පාලමක සිහිනය සැබෑවන්නේ කවදාද | දිනමිණ

පාලමක සිහිනය සැබෑවන්නේ කවදාද

බදුලු ඔය හරහා එගොඩ මෙගොඩ වීමට පාලමක් නොමැතිකමින් කන්දකැටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රත්මල්කැටිය ගම්වාසීන්ට බදුලුඔයේ කරවටක් ගිලී එහා මෙහා යාමට සිදුව ඇතැයි ගම්වැසියෝ පවසති.

මෙම ගම්මානයට පැමිණීම සඳහා බදුලු ඔය හරහා ඉදිකර තිබූ යකඩ අත්වැල් පාලම මීට වසර දහයකට පමණ පෙර බදුලු ඔයේ පැමිණි විශාල සැඩ පහරකට හසුව ගසාගෙන යාමෙන් පසුව එය යළි ඉදි නොකිරීම මෙම තත්ත්වයට හේතු වූ බවද පවසති.

මෙම තත්ත්වය මත ගම්මානයේ පාසල් දරුවන් ඇතුළු ජනතාවට පාසල් යාම මෙන්ම ප්‍රධාන මාර්ගය වෙත පැමිණීම සඳහා දිනපතා බදුලු ඔයේ ගිලෙමින් එගොඩ මෙගොඩ වීමට සිදුව ඇති අතර වර්ෂා දිනවලදී සිය ගමනන් බිමන් අත්හැර දමා ජලය බැස යන තෙක් බලා සිටීමට සිදුව ඇතැයිද ඔවුහු පවසති.

කැඩීගිය පාලම අලුත්වැඩියා කර දෙන ලෙස සෑම ආයතනයකටම දැනුම් දුන්නද තවමත් එය ඉටු වී නැතැයි ඔවුහු පවසති.

මේ පිළිබඳ අදහස් දැක්වූ කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති කමල් රාජපක්ෂ මහතා, අපි රජයට දැනුම් දී තිබෙනවා. ජයිකා ආයතනය මඟින් එය ඉදි කිරීමට පියවර ගන්නා බව දැනුම් දී තිබෙන අතර අවශ්‍ය මැනුම් කටයුතු අපි මේ වන විටත් අවසන් කර තිබෙනවා. නමුත් ව්‍යාපෘතිය තවමත් ක්‍රියාත්මක නොවීම තමයි මීට හේතු වී තිබෙන්නේ.

මීගහකිවුල සමූහ එන් නවරත්න

නව අදහස දක්වන්න