පාස්කු ප්‍රහාර වැනි අභියෝග හමුවේත් ඩොලර් බිලියන 18.5ක අපනයන ආදායම් ඉලක්කයක් | දිනමිණ

පාස්කු ප්‍රහාර වැනි අභියෝග හමුවේත් ඩොලර් බිලියන 18.5ක අපනයන ආදායම් ඉලක්කයක්

ජයසිරි මුණසිංහ

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් සහ ලෝක ආර්ථිකයේ මතු වන අභියෝග රැසක් මැද වුව ඩොලර් බිලියන 18.5ක ඉලක්කයක් සහිත මෙරටේ අපනයන ආදායම වැඩිම වසර මේ වසර බවට පත් කර ගත හැකි බව සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතා විශ්වාසය පළ කෙළේය.

ශ්‍රී ලංකාවේ ඉහළම අපනයන ආදායම ලැබූ වසර 2018 බව කී ඇමැතිවරයා එදා ඩොලර් බිලියන 17ක ආදායමක් ලැබූ අප මේ වසරේ ඩොලර් බිලියන 18.5ක ආදායමක් ලබා ගන්නා බවට ඇස්තමේන්තු කොට ඇතැයි කීය.

යුරෝපා සංගමය, සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍යාංශය, වාණිජ දෙපාර්තමේන්තුව හා වෙළෙඳ වාණිජ හා කර්මාන්ත සම්මේලනය එකට එක්ව සංවිධානය කළ ජී.එස්.පී. + සහනය පිළිබඳව වූ සම්මන්ත්‍රණය ඊයේ (2) කොළඹ ගාලු මුවදොර හෝටලයේ පැවැති අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

වසර 2017 දී ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය මඟින් නැවත වතාවක් ජී.එස්.පී. + සහනය ලබාදීමත් සමඟ වසර 2018 දී රටේ අපනයන ආදායම සියයට 5කින් වැඩි වූ බවද ඇමැතිවරයා මෙහි දී කීය.

අපනයන ආදායම් වැඩි කර ගැනීමේ කුමන බාධා පැමිණියද ශ්‍රී ලාංකික අපනයනකරුවෝ මහත් කැපවීමෙන් උනන්දුවෙන් ධෛර්යයෙන් ක්‍රියා කිරීම ප්‍රබල සාධකයක් වූ බවද මලික් සමරවික්‍රම මහතා කීය. මේ වන විට ශ්‍රී ලංකාවේ අප ජාතික අපනයන සංවර්ධන උපායමාර්ගික ප්‍රතිපත්ති මාලාව සකස් කොට ඇතැයි ද ඒ සඳහා යුරෝපීය සංගමය ජිනීවා හි ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානය මෙරටට සහාය ලබා දී තිබෙන බවද කීය.

ශ්‍රී ලංකාවේ අපනයන ආදායම් වැඩි කර ගැනීමට වෙහෙසෙන අපනයනකරුවන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, සම්පත් දායකයන් විශාල පිරිසක් මේ සම්මන්ත්‍රණයට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න