අධිකරණයට අපහාස කිරීමේ නඩුව: රාජ්‍ය ඇමැති රන්ජන් සාක්කි දෙයි | දිනමිණ

අධිකරණයට අපහාස කිරීමේ නඩුව: රාජ්‍ය ඇමැති රන්ජන් සාක්කි දෙයි

නෙල්කා මැදගෙදර

මාධ්‍ය හමුවේදී විනිසුරුවරුන් යැයි පැවැසූවේ වැරැදීමකින් එසැනින්ම එය නිවැරැදි කර ගත්තා

2017 අගෝස්තු මස 21 දින අරලියගහ මන්දිරයේ පැවැති කණ්ඩායම් රැස්වීමෙන් පසු මාධ්‍ය හමුවේදී කළ ප්‍රකාශයෙහි විනිසුරුවරුන් ලෙස සඳහන් වූයේ වැරැදීමකින් බවත් එය එසැනින්ම නිවැරැදි කර ගත් බව රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ දී පෙරේදා (28) සඳහන් කෙළේය.‍

එවකට අධිකරණ ඇමැතිවරයාව සිටි නීතිඥවරයකු පිළිබඳව අදහස් දැක්වීමට තමන්ට අවශ්‍යව තිබූ බවත් විනිසුරුවරුන් සම්බන්ධ කිසිවක් කීමට අවශ්‍යව නොතිබූ බවත් හෙතෙම කීය.

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් තමන්ට ඇති නඩුවෙහි සාක්කි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කෙළේය.

අධිකරණ විනිසුරුවරුන් සහ නීතිඥවරුන් සම්බන්ධ ප්‍රකාශයක් කිරීම මගින් රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කර ඇති බවට වන පැමිණිල්ල පෙරේදා (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි කැඳවන ලදි.

සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන, විජිත් මලල්ගොඩ යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවෙහි මේ පැමිණිල්ලෙහි සාක්කි විභාගය ආරම්භ කරන ලදි.

එහි දී හිරු මාධ්‍ය ජාලයෙහි වාර්තාකරුවකු වන අජිත් වික්‍රමසිංහ සිය සාක්ෂි දීම අවසන් කෙළේය.

අනතුරුව විත්තිකාර රන්ජන් රාමනායක මහතාගෙන් සාක්කි විමසීම අරඹන ලදි. විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතාගේ මෙහෙයවීම මත රන්ජන් රාමනායක මහතා සාක්කි දීම ආරම්භ කරන ලදි.

2008 වසරේ දී පැවැති පළාත් සභා මැතිවරණයට ද සබරගමු පළාත් සභාව සඳහා තරග කළ සභාපතිවරයාට වඩා ඡන්ද ලබාගත් නමුත් සිය පක්ෂය පරාජයවීම නිසා විපක්ෂ නායක ධුරයට පත් වූ අතර, එය තමාගේ දේශපාලන ජීවිතයෙහි ආරම්භය බව හෙතෙම කීය. 2010 දී රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වූ අතර, 2015 දී ගම්පහ දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පත්වී පශු සම්පත් නියෝජ්‍ය ඇමැති ධුරය දැරූ අතර, සමාජසේවා සුබසාධක ඇමැති සහ මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ලෙස පත් වූ බවත් හෙතෙම සඳහන් කළේය. විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ නීතිය හා සාමය අමාත්‍යාංශවල නියෝජ්‍ය ඇමැති ධුර ඉල්ලා සිටියත් ඒවා නොලැබුණු බව සාක්කිකරු සඳහන් කෙළේය. මේ වන විට මහා මාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය ඇමැති ධුරය දරන බව හෙතෙම කීය.

චිත්‍රපට ක්ෂේත්‍රයේ දී දේශපාලන ක්ෂේත්‍රය ඇතුළත් චිත්‍රපට නිර්මාණය කළ අතර, පාර්ලිමන්ට් ජෝක්ස්, වන්‍ ෂොට්, ලීඩර්, නවරියන් වැනි චිත්‍රපටවලින් දූෂිත දේශපාලනඥයන් සහ දූෂිත වෛද්‍යවරුන් සම්බන්ධව කතා කළා. චිත්‍රපටවලින් දූෂිත දේශපාලනඥයන් සමඟ කතා කිරීමත් ප්‍රමාණවත් නොවන බව හැඟී ගිය නිසා දේශපාලනයට පිවිසීමට අදහස් කළ බව හෙතෙම සඳහන් කළේය.

