කුඩා පරි­මාණ කෘෂි ව්‍යාපාර සහ­භා­ගීත්ව බදුලු වැඩ­ස­ට­හන ඇරැ­ඹෙයි | දිනමිණ

කුඩා පරි­මාණ කෘෂි ව්‍යාපාර සහ­භා­ගීත්ව බදුලු වැඩ­ස­ට­හන ඇරැ­ඹෙයි

තරුණ තරු­ණි­යන්ට ප්‍රති­ලාභ රැසක්

 

ජනාධිපති ලේකම් කාර්යාලයේ තිරසාර සංවර්ධන අංශය යටතේ ක්‍රියාත්මක වන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගීත්ව වැඩසටහන (SAPP) බදුල්ල දිස්ත්‍රික්කයේ නිල වශයෙන් ආරම්භ කිරීම බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය පැරැණි ශ්‍රවනාගාරයේ දී පසුගිය දා සිදුකෙරිණි.

--සම්ප්‍රදායකත්වයෙන් බැහැර වූ කෘෂිකාර්මික ව්‍යාපාර වෙත තරුණයන් යොමු කිරීම ඉලක්ක කරගත් මෙම වැඩසටහන කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදලේ (International fund for Agricultural Development -IFAD) සහ ශ්‍රී ලංකා රජයේ අරමුදල් මත ක්‍රියාත්මක කෙරෙන අතර වාණිජ හවුල්කාරිත්වය ගොඩනැගීම, මූල්‍ය ප්‍රවේශය, තාක්ෂණික දැනුම හා මූල්‍ය සාක්ෂරතාවය වැඩි දියුණු කිරීම, කෘෂිකර්මාන්තයට යාන්ත්‍රිකකරණය හඳුන්වා දීම සහ තිරසාර කෘෂිකාර්මික ක්‍රමවේදයක් භාවිතය සම්බන්ධයෙන් ග්‍රාමීය කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාරිකයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ අරමුණු අතර වේ.

“රාජ්‍ය- පෞද්ගලික- නිෂ්පාදක- සහභාගීත්ව” හෙවත් 4 P අගයදාමය ක්‍රමවේදය මෙම වැඩසටහනේ ප්‍රධාන විධි ක්‍රමය වන අතර එමඟින් රාජ්‍ය අංශය, පෞද්ගලික අංශය සහ නිෂ්පාදකයින් (කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාරිකයන් ) අතර සහභාගීත්වය ගොඩනඟමින් කුඩාපරිමාණ කෘෂි ව්‍යාපාරිකයින්ට ඔවුන්ගේ කෘෂි ව්‍යාපාර සංවර්ධනය කිරීමට අවශ්‍ය මූලික සහාය මෙම ව්‍යාපෘතිය යටතේ ලබා දෙයි.

ග්‍රාමීය කුඩා පරිමාණ කෘෂිකාර්මික පවුල් 57,500 ක දරිද්‍රතාවය අවම කිරීම, තරගකාරීත්වයට මුහුණ දීමට අවශ්‍ය ධාරිතා වර්ධනය සහ යැපුම් ගොවිතැනේ සිට වාණිජ කෘෂි ව්‍යාපාර දක්වා පරිවර්තනය වන ග්‍රාමීය ගොවීන්ගේ ප්‍රධාන ආදායම් ප්‍රභවය මෙන්ම ආහාරවල ගුණාත්මකභාවය හා ප්‍රමාණාත්මකභාවය වැඩි දියුණු කිරීම SAPP හි සමස්ත ඉලක්කයන් වෙයි.

වර්තමානය වන විට තරුණ තරුණියන් කෘෂිකර්මාන්තයෙන් ඈත් වීමේ ප්‍රවණතාවක් පැහැදිලිවම දැකිය හැකි අතර, තරුණ ප්‍රජාව තාවකාලික රැකියාවක් සොයමින් නාගරික ප්‍රදේශවලට සංක්‍රමණය වීම සිදුවෙමින් පවතින බැවින් ව්‍යාපෘති ඉලක්කගත ප්‍රජාව වන පවුල් 57,500 න් තරුණ තරුණියන් 2,500 ක් සාර්ථක කෘෂි ව්‍යාපාර සඳහා නැඹුරු කිරීම මෙම වැඩසටහනේ සම පරමාර්ථයකි.

කෘෂි ව්‍යාපාර ගොඩනැගීම සඳහා තරුණ තරුණියන්ගේ විභවතාවයන් හඳුනා ගනිමින් දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධව තරුණ ප්‍රජාව සංවේදීකරණ

 

වැඩසටහන් ද මේ යටතේ රට පුරා ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තරුණ තරුණියන් දහසකට වැඩි ප්‍රමාණයක් අනාගත තරුණ ව්‍යවසායකයන් ලෙස හඳුනාගෙන ඇති බවද SAPP කාර්ය මණ්ඩලය පවසයි.

