ඩොලර් මිලියන 480ක එම්.සී.සී. ප්‍රදානයෙන් ඉවත්වීමට හේතුවක් නෑ | දිනමිණ

ඩොලර් මිලියන 480ක එම්.සී.සී. ප්‍රදානයෙන් ඉවත්වීමට හේතුවක් නෑ

එම්.සී.සී. ප්‍රදානය පිළිබඳ තීරණය කැබිනට් මණ්ඩලය විසින් ප්‍රමාද කළහොත් ප්‍රවාහන යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ ඉඩම් කළමනාකරණය වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත පොලී රහිත ආධාර අහිමි විය හැකිය.

වැරදි තොරතුරු ප්‍රචාරය කරන්නන්ගේ උත්සාහයන් සහ පාලක ‘සභාගය’ අතර දේශපාලන වෙනස්කම් හේතුවෙන් ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 480ක මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් (එම්සීසී.) ප්‍රදානයක් අහිමි වීමේ අවදානමක් ඇත. එම්.සී.සී. ප්‍රදානය, ශ්‍රී ලංකාවට මෙතෙක් තනි මූලාශ්‍රයකින් සැපයෙන විශාලතම ප්‍රදානය වන අතර රටේ ආර්ථික වර්ධනයට ඇති සමහර සංරෝධකයන් නිරාකරණය කිරීමට වටිනා අවස්ථාවක් ලබා දේ.

ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ප්‍රතිචාරයක් ලෙස මේ ප්‍රදානය පිරිනැමීමට නියමිතව තිබියදීත්, පවතින දේශපාලනික දුෂ්කෘතිය හේතුවෙන් රජය අවසන් ගිවිසුමට අත්සන් කිරීමට අපොහොසත් වී තිබේ. කැබිනට් අනුමැතිය නොලැබුණේ නම් සහ සැප්තැම්බර් 18 වන දින එම්.සී.සී. මණ්ඩල රැස්වීමට පෙර එකඟතාව අත්සන් කිරීමට අපොහොසත් වුවහොත් ශ්‍රී ලංකාවට මේ ප්‍රදානය අහිමිවීමේ අවදානමට ලක්ව ඇත.

එම්සීසී එකඟතාව යනු කුමක්ද?

එම්සීසී එකඟතාව යනු එක්සත් ජනපද රජයේ විදේශ ආධාර ඒජන්සියක් වන මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් විසින් අරමුදල් සපයනු ලබන ප්‍රදානයකි. එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සහ එක්සත් ජනපද භාණ්ඩාගාරයේ ප්‍රධානීන් එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටියද, එම්.සී.සී. ස්වාධීනව වෙනම ආයතනයක් ලෙස ක්‍රියාත්මක වේ. යහපාලනය සඳහා කැපවීම, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය සහ ආර්ථික නිදහස සඳහා ආයෝජනය කිරීම ඇතුළු විවිධ නිර්ණායකයන් මත රටවල් තෝරා ගැනීම සඳහා ආධාර ඒජන්සිය තරගකාරී ක්‍රියාවලියක් භාවිතා කරයි. සුදුසුකම් ලත් රටවල්, ලෝක බැංකුවේ වර්ගීකරණයට අනුව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටවල්වලට පමණක් සීමා වේ.

2017 දී ශ්‍රී ලංකා රජය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට ප්‍රතිචාර වශයෙන් ශ්‍රී ලංකාවට වසර 5 ක අමෙරිකානු ඩොලර් මිලියන 480ක් ප්‍රදානය කර තිබේ. තෝරාගත් රටවල් ආර්ථික වර්ධනය සඳහා ඇති බාධක හඳුනා ගැනීම සඳහා සංරෝධක විශ්ලේෂණ අධ්‍යයනයකට යටත් කෙරේ. ශ්‍රී ලංකාවේ අධ්‍යයනය මෙහෙයවනු ලැබුවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සංවර්ධනය පිළිබඳ මධ්‍යස්ථානයේ සහ එම්.සී.සී හි සහාය ඇතිව ශ්‍රී ලංකා රජය විසිනි.

