රන්ජන්ට එරෙහි නඩුව ඉවත්කර ගනී | දිනමිණ

රන්ජන්ට එරෙහි නඩුව ඉවත්කර ගනී

සිරන්ජනි කුමාරි

ඇමැති මණ්ඩලයේ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් සිටින බවට කළ ආන්දෝලනාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට එරෙහි නඩුව සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය ඊයේ (30) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ ඉල්ලා අස් කර ගත්තේය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූව ද අමාත්‍යවරයා සමාජ මතයක් පමණක් ප්‍රකාශ කර ඇතිමුත් වැටලීමක් කිරීමට තරම් හෝ නඩුවක් පවත්වාගෙන යාමට තරම් සාක්කි නොමැති බව පවසමින් අපරාධ කොට්ඨාසය මෙම නඩුව අවසන් කරන බවට අධිකරණය හමුවේ සඳහන් කෙළේය.

වර්ෂ 2019/2/12 විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය වෙත රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා කැබිනට් මණ්ඩලයේ කෝකේන් මත්ද්‍රව්‍ය භාවිතා කරන අමාත්‍යවරුන් සිටින බව පවසමින් ප්‍රකාශයක් සිදු කළ බවත්, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස අංක 50, ඉහළ බෝමිරිය පදිංචි ප්‍රේමනාත් චාමින්ද දොලවත්ත මහතා පොලිස්පති වෙත කළ පැමිණිල්ල අනුව මෙහි විමර්ශන ආරම්භ කර තිබිණි.

ඒ අනුව මාධ්‍ය ආයතන හරහා දර්ශන මෙන්ම ප්‍රවෘත්ති කර්තෘවරුන්ගේ ප්‍රකාශ ලබා ගත් බවත්, අමාත්‍යවරයා ද පොලීසියට කැඳවා ප්‍රකාශ ලබා ගත් බවත් පොලීසිය අධිකණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම නඩුව පවත්වාගෙන යාමට තරම් ප්‍රමාණවත් සාක්කි නොමැති බැවින් නඩු කටයුතු අවසන් කිරීමට පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියේය. අදාළ කරුණු සළකා බැලු මහෙස්ත්‍රාත්වරයා නඩු කටයුතු අවසන් කළේය.

නව අදහස දක්වන්න