පාහියන් හිමි ධර්ම ගවේෂණ චාරිකාවේ 1620 වැනි සංවත්සරයට විශේෂ ආගමික උත්සවයක් | දිනමිණ

පාහියන් හිමි ධර්ම ගවේෂණ චාරිකාවේ 1620 වැනි සංවත්සරයට විශේෂ ආගමික උත්සවයක්

චීන ජාතික පාහියන් (ෆාශියන්) හිමියන්ගේ ධර්ම ගවේෂණ චාරිකාවේ 1620 වැනි සංවත්සරය නිමිත්තෙන් විශේෂ ආගමික උත්සවයක් අනුරාධපුර ඓතිහාසික අභයගිරිය විහාරස්ථානයේ දී ඉකුත්දා පැවැත්විණ.

ශ්‍රි ලංකා ෆාශියන් සංස්කෘතික සංගමය හා ලුං හුවා ආයතනය ඒකාබද්ධව මෙය සංවිධාන කර තිබිණ.

අභයගිරි පුදබිමේ පැවැති මේ පාහියන් හිමි අනුස්මරණ ආගමික උත්සවය සඳහා චීන ජාතික භික්ෂූන් වහන්සේ 30කට අධික සංඛ්‍යාවක් වැඩම කළහ. උන්වහන්සේලා විසින් පළමුව අභයගිරි දාගැබ පාමුල පිහිටුවා ඇති පාහියන් හිමිගේ පිළිරුවට වන්දනා කළහ. ඉන් අනතුරුව අභයගිරි විහාරයේ දී චීන බෞද්ධ සම්ප්‍රදාය අනුව බෞද්ධ ආගමික වතාවත් සිදු කෙරිණි. පසුව පැවැති උත්සව සභාවේ දී සහභාගී වූ ගහි පැවිදි ප්‍රභූ පිරිස් පාහියන් හිමිගේ ලංකා ගමනයත් ඒ ඔස්සේ ගොඩ නැඟුණු නොබිදෙන චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය පිළිබඳත් කරුණු පැහැදිලි කළහ.

අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පල්ලේගම සිරි නිවාස නාහිමිපාණන් වහන්සේගේ ප්‍රමුඛත්වයෙන් උත්සව සභාව ආරම්භ වූහ. අටමස්ථානය නියෝජනය කරන අනෙකුත් නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මහා සංඝරත්නයත්, චීන ජාතික මහා සංඝරත්නයත්, චීනයේ සිට පැමිණි දුත පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

එහි දී අදහස් දැක් වූ අභයගිරි විහාරයේ විහාරාධිකාරී ආචාර්ය කල්ලංචියේ රතනසිරි හිමියෝ,

ක්‍රි. ව. 5 වැනි සියවසේ දී ශ්‍රී ලංකාවට වැඩම කළ උන්වහන්සේ මෙරට සිට ත්‍රිපිටක ධර්මය ප්‍රගුණ කර තිබේ. මහා විහාරයේ රැඳී සිටි වසර දෙකක කාලයේ දී එකල අනුරාධපුරයේ සිදු වූ විවිධ බෞද්ධ ආගමික කටයුතු පිළිබඳ පාහියන් හිමිගේ දේශාටන වාර්තාවල සඳහන් වන බවත් ඓතිහාසික චීන බෞද්ධ මිත්‍රත්වය තව දුරටත් වඩා වර්ධනය කර ගැනීමට මෙවන් ආගමික උත්සව ඉතා අගනා බව ද උන්වහන්සේ සඳහන් කර සිටියහ.

චීනයේ බීජිං නුවර ලින්ග් ග්වාන් විහාරස්ථානයේ මහා නායක ෂී චුං යි හිමියෝ සඳහන් කර සිටියේ චීනය තුළ බුදු දහම ව්‍යාප්තවීමට පාහියන් හිමිගේ උත්සාහය විශාල වශයෙන් හේතු වී තිබෙන බවයි.

මේ උත්සවය සඳහා උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, අනුරාධපුර දිස්ත්‍රික් මහ දිසාපති ආර්. එම්. වන්නිනායක යන මහත්වරු ද අදහස් දැක්වූහ.

මේ උත්සවයට සමගාමීව චීනයේ ලිං ගුවං බෞද්ධ විහාරයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ පරිත්‍යාගයෙන් අභයගිරිය විහාරයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව පිණිස ස්ථාපිත කළ ජල පිරිපහදු යන්ත්‍රයක් විවෘත කිරීම ද, යෝමිං විහාරයේ විහාරාධිපති හිමිගේ පරිත්‍යාගයෙන් කල්ලංචිය මහා විද්‍යාලයට ජල පිරිපහදු යන්ත්‍රයක් ප්‍රදානය කිරීම ද සිදු විය. ශ්‍රී ලංකා ෆාශියන් සංස්කෘතික සංගමයේ හා ශ්‍රී ලංකා ලුං හුවා ආයතනයේ සභාපති මහාචාර්ය හව් වෙයිමින් මහතා විසින් මේ උත්සව කටයුතු සම්බන්ධීකරණය කරන ලදි.

අනුරාධපුර අතිරේක
ඡායාරූප-අනුරාධපුර අතිරේක

නව අදහස දක්වන්න