හඳුනාගත් සංරෝධක මත පදනම්ව, සංයුක්තය සිය අරමුදල් මගින් වර්ධනය සඳහා වන තීරණාත්මක බාධක දෙකක් විසඳීමට උත්සාහ කරයි. (1) ප්‍රමාණවත් නොවන ප්‍රවාහන යටිතල පහසුකම් සහ සැලසුම්: සහ (2) කෘෂිකර්මාන්තය, සේවා අංශය සහ කාර්මික ආයෝජකයන්ට ඉඩම් සඳහා ප්‍රවේශය නොමැතිකම:

ප්‍රවාහන ව්‍යාපෘතිය මගින් කොළඹ අගනගරයේ බස් පද්ධති නවීකරණය කිරීමට සහ වඩා හොඳ රථවාහන කළමනාකරණයකින් මාර්ග ජාලවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. ප්‍රවාහන වියදම් අඩු කිරීමට සහ රටේ මධ්‍යම කලාපය සහ දිවයිනේ සෙසු ප්‍රදේශවල වරාය සහ වෙළෙඳපොළ අතර සංචලතාව ඉහළ නැංවීමටද මේ ව්‍යාපෘතිය මගින් කටයුතු කරයි. ඉඩම් ව්‍යාපෘතිය ඉඩම් සඳහා ප්‍රවේශය වැඩි දියුණු කිරීමට සහ ඉඩම් තක්සේරුකරණ පද්ධති වැඩිදියුණු කිරීමට උත්සාහ කරයි. ජාතික ඔප්පු ලේඛනය ඩිජිටල්කරණය කිරීම සහ රටේ ඉඩම්වල නෛතික පාලනය ශක්තිමත් කිරීම කෙරෙහි ද මේ ව්‍යාපෘතිය අවධානය යොමු කරනු ඇත.

විරෝධතාවයේ ස්වභාවය

ගිවිසුමට එරෙහි විරෝධතාව වැඩි වශයෙන් කේන්ද්‍රගත වී ඇත්තේ බාහිර භූදේශපාලනික අභිප්‍රායන් පිළිබඳ සහ ශ්‍රී ලංකාවේ ජාතික ස්වෛරීභාවයට ඇති තර්ජන කෙරෙහි පවතින බිය මතය. එම්.සී.සී පිළිබඳ අතිශයෝක්තිය, අත්පත් කර ගැනීම සහ හරස් සේවා ගිවිසුම (ඒසීඑස්ඒ) සහ බළකායන් ස්ථානගත කිරීමේ ගිවිසුම (සෝෆා) අලුත් කිරීම සම්බන්ධ කතිකාව සමඟ ද බැඳී පවතී. කෙසේ වෙතත්, එම්.සී.සී. ස්වාධීන සංවර්ධන නියෝජිතායතනයක් බවත්, ශ්‍රී ලංකා සංයුක්තය මිලිටරි ගිවිසුම් හා සම්බන්ධ නැති බවත් එම්.සී.සී ප්‍රකාශක වරුන් විසින් පැහැදිලිවම තහවුරු කර ඇත. ශ්‍රී ලංකා සංයුක්තයට ඔවුන් අතර ඇති සම්බන්ධතාව අවම කිරීම සඳහා එක්සත් ජනපද රජය විසින් මේ මිලිටරි ගිවිසුම් දෙක එතැන් සිට අත්හිටුවා ඇත.

