිත්. ප්‍රධාන ධාරාවේ දේශපාලනය කැතයි. එතන දූෂිතයො, හොරු, කම්බහොරු ඉන්නවා. රට වෙනස් කරන්න බලය එන්නෙ ප්‍රධාන ධාරාව ඇතුළෙන් විතරයි. ඒක මේ රටේ මිනිස්සුන්ගෙ ප්‍රශ්නයක්. රට වෙනස් කරන්නනම් රාජ්‍ය බලය අල්ලගන්න ඕන. ඒක ජ.වි.පෙ.ට තනිව කරන්න බැහැ. 2004 දී ඒ අය වැදගත් තීන්දුවක් ගත්තා. ඒ මාවතෙන් ඔවුන් අයින් නොවුණනම් රට මීට වඩා වෙනස් වෙන්න තිබුණා. න්‍යාය හරියි කියන්න ගිහින් ඔවුන් ජනතා වුවමනාවන්ට පිටුපානවා. ජ.වි.පෙ. ඉන්නෙ රට ගැන හොඳ හැඟීමක් තියෙන මිනිස්සු.

ඉදිරි දින කිහිපය දේශපාලනිකව ඉතාම වැදගත්. ජනාධිපතිවරණයට කලින් පළාත් සභා මැතිවරණය එන්න පුළුවන් බවට මත පළවෙනවා?

පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධව තීන්දුව ගන්න පුළුවන්. සීමා නීර්ණය යටතේ පවතින නීතිමය තත්ත්වයන් සම්පූර්ණ කරන්න ඕන. එහෙම නැත්නම් පැරණි ක්‍රමයට ඡන්දය තියන්න පාර්ලිමේන්තු අනුමැතියක් අවශ්‍යයි.

මේ සම්බන්ධව ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසල තියෙනවා?

ජනාධිපතිතුමාට අධිකරණ මතය විමසන්න පුළුවන්. ඒක ජනාධිපතිතුමාගෙ අයිතියක්. පළාත් සභා මැතිවරණය තියන්න කියලත් අධිකරණය කියන්න පුළුවන්. පාර්ලිමේන්තුවට ඒ සම්බන්ධ නීති හදන්න කියලත් කියයි. පාර්ලිමේන්තුව තමයි මේ සම්බන්ධව අවසාන තීරකයා වෙන්නෙ. මේ වෙලාවෙ පාර්ලිමේන්තුවෙ පළාත් සභා ගැන එකඟතාවක් නැහැ.

වෘත්තීය පුහුණු අංශය දියුණු කරන්න මේ ආණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ග මොනවද?

වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයෙ නිහඬ විප්ලවයක් මේ ආණ්ඩුව කළා. සියලුදෙනාට නොමිලේ වෘත්තීය අධ්‍යාපනය දෙන්න තීන්දු කළා. ඒක කන්නන්ගර විප්ලවය වගේ එකක්. අපි සද්දෙ දැම්මෙ නැහැ. සමාජය මේ ගැන ලොකුවට කතා කරන්නෙ නැහැ. මාධ්‍යවල මේ ගැන ප්‍රචාරයක් නැහැ. වෘත්තීය අධ්‍යාපන පාසල්වලට යන දරුවන් මේ වරප්‍රසාදය භුක්ති විඳිනවා. වෘත්තීය පුහුණු අධිකාරිය විතරක් අවුරුද්දකට පුහුණුලාභීන් තින්දහසක් ගන්නවා. මේ රටේ තෘතීයික අධ්‍යාපනය ලොකුම පංගුකාරයා අපි. වෘත්තීය පුහුණු සියල්ල නවීකරණය කළා. ඩොලර් මිලියන දොළහකට වඩා ආයෝජනයක් සහිතව ඔරුගොඩවත්තෙ කොරියන් තාක්ෂණ ආයතනය විවෘත කළා. විශ්වවිද්‍යාල උපාධියට සමාන සහතිකයක් එතනින් දෙනවා. මේ අයට ඉහළ රැකියා අවස්ථා ලබාගන්න පුළුවන්.‍‍

ඉදිකිරීම් ක්ෂේත්‍රයෙ ශ්‍රම හිඟයක් තියෙන බවට මැසිවිලි නැ‍ඟෙනවා. අමාත්‍යාංශය මේ වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවද?

ඉදිකිරීම් ක්ෂේත්‍රයෙ ගෙවන වැටුප් ප්‍රමාණවත් නැහැ. ලංකාවෙ ලාභ ශ්‍රමය නැහැ. එදා ඇඟලුම් කම්හල්වල සේවයට ගියාට අද එහෙම යන්නෙ නැහැ. ඉදිකිරීම්, ඇඟලුම්, වැවිලි, ගොවිතැන් ක්ෂේත්‍රවල ශ්‍රම හිඟයක් තියෙනවා. ඒක අපේ රටේ සමාජමය ප්‍රශ්නයක්. සමාජ ආකල්පවලත් ගැටලු තියෙනවා. අධ්‍යාපනය දියුණු වුණාට අපේ නිවට හීන දීන ආකල්ප ගොඩක් තියෙනවා. පැරණි කුලවාදය, වෘත්තීන් හැටියට බෙදීම් වැඩවසම් කුණු කන්දල් ගොඩක් තියෙනවා. අපි හැමදාම කියන්නෙ දොස්තර, ඉංජිනේරු කෙනෙක් වෙන්න කියලා. විශ්වවිද්‍යාලයට යන කෙනා තමයි වීරයා. මේ රේඛාව තමයි ප්‍රවර්ධනය කරන්නෙ. වෘත්තික රැකියාව දෙවැනි පන්තියට දාල සලකන්නෙ. මේ නිවට නියාලු දීන මතය නිසා අපිට ප්‍රශ්න ඇතිවෙලා. කොරියාවෙ ගිහින් වඩු වැඩකරන අය ලංකාවෙ ඒ වැඩේ කරන්න කැමැති නැහැ. මිනිස්සුන්ගෙ ආකල්ප ප්‍රශ්නය වෘත්තීය පුහුණු අමාත්‍යාංශයෙන් විසඳන්න බැහැ. ආකල්ප වෙනසට හැමෝගෙම සහාය අවශ්‍යයි.

නව අදහස දක්වන්න