ජනතා තීරණය | දිනමිණ

ජනතා තීරණය

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනතාවගෙන් අතිශය වැදගත් දේශපාලන ප්‍රශ්නයක් විමසා සිටී. එය ඔහුගේ ම වචනවලින් ලියා තැබුවහොත් මෙසේ ය. “අනාගතයේ මේ රට හිර ගෙදරක් කරන්නේද? නැතහොත් නිදහස් හා ස්වාධීන රාජ්‍යයක් බවට පත්කරන්නේ ද? තීරණය ඔබ අතේ ය” රටේ අනාගත පරපුරේ ජීවිත හා ඔවුන්ගේ ජීවන අපේක්ෂා සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට ඉහත ප්‍රශ්නයේ වැදගත්කම මොනවට පැහැදිලි වෙයි. අපේ ජනතාව බොහෝ විට දේශපාලන රැලිවලට මුළාවෙති. මුළා වී අමාරුවේ වැටෙති. ප්‍රජාතන්ත්‍රවාදය, පෞද්ගලික නිදහස හා නීතියේ ආධිපත්‍යය නැති රාජ්‍යයක් කිසිකලෙක දියුණු වන්නේ නැත. ඒවා නොදියුණු හා අසමත් රාජ්‍යයන් ලෙස වළපල්ලට යයි.

වික්‍රමසිංහ මහතා ඉහත ප්‍රශ්නය විමසා සිටියේ ද සංකේතාත්මක වශයෙන් ඉතා වැදගත් ස්ථානයක දී ය. එනම්; මහනුවර නගර මධ්‍යයේ පිහිටි බෝගම්බර හිරගෙදර පරිශ්‍රයේදී ය. අද එය හිර ගෙදරක් නො වේ. අක්කර එකොළහක පමණ එම භූමිය සංචාරක ආකර්ෂණය සහිත ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානයක් ලෙසින් දියුණු වෙයි. හිර ගෙදර පල්ලෙකැලේට ගෙන ගොස් ඇත. වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ මහනුවර - කොළඹ හම්බන්තොට යන නගර කේන්ද්‍ර කොට ආර්ථික කේන්ද්‍රයක් ඇති කිරීම ආණ්ඩුවේ ඉලක්කයක් බව ය. මහනුවර යා කෙරෙන අධිවේගී මාර්ගයත් වැඩසට‍හනෙහි එක් පියවරකි. ආණ්ඩුවේ ආර්ථික දර්ශනය මෙබඳු වැඩසටහන් ඔස්සේ හඳුනාගත හැකි ය.

මේ මොහොතේ ජනතාවගේ අවධානයට ලක්වන ප්‍රධාන සාධක දෙකක් තිබේ. පළමුවන්න රටේ ජාතික ආරක්ෂාව යි. දෙවන්න රටේ ආර්ථික සංවර්ධනය යි. මේ සාධක දෙක ම සමබර ලෙස පවත්වා ගැනීමට රටේ පාලකයන් දැනගත යුතු ය. ජාතික ආරක්ෂාව යන්නෙන් අපේක්ෂා කරන්නේ; පැසිස්ට් පාලනයක්, මිලිටරිකරණයක් හෝ ඒකාධිපති රාජ්‍යයක් නො වේ. එහෙත් ජාතික ආරක්ෂාවට මුවා වී ඉහත සඳහන් පාලන ක්‍රමවේදයක් වෙත යා හැකි අවස්ථා තිබේ. එබඳු අත්දැකීම් රාශියක් ගෙවී ගිය වසර හැත්තෑවක පමණ කාලය තුළ සටහන් වී ඇත. රට ගොඩනැගිය හැක්කේ තද පාලකයකුට පමණි යන අදහස මුළුමනින් ම සාවද්‍ය වේ.

හිට්ලර් ජර්මනිය ගොඩනැඟීමට උත්සාහ කළේ යුද බලයෙන් ය. එහෙත් අවසන් ලෙස ඔහු මුළුමනින් ම පරාජයට පත්වූයේ ජර්මනිය පසුබෑමට ලක් කරමින් ය. මැලේසියාව ගොඩනැඟූ මහතීර් මො‍හොමඩ් ඒකාධිපතියෙක් නො වේ. සිංගප්පූරුව ගොඩනැඟූ ලී ක්වාන් යූ මිලිටරි පාලකයෙක් නො වේ. දකුණු අප්‍රිකාව ම්ලේච්ඡ යුගයකින් ශිෂ්ට දේශපාලන යුගයක් කරා ගෙන ගිය නෙල්සන් මැන්ඩෙලා හැමවිට ම කියා සිටියේ සාමය හා නිදහස මිනිසාගේ පරම අධිෂ්ඨානය විය යුතු බව ය. සාමය හා සමාජ සාධාරණත්වය නැතිව රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව මැන්ඩෙලා දැන සිටියේ ය. අපේ ජන සමාජය 2015 දී ඉල්ලා සිටියේ ද නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය යි. එහි අදහස වන්නේ ඊට පෙර ඒ සියල්ල බිඳ වැටී තිබුණු බව ය.

