බලවත් පෙරමුණකින් එජාපය සන්ධානගත වෙනවා | දිනමිණ

බලවත් පෙරමුණකින් එජාපය සන්ධානගත වෙනවා

ශ්‍රී ලංකාවේ සෑම ජනකොටසක්ම නියෝජනය කරනු ලබන්නේ එක්සත් ජාතික පෙරමුණ බවත් පොහොට්ටුවේ ඇහින්දාස් සන්ධානය මෙන් නොව බලවත් පෙරමුණකින් එක්සත් ජාතික පක්ෂය සන්ධානගත වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.

ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමේ දැවැන්ත ශක්තිය එජාපයට තිබෙන බවත් මන්ත්‍රීවරිය ප්‍රකාශ කළාය.

සන්ධානගත නොවී මැතිවරණ ජය ගැනීමට අපහසුයි ලක්ෂ දහයක් පමණ වන අලුත්ම ඡන්ද දායකයන්ට මීට වසර පහකට හයකට පෙර තිබුණ භීෂණකාරී ආණ්ඩුව අමතක බවත් අවධාරණය කළ මන්ත්‍රීවරිය ගෝඨාභය රාජපක්ෂ රට තුළ ඇති කළ භීෂණය එම තරුණ පිරිස්වලට සිහිපත් කර දිය යුතු බවත් ප්‍රකාශ කළාය.

නින්දෙන් අවදිවී වාගේ අද ගෝඨාභය මහතා කතා කරනවා. සමහර මාධ්‍යවේදීන්ටත් ගෝඨාභය මහතා කවුරුද කියා අමතක බව සිහිපත් කළ මන්ත්‍රීවරිය ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න ඇසීමේ වාරණය මාධ්‍යවේදීන්ට පනවා ඔහු කියනදේ පමණක් අසා සිටින ලෙසට දන්වා තිබෙන බවත් සඳහන් කළාය.

ඍජුවම අගමැතිවරයාට සජිත් ප්‍රේමදාස ඇමතිවරයාට මයික් දිගු කරමින් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් මාධ්‍යවේදීන්ට තිබෙන බව පහදා දුන් මන්ත්‍රීවරිය ගෝඨාභය මහතාට මයික් දිගු කිරීමට මාධ්‍යවේදීන් බිය බවක් පෙන්වා දුන්නාය.

මන්ත්‍රිනී හිරුණිකා‍ ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඊයේ (27) අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී මෙම අදහස් දක්වමින් තවදුරටත් මෙසේ අදහස් පළ කළාය.

මාධ්‍ය ඇයි ඔයතරම් ගෝඨාභය රාජපක්ෂ මහතාට බය - ජනතාවත් ඔහුට බයයි. ඇතැම් මාධ්‍ය ආයතන විවිධ හේතූන් සහ ව්‍යාපාර අරමුණු වෙනුවෙන් ගෝඨාභය ඔසවා තැබීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙනවා. මාධ්‍යවේදීන් ඝාතනය, අතුරුදන් කිරීම, හිරිහැර කිරීම් මේ සියල්ලම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වකවානුවේ සිදුවුණා. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අහලකින්වත් මහින්ද රාජපක්ෂ මහතා තැබීමට බෑ. මහින්ද රාජපක්ෂ මහතා ජනතාව සමඟ හිටියා. ගෝඨාභය රාජපක්ෂ යනු පලිගන්නා අයෙකි. ජනාධිපතිවරණය පැරදුනාට පසු ගෝඨාභය මහතා නැවත අමෙරිකාවට යනවා.

ජනාධිපතිවරයා, අගමැතිවරයා උපහාසට පත් කරමින් ගීත නිර්මාණය කරමින් පොහොට්ටුව සිදු කරන අවැඩ කොතරම් ද මේ කිසිවකින් අගමැතිවරයා සැලෙන්නේ නෑ.

