නිදහසෙන් පස්සෙ වසර 71ම අපතේ ගියා | දිනමිණ

නිදහසෙන් පස්සෙ වසර 71ම අපතේ ගියා

ආචාර්ය මයිකල් ප්‍රනාන්දු කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම

ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ විකල්ප කණ්ඩායම නියෝජනය කරන ආචාර්ය මයිකල් ප්‍රනාන්දු පසුගිය දා ගාලු මුවදොර පිටියේ පැවති ජාතික ජන බලවේගය රැලියට එක්ව සිටියේ ය. 2015 ජනවාරි වෙනස වෙනුවෙන් පෙනී සිටි ඔහු ජවිපෙ ප්‍රමුඛ නව සංධානය සමඟ එක්වීම තීරණය කළේ මන්ද යන්නත්, ජාතික ජන බලවේගයේ ඉදිරි දේශපාලන දැක්මත් එහා ඉවුර මෙසේ ඔහුගෙන් ප්‍රශ්න කරයි.

* මැතිනියගෙ සමඟි පෙරමුණ ආණ්ඩුව කාලේ ඉඳලා වාමාංශික දේශපාලන කඳවුර නියෝජනය කළ ඔබ අද ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පැත්තෙ හිටගත්තා. හේතුව මොකක් ද?

නිදහස ලැබුණ දවසේ ඉඳලා මේ රට පාලනය කළේ එජාපය සහ ශ්‍රීලනිපය. ලංකා සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය හා ජවිපෙත් ඔවුන්ගේ ආණ්ඩු එක්ක හිටියා. අපිත් එක්ක නිදහස ලැබූ රටවල් දිහා බැලුවොත් අද අපේ රට ගොඩක් පසුගාමී තැනකයි තියෙන්නේ. මේකට හේතු ගොඩක් තියෙනවා. වාමාංශික ව්‍යාපාරය ගත්තාම, ඒ ව්‍යාපාරය තමයි ලංකාවේ සාමාන්‍ය ජනතාව අතරට ගියපු පළමුවෙනි බලවේගය. ඒ සමසමාජ පක්ෂය කැඩිලා තමයි කොමියුනිස්ට් පක්ෂය හැදුණේ. 1948 බලයට ආපු එජාපය මේ රට පාලනය කළේ බ්‍රිතාන්‍යයට ඕනෑ විදිහට යි. ඒක වෙනස් වුණේ 1956 මහජන එක්සත් පෙරමුණ බලයට ආවාට පස්සෙ යි. සෝවියට් දේශය බිඳ වැටුණාට පස්සේ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ විශාල බිඳ වැටීමක් ඇති වුණා. එහෙම කාලයක් ගත වෙලා ඉස්සරහට යනකොට ජවිපෙ චන්ද්‍රිකා කුමාරතුංග රජයට සහය දැක්වූවා. නිදහසින් පස්සෙ ගෙවුණු අවුරුදු 71ක ම අපතේ ගියා වගේ තමයි ආපහු හැරිලා බලද්දී පේන්න තියෙන්නේ.

* වසර ගණනාවක් මේ රටේ දේශපාලන ව්‍යාපාරවල හිටපු ඔබ වගේ කෙනෙක් ඇයි එහෙම කියන්නේ?

අද අපේ රට දේශපාලනික, සංස්කෘතික, ආර්ථික වශයෙන් පරිහානියට පත් වෙලා තියෙන්නේ. 1948 වසරේ තිබුණාටත් වඩා අද මේ රට පසුගාමී තත්ත්වයකට ඇද වැටිලයි තියෙන්නේ.

* ජවිපෙ කියන්නේ 1971දී පොලිසියට පහර දීලා ආණ්ඩුව ඉස්සරහට අරන් යන්න නොදීපු පක්ෂයක්. ඊට පස්සේ 88 - 89 දී රට අර්බුදයට ලක් කරපු පක්ෂයක්. ඔබතුමාලා අද එතැනයි හිටගෙන ඉන්නෙ ?