මේ ව්‍යාපෘති හරහා එක්සත් ජනපද රජයට ඉඩම් අත්පත් කර ගැනීම සහ ශ්‍රී ලංකා භූමියේ හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා වන රහසිගත මෙහෙයුම් පිළිබඳව ද බියක් මතු වී ඇති අතර, ඉදිරි මැතිවරණයට පෙර එකඟතාව අනුමත කිරීමට කැබිනට් මණ්ඩලයේ කැමැත්තට එය බාධාවක් වී ඇත. ඉඩම් ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රසිද්ධියේ ලබාගත හැකි තොරතුරුවලට අනුව (එය මුළු ප්‍රදාන අයවැයෙන් 14% ක් පමණක් නියෝජනය කරයි) විධිනියෝගය අපේක්ෂා කරන්නේ හුදෙක් රජයේ පරිපාලන ධාරිතාව ශක්තිමත් කිරීමට සහ තාක්‍ෂණික වැඩිදියුණු කිරීම්වලට සහාය වීමටය. ප්‍රදානයේ විශාල කොටස (අමෙරිකානු ඩොලර් මිලියන 350ක ප්‍රවාහන ව්‍යාපෘතිය) පොදු ප්‍රවාහන යටිතල පහසුකම් ප්‍රශස්තීකරණය කෙරෙහි අවධානය යොමු කර ඇත. මේ ව්‍යාපෘති ශ්‍රී ලංකා රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිතය. මතු වී ඇති බිය පිළිබඳ කිසිදු යථාර්ථික පදනමක් ඇති බවක් නොපෙනේ.

රට මැතිවරණයකට ආසන්න බැවින්, නව ජනවරමක් ඇති ජනාධිපතිවරයෙකුට එම්.සී.සී. පිළිබඳ අවසන් තීරණය ගැනීමට ඉඩ දිය යුතුය යන තර්කය නිසැකවම යෝග්‍ය වේ. නමුත් සැප්තැම්බර් කාලසීමාව අනුව, මෙය ශ්‍රී ලංකාවට බලා සිටීමට කාලයක් නොමැති විය හැක.

බලය පවරන එක්සත් ජනපද ප්‍රඥප්තිය විසින් සංවර්ධන ව්‍යාපෘති සඳහා අඩු ආදායම්ලාභී සහ පහළ මධ්‍යම ආදායම් ලබන රටවලට අරමුදල් සැපයීමට පමණක් ඉඩදී ඇති අතර, ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් බවට පරිවර්තනය වී ඇති හෙයින් මේ ඒම්.සී.සී ප්‍රදානය ප්‍රාග්ධනීකරණය කරගැනීමට ඇති අවස්ථාව අහිමි වී යා හැකිය. එම්.සී.සී. සැප්තැම්බර් මාසයේ දී මණ්ඩලය රැස්වූ විට, ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස රට වර්ගීකරණය කිරීමේ පදනම මත ප්‍රදානය සඳහා ශ්‍රී ලංකාව නුසුදුසුයැයි කල්පනය කළ හැකි බවට ඒම්.සී.සී.ය ශ්‍රී ලංකා රජයට දැනුම් දී තිබේ.

මේ කාලසීමාව සැලකිල්ලට ගෙන, සැප්තැම්බර් 18 වන දින මණ්ඩල රැස්වීමට පෙර කැබිනට් මණ්ඩලය විසින් ප්‍රදානය පිළිබඳ අවසන් කැඳවීමක් කිරීම හදිසි කාරණයකි.

අපට එය අවශ්‍ය වන්නේ ඇයි?

පසුගිය දශකයේ ශ්‍රී ලංකාවේ සංවර්ධනයට බොහෝ සෙයින් ධාවක වී ඇත්තේ රජය විසින් විශාල ලෙස වියදම් කිරීමෙනි. කෙසේ වෙතත්, දුර්වල බදු ආදායම (2018 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.8%), ඉහළ අයවැය හිඟයන් (2018 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 5.3%1) සහ දැවැන්ත ණය (සමස්ත රජයේ ණය 2018 දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 82.8% ක්2 විය) සමඟ වර්ධනය සඳහා රජයේ වියදම් මත දිගින් දිගටම යැපීම තිරසාර නොවන තත්ත්වයට පත්වී තිබේ. ශ්‍රී ලංකාවේ මූල්‍ය මූලාශ්‍ර අතළොස්සක් වෙතින් ඉහළ ණය සංකේන්ද්‍රනයක් පැවතීම හේතුවෙන් බාහිර කම්පන සහ දුර්වල ජාතික සාර්ව ආර්ථික කළමනාකරණයට සහජයෙන්ම අවදානමට ලක්ව ඇත. 2018 දී, ශ්‍රී ලංකාවේ ණය ගැනීම්වලින් අඩක් පමණ පෞද්ගලික ප්‍රාග්ධන වෙළෙඳපොළවලින් ලබා ගත් අතර, 2018 දී ලබා ගත් මුළු ණයවලින් තුනෙන් එකක් පමණ චීනයෙන් පැමිණේ. මෙය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ විදේශ ප්‍රතිපත්ති ස්ථාවරය යන දෙකටම දැඩි අස්ථායී ඇඟවීම් දක්වයි.

