දොස්තර ලෙඩවීම | දිනමිණ

දොස්තර ලෙඩවීම

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය පෙරේදා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය නිසා, බොහෝ පිරිසක් පීඩාවට පත් වුහ. රෝහල් ගණනාවක දෛනික කටයුතු මුළුමනින් ම බිඳ වැටී තිබිණි. රෝගීහු ශාප කරමින් පෙරළා නිවෙස් කරා ගියහ. මේ අතර අසාධ්‍ය තත්ත්වයේ පසු වූ අය ද සිටියෝ ය. රෝගීන්ගෙන් පලිගන්නේ නැතිව, වෛද්‍යවරුන්ට තම ඉල්ලීම් දිනාගත නොහැකිදැ’යි සමහරු ප්‍රශ්න කළහ. එම චෝදනාවේ සත්‍යයක් ඇති බව ‍පෙනී යන්නේ ඉහත කී සංගමය වරින් වර රෝගී ජනතාව අපහසුවට පත් කරන බැවිනි. වෛද්‍ය සංගමය වරෙක ක්‍රියාත්මක වන්නේ රෝගී ජනතාව ප්‍රාණ ඇපයට ගෙන, ඒ මඟින් සෞඛ්‍ය අමාත්‍යවරයාට ද, ආණ්ඩුවට ද තර්ජනයක් එල්ල කරන ආකාරයට ය. එය දේශපාලන ක්‍රියාදාමයක් යැයි කෙනකු තර්ක කළහොත්, පහසුවෙන් බැහැර කළ නො හැකි ය.

වර්ජනයට අදාළ ඉල්ලීම් අටක් ඇති බව සඳහන් විය. ඉන් එක ඉල්ලීමක් වූයේ, රජය ගෙන යන ඖෂධ වැඩපිළිවෙළ වහා ම නැවැත්විය යුතු බව ය. තව ඉල්ලීමක් වූ‍යේ, වෛද්‍යවරුන් බඳවා ගැනීමේ දී දැනට අනුගමනය කරන ක්‍රමවේදය වෙනස් කළ යුතු බව ය. රජය ගෙන යන ඖෂධ ප්‍රතිපත්තිය මහජනයා අතර විවේචනයට ලක් වී නැත. මේ වන විට සාධාරණ මිලකට ඖෂධ මිල දී ගත හැකි තත්ත්වයක් පවතී. ඖෂධ මිල කිහිප වරක් ම පහත දමා ඇත. ප්‍රතිකාර සඳහා අවශ්‍ය වෙනත් මෙවලම් ද පහසු මිලකට ලබා ගැනී‍මේ හැකියාව දැන් තිබේ. ජනතාව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ගුණ ගායනා කරන තැනක පසුවන අතර, වෛද්‍ය සංගමය පමණක් ඔහු දිගට හරහට විවේචනය කෙරන බවක් පෙනෙන්නට තිබේ.

වෛද්‍යවරුන් බඳවා ගැනීමට, වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීමට මෙන් ම, වෛද්‍ය අධ්‍යාපනයට තෝරා ගැනීම සම්බන්ධයෙන් ද ගැටලු ඇති බව සත්‍යයකි. මීට අදාළ ප්‍රශ්නකාරී පසුබිම ගොඩනැ‍ඟෙන්නේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ වීමත් සමඟ යැයි කිව හැකිය. රජයේ වෛද්‍ය පීඨ ඔස්සේ රටට අවශ්‍ය ප්‍රමාණයට වෛද්‍යවරුන් බිහි වන්නේ නැත. එය බොහෝ රටවල පවතින තත්ත්වයකි. ඊට විසැඳුම ලෙස ඉදිරිපත් වී ඇත්තේ, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බිහි කිරීම ය. ශ්‍රී ලංකාව ද එම ක්‍රමවේදය අනුගමනය කිරීම වරදක් යැයි කිව නොහැකි ය. කළ යුත්තේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යෑම ය. මේ සඳහා වෛද්‍ය සභාව, සෞඛ්‍ය අමාත්‍යාංශය හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය එකඟතාවකින් ක්‍රියා කළ යුතුව තිබේ.

රටේ පවතින ගැටලු හා අර්බුද නිරීක්ෂණය කරන විට පෙනී යන්නේ, ඒවාට සම්බන්ධ ආයතන පොදු එකඟතාවකින් යුතුව ගැටලු නිරාකරණයට සහභාගී වන්නේ නැති බව ය. අවම ලෙස ආයතන එකට සාකච්ඡා කරන්නේ කලාතුරෙකින් ය. එකිනෙක ආයතන තම - තමන්ගේ න්‍යාය පත්‍ර අනුව වැඩකර බව පැහැදිලි ය. සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ මේ තත්ත්වය බරපතළ ලෙස දකින්නට ලැබේ. වෛද්‍ය සභාව එක පැත්තක ය. අමාත්‍යාංශය තව පැත්තක ය.