මේ යටතේ බදුල්ල දිස්ත්‍රික්කයට අදාළව මේ වන විට බණ්ඩාරවෙල ග්‍රීන් වෙජ් අපනයන පුද්ගලික සමාගම සමඟ සම්බන්ධ තරුණ තරුණියන් සියයක් නවීන හරිතාගාර තාක්ෂණය යොදා ගනිමින් කෘෂි ව්‍යාපාර සඳහා යොමු කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, එනම් වාණිජ හවුල්කාරීත්වයන් ගොඩනැගීම, මූල්‍ය වෙළඳපොළට ඇති ප්‍රවේශය වැඩිදියුණු කිරීම හා ශක්තිමත් කිරීම, කෘෂිකාර්මික යෙදවුම් සහ නිෂ්පාදන වෙළඳපල සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ අපේක්ෂිත කෘෂි ව්‍යාපාරවලට අදාළ තාක්ෂණික ධාරිතාවය ශක්තිමත් කිරීම සඳහාද මූලික වී කටයුතු කිරීම SAPP මඟින් සිදුවේ.

මෙලෙස තෝරාගත් තරුණ ව්‍යවසායකයන් නවීන හරිතාගාර තාක්‍ෂණය භාවිතා කරමින් තක්කාලි (සැන් මාසානෝ ප්‍රභේදය) සහ සලාද පිපිඤ්ඤා වාර්ෂිකව කන්න දෙකකින් නිෂ්පාදනය කිරීමට අදහස් කරන අතර සෑම ව්‍යවසායකයකුටම රු. 500,000ක ණය මුදලක් සහනදායී පොලී අනුපාතයකට යටත්ව (6.5%) ප්‍රාදේශීය සංවර්ධන බැංකුව (RDB) සහ ඩීඑෆ්සීසී බැංකුව හරහා ලබා දෙයි. බණ්ඩාරවෙල ග්‍රීන් වෙජ් අපනයන පුද්ගලික සමාගම අදාළ නිෂ්පාදකයන්ගේ නිෂ්පාදනයන් සෘජූවම මිල දී ගන්නා අතර එම නිෂ්පාදන දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපළ වෙත අලෙවි කෙරෙයි. තවද, මෙම ව්‍යාපාරික ආයතනය, ප්‍රවර්ධන සමාගම ලෙස කටයුතු කරමින් තරුණ ව්‍යවසායකයින්ට අවශ්‍ය තාක්‍ෂණික දැනුම ලබා දීම, මඟ පෙන්වීම සහ අධීක්ෂණය ද සිදු කරයි.

SAPP රාජ්‍ය ආයතනය ලෙස මෙම ව්‍යවසායකත්වය පුරා බැංකු, ප්‍රවර්ධන සමාගම් සහ නිෂ්පාදකයන්ට පහසුකම් සපයන අතර සමීප අධීක්ෂණයෙන් හා ඇගයීමෙන් එක් එක් ව්‍යාපාරවල තිරසාර බව සහතික කරන බවද එම වැඩසටහන පවසයි. මෙම වැඩසටහන බදුල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කිරීමේ උත්සවය බදුල්ල අතිරේක දිස්ත්‍රික් ලේකම් ඩබ්.එම්.ආර්.රංජිත් මහතා සහ SAPP හි වැඩසටහන් අධ්‍යක්ෂ අචාර්ය යසන්තා මාපටුන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එම අවස්ථාවට SAPP හි නිලධාරීන් වන කේ.එම්.ඩී.බණ්ඩාර, කේ.පී.නිවන්ත, කේ.කුමරන්, අනුපමා ඩයස් යන මහත්ම මහත්මීන් ද ඌව පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ධර්මලතා අතපත්තු මහත්මිය ඇතුළු රජයේ නිලධාරීන් රැසක් ද, බැංකු නිලධාරීන්, කෘෂිකාර්මික නිෂ්පාදන සමාගම් සහ තෝරාගත් තරුණ ව්‍යවසායකයන් ද ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

තෝරාගත් තරුණ ව්‍යවසායකයන් 27දෙනෙකු සඳහා කෘෂිකාර්මික ව්‍යාපෘති ආරම්භ කිරීම පිණිස ණය පහසුකම් ප්‍රදානය කිරීම ද මෙහිදී සිදුකෙරිණි.

 

 

සටහන හා ඡායාරූප

හාලිඇල සමූහ

ආර්.එම්.විජේරත්න

නව අදහස දක්වන්න