රටේ ප්‍රධාන අර්බුදය නිර්මාණය වී ඇත්තේ ආරක්ෂාව තුළ නො ‍ව; ආර්ථිකය තුළ බව පැහැදිලි ය. විශාල විදේශ ණය ප්‍රමාණය, ජීවන වියදම, උද්ධමනය, ව්‍යාපාරවල බිඳ වැටීම, විරැකියාව, විදේශ විනිමය පිළිබඳ ගැටලුව එම අර්බුදයේ ගැඹුර පෙන්වා දෙන පැතිකඩ කිහිපයකි. මේ අර්බුදයට මුහුණ දිය හැක්කේ ලෝකය සමඟ සමපාතවන ආර්ථික දැක්මක් හා එය ජයගත හැකි ප්‍රායෝගික වැඩසටහනක් මඟින් පමණි. අප දන්නා හැටියට එබඳු ආර්ථික දැක්මක් හා වැඩසටහනක් ඉදිරිපත් කොට එය ක්‍රියාත්මක කරන එක ම දේශපාලකයා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පමණි. අනෙකුත් ජනප්‍රිය නායකයන් ආර්ථික දැක්මක් ඇතිව ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට නැත.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දර්ශනය තුළ ප්‍රධාන අංග තුනක් පවතී. එක, අපනයන ආර්ථික කලාප බිහි කිරීම ය. දෙක, ඉන්දියන් සාගරයේ වෙළෙඳ හා මූල්‍ය කේන්ද්‍රයක් ලෙස කොළඹ වැඩි දියුණු කිරීම ය. තුන, සාගර ආර්ථිකයෙන් උපරිම ආදායම් ලබාගැනීම ය. මේ ක්ෂේත්‍ර තුන ම රටේ ආර්ථිකය ශක්තිමත් කළ හැකි සාධක ලෙස ගත හැකි ය. එලෙස ම ලෝකයේ නව ආර්ථික ප්‍රවණතා සමඟ එය හොඳින් බද්ධ වී පවතී. මහනුවර - කොළඹ - හම්බන්තොට ආර්ථික ත්‍රිකෝණය ක්‍රියාත්මක වන්නේ ද සංචාරක ආදායම් වර්ධනය කර ගැනීම සඳහා ය. එයින් රටට සැලැකිය යුතු රැකියා ප්‍රමාණයක් බිහිවනු ඇත. නව හෝටල් ඉදිවනු ඇත. අතුරු නිෂ්පාදන හා සේවා ව්‍යාප්ත වනු ඇත.

මහනුවර දී අගමැතිවරයා කළ ප්‍රශ්න කිරීමෙහි යථාර්ථය වන්නේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය යන සාධක සමඟ රටේ සංවර්ධනය හා සමෘද්ධිය බැඳී ඇති බව පෙන්වා දීම ය. මාධ්‍ය නිදහස, පෞද්ගලික නිදහස, සාමය, සහජීවනය ඉදිරියටත් පැවැතිය යුතු ද යන ප්‍රශ්නය අගමැතිවරයා ජනතාවගෙන් විමසා සිටී. දැනට ක්‍රියාත්මක වන ලෝකය සමඟ බද්ධ වූ ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යන්නේ ද නැතහොත්; අතරමග නවත්වන්නේ ද යන ප්‍රශ්නය ද වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් විමසා සිටී. තීරණය ඇත්තේ ජනතාව ළඟ ය.

නිදහසින් පසුව ගෙවි ගිය වසර හැත්තෑවකටත් ටිකක් වැඩි කාලය තුළ ජනතාව මුළුමනින් ම බුද්ධිමත් හා නිවැරැදි තීන්දු තීරණ ගෙන ඇතැ’යි පිළිගත නො හැකි ය. දශක කිහිපයකින් රට ආපස්සට ගෙන යෑමට අදාළ තීරණ ඇතැම්විට ජනතාව ගෙන ඇත. ඉදිරියට එළැඹෙන්නේ ද ජනතාවගේ කාලයකි. මැතිවරණ සමයකි. මේ අවස්ථාවේ බුද්ධිමත් ව තීරණය ගැනීමට ජනතාව අපොහොසත් වුවහොත්; රටේ අනාගතය ගැන කතා කිරීමෙන් පලක් නැත.

 

නව අදහස දක්වන්න