ඉකුත් වසරේ දින පනස්දෙකේ ව්‍යවස්ථා අර්බුදයේදී අගමැතිවරයා අත නොහැර එතුමා සමඟ සිටි සැවොම අදත් එලෙසම සිටිනවා. පක්ෂ නායකයින් ශක්තිය ලබා දෙමින් අප්‍රමාණ සහායක් අගමැතිතුමාට ලබාදුන්නා. කළු සල්ලි ලබාදී මන්ත්‍රීවරු බිලිබාගන්නට හැදුවත් මුදල් පසුපස නොගිහින් අගමැතිවරයා හැරදමා නොගොස් එතුමා සමඟ එක්ව කටයුතු කළා. අපගේ පක්ෂය බෙදා වෙන්කරන්න ක්‍රියා කරන්නේ ජනාධිපතිවරයායි. ජනාධිපතිවරයාට සහාය දෙන්න කවුරුත් නැති නිසා අපගේ පක්ෂය කඩන්නට වෙහෙසෙනවා.

අපගේ පක්ෂයට පෙරමුණට ඕනතරම් අපේක්ෂකයෝ සිටිනවා. ශක්තිමත් පක්ෂයක් පෙරමුණක්.

වසර හතරහමාර තුළදී අපගේ පක්ෂය දැවැන්ත වැඩකොටසක් සිදු කළා. පලාලි ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන්තොටුපලක් බවට පත්වෙනවා. අපොස සාමාන්‍ය පෙළ උසස් පෙළ අසමතුන්ට දේශපාලනඥයින් පසුපස නොගොස් තාක්ෂණික දැනුම ලබා ගැනීමේ තාක්ෂණික විශ්වවිද්‍යාලය ඔක්තෝබර් 30දා ආරම්භ වෙනවා. අපගේ තරුණ තරුණියන්ට ජාත්‍යන්තරය සමඟ කරට කර තරග කිරීමට එමඟින් අවස්ථාව සැලසෙනවා.

ගම්පෙරළිය තුළින් මුළු ගමම සංවර්ධනය වෙනවා. එක මැතිවරණ කොට්ඨාසයකට ලක්ෂ තුන්දහසක් අගමැතිවරයා ලබා දුන්නා. ගමේ පාර, පාලම, පන්සල යනාදි සියලුම ගැමි අවශ්‍යතා මෙමගින් ඉටුවෙනවා.

මාධ්‍යවේදියකු නැඟූ පැනයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරිය මෙසේ පැවසුවාය.

ජනාධිපතිවරයා සමඟ ඩීල් දමන හෝ දමපු කිසිම අපේක්ෂකයකුට මම සහාය දෙන්නේ නෑ. අගමැතිතුමා කරු ජයසූරිය, සජිත් ප්‍රේමදාස යනාදි ඕනෑම අයකු ජනාධිපතිවරයා සමඟ නම් අපගේ සහාය ඒ කාටවත් ‍ලැබෙන්නේ නෑ. දින පනස් දෙක තුළදී ජනාධිපතිවරයා සිදුකළ ව්‍යවස්ථා විරෝධී ක්‍රියාකලාපය මට මතකයි. එවැන්නකුගේ සහාය අපිට අවශ්‍ය නෑ. පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සිටිනවා. එම ජ්‍යෙෂ්ඨයින් එක්ව සාකච්ඡා කර සුදුසුම අපේක්ෂකයා නම් කළ යුතුයි. අපි තවම නවක මන්ත්‍රීන්. අපිට විශාල අත්දැකීම් නෑ. එම නිසා ජ්‍යෙෂ්ඨයින් මෙහිදී එක්ව ගන්නා තීරණය වැදගත්. කැම්පේන් එකට හොඳ අපේක්ෂකයකු නම් කරන්න. එවිට අපි කැම්පේන් එක ඉහළම මට්ටමින් සිදු කරනවා.

කමනි අල්විස් 
ඡායාරූපය - හිරන්ත ගුණතිලක 

නව අදහස දක්වන්න