හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ රටට අතිවිශිෂ්ට සේවාවක් ඉටුකළා | දිනමිණ

හිටපු යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ රටට අතිවිශිෂ්ට සේවාවක් ඉටුකළා

මල්වාන දොම්පේ මාර්ගය ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත නමින් නම් කරමින් ඇමැති රුවන් විජයවර්ධන කියයි

එදා කොටි ත්‍රස්තවාදී කුරිරු යුද සමයේ එවකට සිටි යුද හමුදාපති හැමිල්ටන් වනසිංහ මහතා කොළඹට වී ඉන්නේ නැතිව සටන් බිමට ගොස් එලිෆන්ට්පාස්, යාපනය කොටුව හා පුනරින්වල වටකරගෙන සිටි රණවිරුවන් ආරක්ෂා කරගෙන රටක් රැකගත්තේ යැයි ද ඒ නිසා 2009 වසරේදී මෙරටින් කුරිරු යුද්ධය අවසන් කිරීමට එවකට පැවැති රජයට හැකිවුණේ යැයි ද ආරක්ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා එසේ පැවැසුවේ රජය මඟින් රුපියල් ලක්ෂ 150 ක පමණ මුදලක් වැය කොට සංවර්ධනය කරන ලද මල්වාන - දොම්පේ මහාමාර්ගය හිටපු යුද හමුදාපති “ජෙනරාල් හැමිල්ටන් වනසිංහ” මාවත නමින් නම් කිරීම නිමිත්තෙන් පෙරේදා (24) පස්වරුවේ මල්වානේ පැවැති උත්සවයකදීය.

මේ මාර්ගය “ජෙනරාල් හැමිල්ටන් වනසිංහ මාවත” නමින් නම් කිරීමේ අවස්ථාවට නව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහභාගි වූ අතර මාර්ගය නම් කිරීමද නව යුද හමුදාපතිවරයා අතින් සිදුකරනු ලැබීය.

තවද මේ මාර්ගය සංවර්ධනය කිරීම සඳහා වැය වු මුදල අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබා දී තිබිණි.

එහිදී වැඩිදුරටත් කතා කළ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

අපි කවුරුත් දන්නවා මේ මාර්ගය වසර ගණනාවක් තිස්සේම අබලන් වී තිබුණා. ඉතින් එම මාර්ගය නැවත සංවර්ධනය කරන්නට හර්ෂණ මන්ත්‍රීතුමා ඉදිරිපත් වුණා. එයටත් මා එතුමාට ස්තුතිය පුදකරනවා. ඒ වගේම එයට ප්‍රතිපාදන මුදල් ලබාදුන් අගමැතිතුමාටත් මා ස්තුතිය පුද කරනවා. මේ මාර්ගය සංවර්ධනය කරන්නට දොම්පේ ජනතාවට වගේම බියගම ජනතාවටත් අවශ්‍ය වී තිබුණා. එය අද ඉටුවී තිබෙනවා.

අද හිටපු යුද හමුදාපති වනසිංහ පවුලේ උදවියටත් විශේෂ දවසක් වෙනවා. ඒක තමයි වනසිංහ මහතා නමින් මේ මාර්ගය නම් කිරීමට ලැබීම. හිටපු යුද හමුදාපති වනසිංහ මහතා රටට අතිවිශිෂ්ට සේවාවක් ඉටුකළා. එතුමා නිර්භීත සෙබළෙක්, නිර්භීත සොල්දාදුවෙක්. ඒ වගේම නිර්භීත සෙන්පතියෙක්. ඒ නිසා එතුමා රටට කළ එම සේවය ගැන මුළු මහත් ලක්වැසි ජනතාවම ආඩම්බරයට පත්වෙනවා.