1971 වසර වෙන කොට මම දේශපාලන පක්ෂයකට සම්බන්ධ වෙලා හිටියේ නැහැ. 1972 දී තමයි මම කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකත්වය ගත්තේ. 1971 ජවිපෙ කැරැල්ල වැරැදියි කියන ස්ථාවරයේ මම හිටියා. ඒකට හේතුව ඒ වෙලාව ශ්‍රී ලංකාව විප්ලයකට සුදුසු අවස්ථාවක තිබුණේ නැහැ. සෝවියට් දේශය විප්ලයක් කරලා තිබුණට ලංකාවේ ශ්‍රීලනිපයත්, සමසමාජ පක්ෂයත්, කොමියුනිස්ට් පක්ෂයත් එකතු වෙලා රජයක් බිහි කරලා වසරක්වත් ගත වෙලා තිබුණේ නැහැ. එයාලා එදා එජාප රජයට ගහන්න සැලැසුම් කරපු එක තමයි, පස්සේ සමඟි පෙරමුණ රජයට ගැහුවේ. එදා පහර දුන්නේ ලංකාවේ තියෙන එකම වාමාංශික කඳවුර ජවිපෙ වෙන්න ඕනෑ කියලා හිතපු නිසා කියලා මේ ළඟදී ලාල්කාන්ත කියලා තිබුණා. එදා ඒ ගෙනියපු මතය වැරැදියි කියලා අනෙකුත් වාමාංශික ව්‍යාපාරත් එක්ක එකතු වෙලා ඉස්සරහට යන්න ඕනෑ කියන තැනට අද ඔවුන් ඇවිල්ලා. අද ජවිපෙ කතා කරන්නේ සමාජවාදය ගැනවත් ධනවාදය ගැනවත් නෙවෙයි. ධනවාදය තුළ ම ප්‍රජාතන්ත්‍රවාදීව ඉදිරියට යාමේ ගමනක් තියෙනවා කියන තැන ඔවුන් ඉන්නවා. ඒ තත්ත්වය යටතේ, මමත් විශ්වාස කරනවා ධනවාදී ක්‍රමය තුළ ප්‍රජාතන්ත්‍රවාදය උපරිමයෙන් රැක ගනිමින්, ප්‍රජාතන්ත්‍රවාදීව මේ රට සංවර්ධනය කළ යුතුයි කියලා.

* මේ රටේ තිබුණ ප්‍රධාන පක්ෂ දෙකට කරන්න බැරි වුණ දේ කරන්න ජවිපෙට පුළුවන් කියලා ඔබ හිතනවා ද?

මේ රටේ ජාතික සමගිය ඇති කරන්න ඕනෑ. ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනයක් ඇති වෙන්නත් ඕනෑ. පසුගිය වසර 10 ගත්තොත්, මහින්ද රාජපක්ෂ මහත්තයා යටතේ තිබුණු රජය ගිය මාර්ගය වැරැදියි කියලා වත්මන් ජනපතිවරයා පත් කරගත්තු එකත් අද අසාර්ථක වෙලා තියෙනවා. ඒ දෙගොල්ලන්ටම ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ පාලනය ඇති කරන්න බැරි වෙලා තියෙනවා. අද රට තියෙන තත්ත්වය අනුව ජවිපෙ ඇතුළේ ඇති වෙලා තියෙන වෙනස්කම් අනුව ඔවුන් තමයි ප්‍රජාතන්ත්‍රවාදීව වාමාංශික ව්‍යාපාර එකතු කරගෙන ඉස්සරහට යන්න පුළුවන් එකම බලවේගය.

* ජවිපෙ ඇතුළේ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගන්න බැරි නිසා එතැනින් එළියට ආපු අය විකල්ප පක්ෂ බිහි කළා. කොහොම ද රට තුළ ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති කරන්නේ?

ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකක් ද කියලා අපි තේරුම් ගන්නත් ඕනේ. ජවිපෙ වගේම සමසමාජ පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය වගේ පක්ෂ මධ්‍යම කාරක සභා සම්මේලනයකින් පක්ෂයේ ගමන් මාර්ගය තීරණය කරනවා. ඒ ක්‍රමය නියම විදිහට පිළිපදින්නේ මම කිව්ව පක්ෂ විතරයි. ඒ වගේ පක්ෂවල නියම වශයෙන් නියම ප්‍රජාතන්ත්‍රවාදය තියෙනවා. උදාහරණයක් විදිහට මහින්ද රාජපක්ෂ මහත්තයා නියෝජනය කරන පොදුජන පෙරමුණ ගත්තොත් එක පවුලක් වටා තීන්දු තීරණ ගන්න පක්ෂයක් බවට පත් වෙලා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයක් එතැන නැහැ. එජාපය ගත්තත්, රනිල් වික්‍රමසිංහ මහත්තයා අවුරුදු 25ක් නායකත්වයේ ඉන්නවා. ඒ අතින් බැලුවම ශ්‍රී ලංකාවේ වාමාංශික පක්ෂ වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී විදිහට පක්ෂවල බලය හසුරුවනවා.

* ඔබේ පක්ෂයේ නායකයා ඩිව් ගුණසේකර මහත්තයා අද ඉන්නෙ වෙන තැනක. ඒ ගැන මොනව ද කියන්නෙ?

අද ඒ අය පක්ෂය ඇතුළේ ලොකු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. 18 වැනි සංශෝධනය ගේනකොට හිටපු ජනාධිපතිවරයාට ඒ මාර්ගයේ යන්න එපා කිව්වේ ඩිව් ගුණසේකර මහත්තයා. ඒ වගේම අවුරුදු දෙකකට කලින් ජනපතිවරණය තියන්න එපා කිව්වෙත් ඩිව් ගුණසේකර මහත්තයා. එදා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ භූමිකාව අනුමත නොකරපු කෙනෙක් තමයි ඩිව් ගුණසේකර. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති අපේක්ෂකයා කළාට පස්සේ අද ඔවුන්ටත් ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. ඡන්දෙ දෙන්නෙ කොහොම ද කියලා දැන් පක්ෂ ඇතුළේ තියෙන්නේ අර්බුදයක්. කොමියුනිස්ට් පක්ෂයේ ම නැවත වරක් මහින්ද රාජපක්ෂලා මේ රටේ බලයට පත් කළ යුතු නෑ කියන මතයේ ඉන්න අපි වගේ කොටසක් ඉන්නවා.

* ජවිපෙ අපේක්ෂකයා තෝරා ගන්නේ සිවිල් සංවිධාන, විකල්ප දේශපාලන කණ්ඩායම් 28ක එකතුවකින්. එහෙම වුණත් මේ රට බහුවාර්ගික රටක්, මුස්ලිම්, දෙමළ, කතෝලික ඡන්ද පදනමත් මේ මොහොත තීරණාත්මකයි නේද?

එදා ජනබලවේගයේ රැලිය වෙලාවේ දී දෙමළ ජනතාවටත්, සිංහල ජනතාවටත් ඉතා හොඳින් ආමන්ත්‍රණය කරන අය වේදිකාවේ හිටියා. ඒ අය දැඩි උත්සාහයක නිරත වන්නේ දෙමළ භාෂාවෙන් දෙමළ ජනතාවටත් මුස්ලිම් ජනතාවටත් ආමන්ත්‍රණය කරන්න. අද මුස්ලිම් ජනතාව අතරේ රටේ නායකයා විදිහට තෝරා ගත යුත්තේ කවරෙක්ද කියන මතය ගොඩනැඟිලා තියෙනවා. 18 වැනිදා රැලියෙන් ඇතිවුණ උද්යෝගය ඒ අයට බලපාලා තියෙනවා කියලත් පේන්න තියෙනවා. මම හිතනවා අපි පුළුවන් තරම් ජාතික සමගිය සඳහා කටයුතු කරනවා නම් මේ ගමන ජයග්‍රහණය කරන්න ඒ තරම් අපහසු වන්නේ නැහැ.

* ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ජනපති වුණොත් ඔහුත් විධායක ජනපතිවරයා. විධායකය අහෝසි කරන්න ඕනෑ කියලා කෑ ගැහුවෙත් එයාලමයි?

