ඥානසාර හිමිට එරෙහි නඩුව යළි සලකා බැලීම නොවැම්බර් 01දා | දිනමිණ

ඥානසාර හිමිට එරෙහි නඩුව යළි සලකා බැලීම නොවැම්බර් 01දා

වැලිකඩ පොලිස් වසමේ මත්ද්‍රව්‍ය වැටලීමේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි කියන බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ ගොනු කර ඇති නඩුව නොවැම්බර් මස 01 වැනි දින යළි සලකා බැලීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නේරන්ජනා ද සිල්වා මහත්මිය ඊයේ (23) නියෝග කළා ය.

ඉකුත් නඩු වාරයේ ඊයේ (23) වන තෙක් ඥාණසාර හිමිගේ විදෙස් ගමන් තහනම ඉවත්කර තිබූ අතර ඊයේ (23) සැකකරු අධිකරණයේ පෙනී සිටියේය.

එහි දී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායක හිමියන්ට 2018 වසරේ ජපානයේ ශිෂ්‍යත්වයක් ලැබී ඇති බවත් එය 2020 වන වසර දක්වා ක්‍රියාත්මක වන බවත්ය.

එම ශිෂ්‍යත්ව කටයුතුවලට සහභාගි වීම සඳහා තම සේවාදායක හිමියන්ට ජපානයේ සංචාරය කිරීමට අවශ්‍යව තිබෙන බවත් ඒ සඳහා දැනට පණවා තිබෙන විදේශ ගමන් තහනම හැකිතාක් කාලයක් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ මීළඟ නඩු දිනය දක්වා පමණක් විදේශ ගමන් තහනම ඉවත් කිරීමට හැකියාව තිබෙන බව සඳහන් කළ අතර ස්වාමීන් වහන්සේට අධිකරණයට පැමිණීමට අපහසු අවස්ථාවක සිය නීතිඥවරයා මාර්ගයෙන් නඩුව පවත්වාගෙන යාමට හැකියාව තිබෙන බවද දන්වා ඇත.

ඒ අනුව පැමිණිල්ල නැවත ලබන නොවැම්බර් මස 01 වැනිදා යළි කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියම කළා ය.

නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ ඒකකය විසින් ඥාණසාර හිමියන්ට එරෙහිව මේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

අමෝදා ජයමහ

නව අදහස දක්වන්න