මාලදිවයින් සංචාරය...! | දිනමිණ

මාලදිවයින් සංචාරය...!

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මාලදිවයින් සංචාරය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඉතා වැදගත් නිල සංචාරයක් සේ සැලැකිය හැකි ය. මේ සංචාරයේ වැදගත් ම අවස්ථාව ලෙස සැලැකිය හැක්කේ ඉන්දියන් සාගර කලාපීය සමුළුවයි. එම සමුළුවේ සභාපතිත්වය හිමි වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට වීම විශේෂයකි. මේ සාගර කලාපයේ සාමය, සහයෝගීතාව හා සංවර්ධනය පිළිබඳ වැදගත් ම කතිකාව මෙහිදී සිදුවනු ඇතැ’යි විශ්වාස කළ හැකි ය. ඉන්දීය සාගර කලාපය කෙරෙහි දැඩි ලෝක අවධානයක් පවතී. ඊට හේතුව ඊළඟ සියවසේ ලෝක ආර්ථිකයේ කේන්ද්‍රය මේ කලාපය බවට පත්ව තිබීම ය.

ඉන්දියන් සාගරයේ දූපත් රාජ්‍යයන් කෙරෙහි බලපාන සුවිශේෂ ගැටලු ගණනාවක් තිබේ. කාලගුණිත විපර්යාස ඒ අතර ප්‍රධාන තැනක් ගනී. ලෝක උෂ්ණත්වය ඉහළ යමින් පවතින අවධියක ඒ ආශ්‍රයෙන් පැන නඟින පාරිසරික මෙන් ම භූගෝලීය ගැටලු ද පවතී. උණුසුම නිසා ග්ලැසියර දියවී සාගර ජල මට්ටම ඉහළ යන බවට විද්‍යාඥයන් අනතුරු හඟවා ඇත. මේ වනවිටත් සාගර ජල මට්ටම ඉහළ යෑමේ තර්ජනයට මාලදිවයින් රාජ්‍යය මුහුණ දී ඇත. මේ ආශ්‍රයෙන් මතුවන කාලගුණික වෙනස්කම් නිසා සුළිසුළං හා අධික වර්ෂාපතනය ද ඇති විය හැකි ය ඉන්දියන් සාගර කලාපයේ කාලගුණික රටාව ක්ෂණයෙන් වෙනස් වෙයි. එබඳු කාලගුණික විපර්යාස ගණනාවකටම අපි පසුගිය කාලය තුළ මුහුණ දී ඇත්තෙමු.

කාලගුණික විපර්යාස හා ස්වාභාවික විපත් එක අතෙකින් පවතින අතර බලවත් ජාතීන්ගේ ආර්ථික හා දේශපාලනික බලපෑම් ද මේ කලාපය වෙත එල්ල විය හැකි ය. ඊළඟ සියවසේ ආර්ථික කලාපය ආසියාව වන බැවින් ද ආසියාවේ හොඳම භූගෝලීය කලාපයට අප අයත් වන බැවින් ද මේ තත්ත්වය බරපතළ ලෙස ගණන් ගත යුතුව තිබේ. ඉන්දියන් සාගරය සේම පැසිපික් සාගර කලාපය ද පවතින්නේ අපට සමීප සම්පත් හැටියට ය. නාවික මාර්ග මෙහි ලා විශේෂ වෙයි. දැනට ම චීනය ක්‍රියාවට නංවා ඇති එක මාවතක් - එක කලාපයක් වැඩසටහන යටතේ කලාපීය ආර්ථික ගනුදෙනු පුළුල් වෙමින් පවතී. මෙයින් ප්‍රතිලාභ ලබාගැනීමට නම් දූපත් රාජ්‍යවල සූදානමක් ද පැවැතිය යුතු ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පෙරේදා මාලදිවයිනේ දී කළ කතාවේ දී අපට ඇති අභියෝග කිහිපයක් ගැන සඳහන් කළේ ය. ත්‍රස්තවාදය, කාලගුණික විපර්යාස හා ආර්ථික අභියෝග ඒ අතර ප්‍රධාන තැන ගනී. වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන අන්දමට මේ කලාපයේ අධික ජනගහනය ද කලාපීය ගැටලුවක් බවට පත්ව තිබේ. ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් පමණ ඉන්දියන් සාගර කලාපයේ රටවල් තුළ ජීවත්වෙති. මානව සම්පත ලෝක ආර්ථික වෘද්ධියට බලපාන සාධකයක් වුව එය නිසි අයුරින් කළමනාකරණය කර ගැනීමේ හැකියාව මේ රටවල්වලට තිබිය යුතුය. එය කළ හැක්කේ කුඩා රටවල් සහයෝගයෙන් ක්‍රියා කළහොත් පමණි.