මේ වෙලාවේ තියෙන්නේ මේ රටේ තියෙන දේශපාලන පක්ෂවල බලය පෙන්වන තරගයක්. ඒ සඳහා තමන්ගේ පක්ෂවල ඉන්න දක්ෂම පුද්ගලයා ඉදිරිපත් කරනවා. මම ජවිපෙත් එක්ක සාකච්ඡා කළා ඔබ අහන ප්‍රශ්නය ගැන. ඒ අය තවදුරටත් ඉන්නේ විධායක ජනාධිපති ක්‍රමය ඉවත් කළ යුතුයි, 20 වැනි සංශෝධනය ගෙන ආ යුතුයි කියන ස්ථාවරයේ.

* සිංහල බෞද්ධ ජනපදනම දැන් විධායකය ඕනෑ කියන තැනට තල්ලු වෙමින් තියෙනවා. එතකොට සිංහල බෞද්ධ ඡන්ද ඔබේ අපේක්ෂකයාට අඩු වෙන්නත් පුළුවන් නේද?

සිංහල ඡන්ද 70%ක් තියෙනවා. මේ ඡන්ද දැන් තුනට බෙදිලයි තියෙන්නේ. මේ අතර අලුත් ඡන්දත් ඇති වෙලා තියෙනවා. මේ අලුත් ඡන්ද ජාතික ජනබලවේගයට එකතුවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය ඒ තරම් ගැටලුවක් නැහැ.

* මේ රටේ මැතිවරණ ක්‍රමය, අධ්‍යාපන ප්‍රතිපත්ති, ආර්ථික ප්‍රතිපත්ති වගේ දේවල් නිවැරැදි කරන්න ජවිපෙ ට පුළුවන් වෙයි ද?

දැනට ජාතික ජන බලවේගය විදිහට ප්‍රතිපත්ති මාලාවක් හදලා තියෙනවා. ඒ තුළ පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවා. සමාජවාදයට යාමට උත්සාහයක් මෙතැන නැහැ. නමුත්, ධනය බෙදීයාමේ විෂමතාවය අවම කරලා, සෑම අයකුට ම සම සේ ධනය ගලා යන ක්‍රමයක් ඇති කරන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.

* ඔය කියන්නේ ඇති - නැති පරතරය අඩු කරනවා කියන එක ද?

පැහැදිලිවම පුළුවන් තරම් ඇති - නැති පරතරය අඩු කරන එක ගැන යෝජනා ඉදිරිපත් වෙනවා. නමුත් අපි තවම ඉන්නේ ධනවාදය තුළම යි. ඒ නිසා සමාජවාදය ගැන කල්පනා කරන්නේ නැහැ. සමාජවාදය තුළත් වඩා ප්‍රජාතන්ත්‍රවාදීව යන්න පුළුවන් කඳවුරට තියෙන්නේ ජාතික ජන බලවේගය විතරයි කියලයි මගේ විශ්වාසය. දැන් එජාපය, පොජපෙ, ශ්‍රීලනිපය කියන ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයෙන් ඈත් වෙමින් යනවා.

* දීර්ඝ කාලයක් මේ රටේ ඇතිවෙලා තිබුණ සිවිල් අරගලය නැවත වතාවක් මතුවීමේ ඉඩක් තියෙනවා කියන එකට උදාහරණය තමයි පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය. ඒ වගේ දේවල්වලට ජවිපෙ ට උත්තර දෙන්න පුළුවන් වෙයි ද?

ඒ ප්‍රශ්නය ට උත්තරය ලැබෙන්නේ ඒ ප්‍රශ්නය තේරුම් ගන්නා ප්‍රමාණය අනුව යි. අද කතෝලික ප්‍රජාව ජවිපෙ ගමන් මඟට සහය දෙන්න අවතීර්ණ වෙලා තියෙනවා. ජවිපෙ කොතැනකදීවත් ආගමික විරෝධයක් පෙන්නලා නැහැ. විශේෂ පක්ෂපාතීත්වයක් නැහැ. අද අපේ රටේ ආගමට දේශපාලනය තුළ ලැබිලා තියෙන තත්ත්වය ඕනෑවටත් වඩා විකෘති තත්ත්වයක්. ඒ නිසා අපේ රටේ දේශපාලනය පුළුවන් තරම් නිර්ආගමික විය යුතුයි. ඒ තැන ජවිපෙ ඉන්නවා.

දුමින්ද අලුත්ගෙදර
ඡායාරූප ගයාන් පුෂ්පික

නව අදහස දක්වන්න