කැරම් බෝඩ් නඩුව : අධිචෝදනා ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කළා | දිනමිණ

කැරම් බෝඩ් නඩුව : අධිචෝදනා ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කළා

ස.තො.ස ආයතනය මගින් ආනයනය කරන ලද කැරම්බෝඩ් සහ දාම් බෝඩ් ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් රුපියල් මිලියන 53ක මුදලක් රජයට පාඩු සිදු කිරීමේ චෝදනා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් නඩුවේ අධිචෝදනා කොළඹ ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර ඇති බවට අල්ලස් කොමිසම ඊයේ(27) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

මේ මස 30 වන දින විත්තිකරුට කොළඹ ස්ථිර ත්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටීමට දැනටමත් සිතාසි ලැබී ඇති බැවින් මෙම අධිකරණයේ තිබෙන නඩු කටයුතු මහෙස්ත්‍රාත්වරිය මෙහිදි අවසන් කළාය.

නඩුව ඊයේ(27) අධිකරණය හමුවේ කැඳවු අතර විත්තිකරු අධිකරණය හමුවේ පෙනි නොසිටි අතර නිතිඥවරුන් හරහා අධිකරණයට දැනුම් දුන්නේ අසනිප තත්ත්වයේ සිටින බවය.

අල්ලස් කොමිසම වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් දන්වා සිටියේ එම විත්තිකරුට එරෙහිව මේ වනවිට කොළඹ විශේෂ ත්‍රි පුද්ගලමහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇති බවයි.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන මෙම නඩු කටයුත්ත අවසන් කරන ලෙසද අල්ලස් කොමිසමේ සැරයන් එල්.චන්ද්‍රසිරි මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති නඩු කටයුත්ත නිමා කිරීමට තීරණය කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සිතාසි ලැබුණු පසුව විත්තිකරුට කොළඹ විශේෂ ත්‍රි පුද්ගල මහාධිකරණයේ පෙනී සිටින ලෙසද දැනුම් දුන්නේය.

2014 වසරේ සැප්තැම්බර් මස පළමුවනදා සහ එම වසරේ දෙසැම්බර් මස 31 වන දා දක්වා වූ කාලසීමාව තුළ එම වකවානුවේ පැවැති ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සතොස ආයතනය හරහා ආනයනය කරන ලද රුපියල් මිලියන පනස් තුනක් පමණ වටිනා කැරම්බෝඩ් දහහතර දහසක් සහ දාම් ලෑලි එකොළොස් දහසක් දේශපාලන ක්‍රියාකාරකම් සඳහා බෙදාහැරීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ එරෙහිව මෙම නඩුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණ.

සිරන්ජනි කුමාරි /අමෝදා ජයමහ  

නව අදහස දක්වන්න