ශ්‍රී ලංකාව හා මාලදිවයින අතර ගිවිසුම් හතරක් අස්සන් කිරීම ද මෙහි දී සිදු විය. අධ්‍යාපනය, තරුණ කටයුතු ආදි ක්ෂේත්‍ර ඊට අයත් ය. මාලදිවයිනෙහි තරුණ පරම්පරාව ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතන තුළ අධ්‍යයන කටයුතු කිරීමට වැඩි කැමැත්තක් දක්වති. මීට අදාළ පහසුකම් වැඩිදියුණු කළහොත් මාලදිවයින් තරුණ පරම්පරාවෙන් විශාල කොටසක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය වනු ඇත. මාලදිවයිනෙහි සංචාරක කර්මාන්තයෙන් ද, එරට ධීවර කර්මාන්තයෙන් ද අපට බොහෝ ආදර්ශ ලබාගත හැකි ය. එරටෙහි ප්‍රධාන ආදායම් මාර්ග දෙක ලෙස සැලැකිය හැක්කේ ද සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය යි. මාලදිවයින හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍රත්වයට දිගු ඉතිහාසයක් ඇති බැවින් යහපත් අවබෝධයකින් යුතුව ගිවිසුම් ක්‍රියාත්මක කළ හැකි ය.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් මහතා මෙහිලා පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකා‍ව ඔවුන්ගේ දිගුකාලීන හා සමීප මිතුරකු හැටියට ය. රනිල් වික්‍රමසිංහ මහතා සිය රටෙහි ආර්ථිකය නැංවීම සඳහා ගෙනයන වැඩපිළිවෙළ ද අසල්වැසි රාජ්‍යයන් සමඟ ගොඩනඟනු ලබන මිත්‍රත්වය ද ඊබ්‍රාහිම් මොහොමඩ් මහතාගේ අගය කිරීමට ලක්විය. මාලදිවයින් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට හා අගමැතිවරයාට සිය කෘතඥතාව පළකර සිටියේ දක්වන සහයෝගයට ය. මාලදිවයින් රජය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත මණ්ඩලය මහත් හරසරින් පිළිගත් අතර වැදගත් සාකච්ඡා ගණනාවක් ද පැවැත්විණි. මාලදිවයිනෙහි නායකයන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි දක්වන ගෞරවය ද මෙහි දී කැපී පෙනිණි.

සාගර ආර්ථිකය ගැන ද, ඉන්දියන් සාගරයේ වෙළෙඳ කේන්ද්‍රයක් ගැනද කතිකා කරන්නට පටන්ගත් මෑතකාලීන දේශපාලන නායකයා වන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ය. වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම තුළ විශේෂ වැඩසටහන් තුනක් තිබේ. පළමුවන්න අපනයන ආර්ථිකයක් කරා ගමන් කිරීම ය. අතීතයේ ද ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රධාන ආදායම් මාර්ගය වූයේ අපනයනයයි. එය තේ, පොල්, රබර් අපනයනය ලෙස හැඳින්විණි. දෙවන්න ඉන්දියන් සාගරයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ලෙස හා මූල්‍ය කේන්ද්‍රයක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යෑම ය. සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, ඩුබායි, හොංකොං යන රාජ්‍යයන් ශීඝ්‍ර සංවර්ධනයක් අත්පත් කර ගත්තේ ද එම උපාය මාර්ගය ඔස්සේ ය. තෙවන්න සාගර ආර්ථිකය දියුණු කිරීම ය. මෑතකාලයේ සාගර ආර්ථිකයක් ගැන කතා කළ වෙනත් දේශපාලන නායකයකු නැති තරම් ය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්ම යථාර්ථයක් බවට පත් කිරීම සඳහා අත්‍යවශ්‍ය සාධකයක් ලෙස ජාත්‍යන්තර සහයෝගය සඳහන් කළ හැකි ය. ජාත්‍යන්තර සහයෝගය ලබා ගැනීමේ දී පළමුව අපගේ අවධානය යොමු විය යුත්තේ කලාපීය සහයෝගය කෙරෙහි ය. මාලදිවයින් සාකච්ඡාවලදී වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ කලාපීය වශයෙන් සාමය, සහයෝගය හා සංවර්ධනය සඳහා දූපත් රාජ්‍යයන් ඒකාබද්ධ ලෙස ක්‍රියා කළ යුතු බව ය. සංවර්ධිත රටවල් පළමුව කලාපීය සහයෝගය ද දෙවනුව ගෝලීය සහයෝගය ද පවත්වාගෙන යයි. වික්‍රමසිංහ මහතාගේ ආර්ථික දැක්මේ වැදගත්කම එයින් පැහැදිලි වෙයි.

 

නව අදහස දක්වන්න