වසර දහයක පමණ දේශපාලන ජීවිතයේ දී කිසිදු දූෂිත වැඩකට සම්බන්ධ නෑ. අද පාර්ලිමේන්තුවේ දෙසිය විසිපහෙන් සිය දෙනකුට බාර්, හැත්තෑ දෙනකුට වැලි පර්මිට් තිබෙනවා. මාල කැඩූ අය එතනෝල් චෝදනා තිබෙන අය පාර්ලිමේන්තුවේ සිටින අතර තමා හට ඇති එකම චෝදනාව වාහන බලපත්‍රය අලෙවි කිරීම පමණයි. එම මුදල්වලින් මැදපෙරදිග සිට ඇණ 75ක් ගසා එවූ කඹුරුපිටියේ ආරියවතීට නිවෙසක් සාදා දුන් බව හෙතෙම සඳහන් කළේය. එසේම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවට පැමිණීමේ දීමනාව වූ රුපියල් 500 දෙදහස් පන්සිය දක්වා වැඩි කළ අවස්ථාවේදී එය ප්‍රතික්ෂේප කළ අතර, මන්ත්‍රී වැටුප් වැඩි කිරීම ප්‍රතික්ෂේප කළ බව ද නිවෙසක් හෝ වාහනයක් තවමත් තමන්ට නැතැයි හෙතෙම සඳහන් කෙළේය.

එසේම වත්කම් හා බැරකම් ප්‍රකාශය ප්‍රසිද්ධියට පත් කළ බව ද හෙතෙම සඳහන් කෙළේය. මේ වන විට දෙසිය විසිපස් දෙනකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ හත්දෙනකු පමණක් වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර තිබෙන බව හෙතෙම කීය. 2017 අගෝස්තු 21 දින අරලියගහ මැදුරෙන් පිටතට පැමිණ ප්‍රකාශයක් කළ බව හෙතෙම සඳහන් කෙළේය.

එදින අරලියගහ මැදුරේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමක් පැවැති බව හෙතෙම සඳහන් කෙළේය. විජේදාස රාජපක්ෂ මහතා කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය කිරීම ගැන එහි දී කතා කළ බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කෙළේය. ඊට දින 7කට පෙර එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් විජේදාස රාජපක්ෂ මහතාට සමාව ලබා ගැනීමට අවස්ථාව දී තිබුණු අතර, එහි දිගුවක් ලෙස අගෝස්තු 21 පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීම පැවැති බව ද හෙතෙම කීය.

සිරිකොත කෘත්‍යාධිකාරි රැස්වීමෙන් පසු පිටතට එනවිට මාධ්‍යවේදීන් මගෙන් යම් ප්‍රශ්න ඇසූ අතර, විජේදාස රාජපක්ෂ මහතා කාන්තා කටයුතු ඇමැති ධුරයට සුදුසු බවත් ඔහු හොරුන් ආරක්ෂා කරන බවත් තමා සඳහන් කළ බව රන්ජන් රාමනායක මහතා සඳහන් කළේය. ඔහු අධිකරණ ඇමැති ධුරයෙන් ඉවත් විය යුතු බව පාර්ලිමේන්තු කණ්ඩායමේ එකම හඬ වූ අතර, මේ ප්‍රශ්න ගත ප්‍රකාශය නීතිඥවරුන් ද සම්බන්ධ වන අතර, විජේදාස රාජපක්ෂ මහතා විශාල සේවාදායකයන් පිරිසක් සහිත ජනප්‍රිය නීතිඥවරයකු බවද තමා දන්නා බව සාක්කිකරු කීය. ඔහු අධිකරණ ඇමැතිවරයාව සිටිමින් ඔහුගේ පෙර සේවාදායකයන්ට පක්ෂව කතා කිරීම සහ කටයුතු කිරීම ගැන තමාට කතා කිරීමට අවශ්‍යව තිබූ බව රන්ජන් රාමනායක මහතා සඳහන් කෙළේය. මහත්මා ගාන්ධි වැනි නීතිඥයන් ජනතාවාදී නීතිඥයෙක්. ඔහු සහ විජේදාස රාජපක්ෂ වැනි නීතිඥවරුන් අතර වෙනස කතා කිරීමට අවශ්‍ය බව ඔහු සඳහන් කළේය. ඇවන්ගාඩ් සහ කලින් සිටි අධිකරණ ඇමැතිවරයා අතර ඇති සම්බන්ධය විවිධ අවස්ථාවල සඳහන් වූ බව හෙතෙම කීය. ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් එවකට සිටි නීතිය හා සාමය පිළිබඳ ඇමැතිවරයා ඉල්ලා අස්වුණු බව ඔහු සඳහන් කෙළේය.

අදාළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝ පටයේ දී නීතිඥවරුන් ඇමතීම සඳහා වචන කිහිපයක්, ලෝයර්ස්, කලුකෝට්කාරයෝ, සේවාදායකයන් වෙනුවෙන් කටයුතු කරන තැනැත්තන් ආදී ලෙස සඳහන් කළ අතර, සිය තර්කය ගොඩනඟන්නට විවිධ වචන භාවිත කළ බව ඔහු පිළිගත්තේය. එසේම විනිසුරුවරුන් පිළිබඳව ද එහි සඳහන් කළ බව හෙතෙම කීය. එහෙත් සිය මූලික අරමුණ වූයේ අධිකරණ ඇමැතිවරයා ගැන කතා කිරීම පමණයි. විනිසුරුවරුන් පිළිබඳ වැරැදීමකින් සඳහන් වුණු අතර, ඒ මොහොතේදීම ලෝයර්ස්ලා ලෙස තමා එය නිවැරැදි කිරීමට උත්සාහ කළ බවත් කීය. සියයට 95ක් පමණ නීතිඥවරුන් හා විනිසුරුවරුන් දූෂිත බවට ප්‍රකාශ කළේ සමීක්ෂණයකින් නොවන බව හෙතෙම සඳහන් කෙළේය. දනගහලා වඳින්න පුළුවන් නීතිඥවරු සහ විනිසුරුවරුන් සිටින බවට තමා කිහිප අවස්ථාවක ප්‍රකාශ කර සිටි අතර, විනිසුරුවරුන් සම්බන්ධ අදහසක් ප්‍රකාශ කිරීමට අවශ්‍යතාවක් නොතිබූ බව හෙතෙම කීය. විනිසුරුවරුන් යන වචනය පිටවූ වහාම එය නිවැරැදි කරගත් අතර කලින් සිටි අධිකරණ ඇමැතිවරයා නීතිඥවරයකු ලෙස කටයුතු කළ ආකාරය ගැන විවේචනය කිරීමේ අවශ්‍යතාව තිබූ බව ඔහු ප්‍රකාශ කෙළේය. විනිසුරුවරුන් සම්බන්ධ කිසිදු කරුණක් උද්ගත නොවූ බව ඔහු සඳහන් කෙළේය.

එහෙත් මේ නඩු කටයුත්තෙන් අනතුරුව අධිකරණයෙන් පිටතට පැමිණ විනිසුරුවරුන් සම්බන්ධව ප්‍රකාශ කිහිපයක් කළ බව ඔහු පිළිගත්තේය.

ඇතැම් අගවිනිසුරුවරුන් සහ විනිසුරුවරුන්ගේ ක්‍රියා කලාපය පිළිබඳ විමසද්දී විනිසුරුවරුන් සම්බන්ධව කළ ප්‍රකාශය වැරැදි නොවන බවට මට හැඟී ගියා. ඇතැම් අගවිනිසුරුවරුන් ගැන අසද්දි උසාවිය නිහඬයි වැනි චිත්‍රපට, වික්ටර් අයිවන්ගේ පොත් කියවද්දී විනිසුරුවරුන් ගැන මා කළ ප්‍රකාශය වැරැදි නැති බව මට හැඟී ගියා.

දැනුම තේරුම තිබූ කාලයේ පත් වූ අගවිනිසුරුවරුන් සම්බන්ධයෙන් කතා කරද්දී විනිසුරුවරුන් සම්බන්ධව මුලින් කළ ප්‍රකාශය වැරැදි නොවන බව තමාට හැඟී ගිය බව හෙතෙම සඳහන් කෙළේය.

සාක්කි විභාගය කල් තැබිණි.

නව අදහස දක්වන්න