එම්.සී.සී. ප්‍රදානයට මේ ගැටලු දෙකටම විසඳුම් සැපයිය හැකිය. ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, සංවර්ධන මූල්‍ය ප්‍රභවයන් විවිධාංගීකරණය කරන අතරම ඉඩම් පරිපාලනය සහ අභ්‍යන්තර සංචලතා විකල්පයන් වැඩිදියුණු කිරීම සඳහා අත්‍යවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කරයි. අසමාන සංවර්ධනය හා අවුල් සහගත ඉඩම් පරිපාලනය ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය පවත්වාගෙන යාමට විශාල බාධාවක් වී තිබේ.

අවසන් පිරිවැය-ප්‍රතිලාභ විශ්ලේෂණයේ දී සහ ප්‍රසිද්ධියේ ලබා ගත හැකි තොරතුරු මත පදනම්ව, සංයුක්තය ආකර්ශනීය සංවර්ධන අවස්ථාවක් ඉදිරිපත් කරන බව පෙනේ. එම්.සී.සී. යනු ප්‍රදානයක් මිස ණයක් නොවන අතර එබැවින් ආපසු ගෙවීම අවශ්‍ය නොවන බව සැලකිල්ලට ගැනීම වැදගත්ය. නියමිත වේලාවට එකඟතාව අත්සන් කිරීමට රජය අපොහොසත් වුවහොත් සහ ව්‍යාපෘති තනියෙන් කිරීමට ගැනීමට උත්සාහ කරන්නේ නම්, එයට අවශ්‍ය අරමුදල් වෙනත් බාහිර ප්‍රභවයකින් ණයට ගැනීම අවශ්‍ය වේ.

මේ වසර මුලදී රජය විසින් අමෙරිකානු ඩොලර් බිලියන 1ක ජාත්‍යන්තර බැඳුම්කර වාර්ෂිකව 6.85% ක පොලී අනුපාතයකට නිකුත් කරන ලදී. අනාගත ණය ගැනීම් මෙයට සමාන තත්ත්වයන් යටතේ සිදුවෙතැයි අපට උපකල්පනය කළ හැක. මෙයින් අදහස් කරන්නේ රජය ණය මුදල ආපසු ගෙවීම පමණක් නොව, ශ්‍රී ලංකාවේ දැනටමත් වර්ධනය වෙමින් පවතින ණය තත්ත්වය වැඩි කරමින් ඒ සඳහා සැලකිය යුතු පොලියක් ද ගෙවීමට සිදුවන බවයි.

ප්‍රදානයට එරෙහිව තර්ක කිරීමට බලාපොරොත්තු වන්නන්, ඔවුන්ගේ තර්ක අප විසින් බැරෑරුම් ලෙස සැලකිය යුතුයැයි සිතනවා නම් අදාළ ලියකියවිලි කියවා බලා නිසි සාක්ෂි සැපයිය යුතුය. මේ අවස්ථාවේදී, රජය විසින් සැප්තැම්බර් 18 ට පෙර එකඟතාව අත්සන් නොකිරීමට තීරණය කරන්නේ නම්, එය ජාතික ණය බර වැඩි කිරීමට මෙන්ම අත්‍යවශ්‍ය සංවර්ධනය ප්‍රමාද කිරීම තෝරා ගැනීමේ අවදානම දරා සිටී. එවැනි තේරීමක් පදනම් විය යුත්තේ හොඳ තර්කන සහ සාක්ෂි මතය. එය පුද්ගල ගැටුම්, නිරර්ථක බිය පතුවන්නන් හෝ සුළු දේශපාලනය නිසාවෙන් නොවිය යුතුය.

නව අදහස දක්වන්න