ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය දිනති | දිනමිණ

ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ එක්දින තරගාවලිය දිනති

බංග්ලාදේශ නැගී එන ක්‍රිකට් කණ්ඩායම සමග පැවැති තීරණාත්මක අවසන් එක්දින තරගය ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව කඩුලු 7කින් ජය ගැනීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ සමත් වූහ.

මේ සමගින් තරග 3කින් සමන්විත වූ එක්දින තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීම සංචාරක ශ්‍රී ලංකා පිලට හැකිවිය.

කුල්නා හිදී පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ නැගී එන පිල ඕවර 50 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 269ක් රැස්කළ අතර ශ්‍රී ලංකා පිළිතුරු ඉනිමට වාර්ෂාවෙන් බාධාවීම හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය සඳහා ඕවර 28කදී ලකුණු 199ක ඉලක්කයක් හිමිවිය. එම ඉලක්කය හඹාගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඕවර 24කදී ජය හිමිකර ගත්තේ කඩුලු 3ක් පමණක් අහිමිකර ගනිමිනි. ශ්‍රී ලංකා ඉනිමට වේගවත් ආරම්භයක් ලබාදෙමින් කණ්ඩායම ජයග්‍රහණය කරාගෙන ගිය පැතුම් නිශ්ශංක නොදැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් විය. පන්දු 78ක් පමණක් වැයවු ඔහුගේ ඉනිම හතරේ පහර 8කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය.

ලකුණු 68කට කඩුලු 2ක් අහිමිව තිබියදී නිශ්ශංක සමග එක්වූ මිනෝද් භානුක තෙවැනි කඩුල්ලට ලකුණු 122ක වේගවත් සබඳතාවක් ගොඩනැගූ පන්දු 77ක් පමණක් වැය කරමිනි. හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමගින් පන්දු 32කින් ලකුණු 55ක් ලබාසිටි භානුක දැවී යෑමෙන් එම සබඳතාව බිඳ වැටිණි.

පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශ ඉනිමට සාර්ථක ආරම්භයක් ලබාදුන් සයිෆ් හසන් ලකුණු 117ක් රැස් කිරීමට සමත් විය. පන්දු 130කට මුහුණදුන් ඔහු හතරේ පහර 4ක් සහ හයේ පහර 7ක් ඉනිමට එක්කර ගත්තේය.

අෆීෆ් හොසේන් සමග එක්ව සිවුවැනි කඩුල්ලට ලකුණු 125ක සබඳතාවක් ගොඩනැගීමටද හසන් සමත් විය. නොදැවී ලකුණු 68ක් රැස්කළ හොසෙන් පන්දු 70කදී හතරේ පහර 6ක් සහ හයේ පහරක් ඉනිමට එක්කර ගත්තේය.

ශ්‍රී ලංකා නැගී එන පිල සහ බංග්ලාදේශ නැගී එන පිල අතර තරග දෙකකින් සමන්විත සිවුදින තරගාවලියේ පළමු තරගය හෙට (27) කුල්නාහිදීම පැවැත්වෙයි.

බංගලාදේශ නැගී එන පිල - 269/5යි. (ඕවර 50) සයිෆ් හසන් 117, අෆීෆ් හොසේන් නොදැවී 68, නජ්මුල් හොසේන් 39 (කළණ පෙරේරා 47/2)

ශ්‍රී ලංකා නැගී එන පිල - 199/3යි. (ඕවර 24) පැතුම් නිස්සංක නොදැවී 115, මිනෝද් භානුක 55

නව අදහස දක්වන්න