එදා රටේ පැවතුන කුරිරු ත්‍රස්තවාදී යුද සමයේ එතුමාට යුද හමුදාපති හැටියට සේවය කරනවිට මුළු නැ‍ඟෙනහිර පළාතම කොටි ත්‍රස්තවාදීන්ගෙන් මුදාගැනීමට හැකිවුණා. ඒ නිසා එදා නැ‍ඟෙනහිර පළාතේ මැතිවරණ පැවැත්වීමටද රජයට හැකිවුණා. කොටි ත්‍රස්තවාදීන් විසින් එලිෆන්ට්පාස් වටකරගෙන යාපනය කොටුව වටකරගෙන යුද හමුදාව සමඟ සටන් කරනවිට එතුමා කොළඹට වී ඉන්නේ නැතිව සටන්බිමට ගොස් රණවිරුවන් බේරාගත්තා. ඒ විතරක් නෙවෙයි පුනරින් සටනේදීත් සොල්දාදුවන් ආරක්ෂා කරගෙන රට ආරක්ෂා කළා.

ඉතින් මේ ආකාරයට එතුමා රටට කළ සේවය නිසා තමයි 2009 වසරේදී කුරිරු කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කිරීමට හැකිවුණේ. ඒ නිසා අපි එතුමාට හැමදාම ගෞරවය කරන්නට ඕනෑ.

ඉදිරියේදීත් අපි හර්ෂණ රාජකරුණා මන්ත්‍රීතුමා සමඟ එකතු වී බියගම හා දොම්පේ ආසන සංවර්ධනය කරන්නට කටයුතු කරනවා. ඒ සඳහා දැනටමත් රුපියල් මිලියන ගණනාවක්ම යොදවා තිබෙනවා. මේ රටේ සංවර්ධනයට රජය මඟින් සෑම ආසනයකටම රුපියල් මිලියන 300 කට වඩා වැඩි මුදලක් යොදවා තිබෙනවා. අපි අගමැතිතුමාගේ ආශිර්වාදය ඇතිව කබීර් හෂීම් ඇමැතිතුමාගේ “රන් මාවත්” වැඩසටහන යටතේ තවත් පාරවල් ගණනාවක්ම සංවර්ධනය කළා. නමුත් ඇතැමුන් කියනවා අපි මොනවද කළේ කියලා.

දොම්පේ එ.ජා.පක්ෂ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා - එකම පුද්ගලයා යුද හමුදාපති හැටියට යුද හමුදාපති ධුරයේත් ත්‍රිවිධ හමුදාපති ධුරයේත් ඉන්පසුව ආරක්ෂක ලේකම් ධුරයත් හෙබ වූ එකම ශ්‍රී ලාංකිකයා වන්නේ වනසිංහ මහතායි. වනසිංහ පවුල රටේ සාමය හා ජාතික ආරක්ෂාව වෙනුවෙන් ජීවිත පුද කළ පවුලක්. එම පවුලේ දරුවන් තිදෙනෙක්ම ජීවිත පුද කළා. ඒ තමයි බ්‍රිගේඩියර් භාතිය වනසිංහ, කපිතාන් නලින් ජයතිලක හා මේජර් පණ්ඩුක වනසිංහ යන තිදෙනායි. වර්තමානයේ යුද හමුදාවේ සේවය කරන බ්‍රිගේඩියර් සංජය වනසිංහ මහතා ද එම පවුලේ කෙනෙක් වෙනවා.

දෙකටන, නාමලුව පුරාණ විහාරාධිකාරී වෙන්නවත්තේ රතනජෝති හිමි අනුශාසනාවක් සිදුකළහ.

දොම්පේ ශ්‍රීලනි පක්ෂ ප්‍රධාන සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු පළාත් සභා මන්ත්‍රී උපාලි ගුණරත්න සහ බියගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක හිටපු පළාත් සභා මන්ත්‍රී ප්‍රසන්න සම්පත් මහත්වරුද සභාව ඇමතූහ.

මල්වාන සමූහ - මහානාම විතානගේ දෙල්ගොඩ සමූහ - සුදත් පුබුදුකීර්ති කිරිඳිවැල - ජී. එස්. නැලිගම

නව අදහස දක්වන්න