වෛද්‍ය සංගමය තවත් පැත්තක ය. ඒ හැරෙන්නට වෛද්‍ය සංගම් කිහිපයක් ඇති අතර, ඒවා එකිනෙක න්‍යාය පත්‍ර අනුව කටයුතු කරනු දකින්නට ලැබේ. සෞඛ්‍ය අමාත්‍යවරයා හා රජයේ වෛද්‍ය සංගමය අතර එකඟතාවක් ඇත්තේ ම නැත. අමාත්‍යවරයා ගනු ලබන ඕනෑ ම තීරණයකට එරෙහි වන ස්ථාවරයක වෛද්‍ය සංගමය පසුවෙයි.

ආණ්ඩුව සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සාධනීය වැඩ ගණනාවක් ඉටුකර තිබේ. සෞඛ්‍ය සඳහා වෙන් කරන මූල්‍ය ප්‍රතිපාදන ප්‍රමාණය වසරින් වසර වැඩිකර ඇත. ගිය වසරට වඩා මේ වසර සඳහා වෙන් කර ඇති මූල්‍ය ප්‍රතිපාදනය රුපියල් කෝටි අට දහසකින් වැඩි බව සඳහන් වී ඇත. සෞඛ්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් සේ ම, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් ද කැපී පෙනෙන සංවර්ධනයක් දැන් දැක ගත හැකි ය. වෛද්‍යවරුන්ගේ පශ්චාත් උපාධි අධ්‍යයන සඳහා අංගසම්පූර්ණ නව පරිශ්‍රයක්, මීට දින කිහිපයකට ඉහත දී විවෘත කෙරිණි. එය කලක සිට පැවැති අඩුවක් බව ද කියැවේ. මේ ප්‍රගතියේ ගෞරවය මුලින්ම යා යුත්තේ සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ය. ඔහුගේ පාලනය යටතේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සැලැකිය යුතු වර්ධනයක් සිදු වී ඇති බව විපක්ෂය පවා පිළිගනී.

වෛද්‍ය සංගමය දක්වන එක් කාරණයක් කෙරෙහි රටේ වැඩි පිරිසකගේ අවධානය යොමු වී ඇත. එම කාරණයෙහි හරය ගතහොත් ඉන් කියැවෙන්නේ, අ. පො. ස. උසස් ‍පෙළ ජීව විද්‍යා අංශයෙන් සමත් නො වන කිසිවකුට, වෛද්‍ය අධ්‍යාපනය සඳහා ඉඩ ප්‍රස්ථා ලබා නොදිය යුතු බව ය. මෙය පිළිගත හැකි තර්කයක් වන අතර ම, රටේ දේශපාලන ව්‍යාපාර ගණනාවක් ද, විද්වත් සංවිධාන ගණනාවක් ද එම මතයට සහයෝගය දක්වමින් ක්‍රියා කරති. එම තත්ත්වය පිළිබඳ අමාත්‍යවරයාගේ පිළිතුර වන්නේ, එය දැනට ම ගැසට් පත්‍රයක් ඔස්සේ නීතියක් බවට පත් කිරීමට කටයුතු යොදා ඇති බව ය. අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී ඒ බව කියා සිටියේ ය.

සෞඛ්‍ය අමාත්‍යවරයා ඊට අදාළ චෝදනාවක් ද වෛද්‍ය සංගමය වෙත ඉදිරිපත් කරයි. එම චෝදනාවට අනුව, ගැසට් පත්‍රය පිළිබඳ දැන දැන ම වෛද්‍ය සංගමය වැඩ වර්ජනය ක්‍රියත්මක කර තිබේ. වෛද්‍ය අධ්‍යාපනය සඳහා තමන් ප්‍රමිතියක් ඇති කළේ යැයි සංගමය වෙත ගෞරවය හිමිකර ගැනීම, වර්ජනයේ ඉලක්කය බව ද අමාත්‍යවරයා පෙන්වා දෙයි. මේ ගැන ඇත්ත නැත්ත අප දන්නේ නැත. දෙපාර්ශ්වය අතර කඹ ඇදීමක් ඇති බව පමණක් එයින් සනාථ වෙයි. එකිනෙක පාර්ශ්ව වට මේස සාකච්ඡාවකට එකතු වන්නේ නම්; මෙබඳු තත්ත්වයක් මතු නොවීමට ඉඩ ඇති බව කිව යුතු ය. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුද විසැඳීමට නම්; ඊට අදාළ සියලු පාර්ශ්ව පොදු අරමුණක පිහිටා වැඩ කළ යුතු ය.

වෛද්‍ය සංගමය පෙන්වා දෙන අන්දමට, ඉදිරියේ දී බරපතළ හා තීව්‍ර තීන්දු - තීරණ ගැනීමට ඉඩ තිබේ. එහි අර්ථය වන්නේ, ඉදිරියේ දී ර‍ටේ දුප්පත් රෝගීන් බලවත් අසීරුවකට පත්විය හැකි බව ය. ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් සිය බලවත් අවධානය යොමු කළ යුතුව තිබේ. වෛද්‍ය සංගමය මෙවර වර්ජනය ක්‍රියාත්මක කළේ, ලෙඩ නිවාඩු ඉදිරිපත් කරමින් ය. වෛද්‍යවරුන් දිගින් - දිගට ම ලෙඩ වුවහොත්; රෝගීන්ට පමණක් නොව; දොස්තරලාට ද බෙහෙත් දීම සඳහා පිටරටින් වෛද්‍යවරුන් ගෙන්වීමට සිදු වනු ඇත.

නව අදහස දක්වන්න