‘බාර්’ ලයිසන් | දිනමිණ

‘බාර්’ ලයිසන්

යහපාලන ආණ්ඩුව කිසිදු මන්ත්‍රීවරයකුට “මත්පැන් බලපත්‍ර” ලබාදී නැතැ’යි සභානායකවරයා පාර්ලිමේන්තුවේදී කියා සිටී. සභානායක කිරිඇල්ල මහතා මේ ප්‍රකාශය සිදු කළේ මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විමසූ ප්‍රශ්නයකට පිළිතුරක් ලබාදෙමින් ය. මත්පැන් අලෙවිය සඳහා පුද්ගලයන්ට ලබාදෙන බලපත්‍රය මහජනයා අතර වඩාත් ප්‍රකටව ඇත්තේ “බාර් ලයිසන්” ලෙස ය. බාර් ලයිසන් යනු සල්ලි උල්පතක් බවද එහෙත් එය සමාජය විනාශ කිරීමට ලබාදෙන ලයිසන් එකක් බවද මහජනයා දනිති. කිරිඇල්ල මහතා තවදුරටත් සිය ප්‍රකාශයෙහි ලා සඳහන් කළේ පසුගිය ආණ්ඩුව මහනුවර පළාතේ මන්ත්‍රීවරයකුට බාර් ලයිසන් පහළොවක් ලබාදී තිබුණු බව ය. ආණ්ඩු දෙකෙහි වෙනස එයින් පැහැදිලි වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වා සියලු මහජන නියෝජිතයන් අතර බාර් ලයිසන් සඳහා බලවත් ඉල්ලුමක් පැවැති සමයක් තිබිණි. ඇතැම් මහජන නියෝජියෝ එක බාර් ලයිසමක් නොව; බාර් ලයිසන් කිහිපයක් ලබාගෙන ඒවා සල්ලි බවට පත් කර ගත්හ. සමහරු ලයිසම වැඩි ගණනකට විකුණා දැමූහ. තව සමහරු නියෝජිතයන් යොදවා ඒවා පවත්වාගෙන ගියහ. තවත් සමහරු ලයිසම හිතවත් ව්‍යාපාරිකයන්ට ලබාදී එයින් වාසි ලබා ගත්හ. පවත්වා ගැනීමේ ආකාරය කුමක් වුව එහි අවසන් ප්‍රතිඵලය සල්ලි ලබා ගැනීමය. මන්ත්‍රීවරු මත්පැන් මගින් සිදුවන සමාජ විනාශය ගැන කල්පනා කරන බවක් පෙනෙන්නට නොතිබිණි. යහපාලන ආණ්ඩුව නිසා එම තත්ත්වය යම් පමණකින් වෙනස් වී ඇති බව පෙනෙන්නට තිබේ.

යහපාලන ආණ්ඩුව මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය කිරීම සඳහා ද මත්පැන් හා දුම්වැටි භාවිතය පාලනය කිරීම සඳහා ද වැදගත් පියවර රැසක් ගෙන ඇති බව රහසක් නොවේ. මේ මත්ද්‍රව්‍ය ජාවාරම මර්දනය සඳහා ජනාධිපතිවරයා ගෙන යන වැඩසටහන ඒ අතර කැපී පෙනෙයි. හිරගෙදර සිට මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන පුද්ගලයන්ට මරණ දඬුවම ලබාදිය යුතු යැයි යෝජනාවක් ද මේ අතර තිබිණි. සමාජය මරණ දඬුවමට අකමැති වුව ඉහත යෝජනාව ගැන කැමැත්ත පළ කර තිබිණි. එයින් පෙනී යන්නේ මතට එරෙහිව ප්‍රබල ජන මතයක් සමාජය තුළ ඇති බව ය. මත්ද්‍රව්‍යවලට පමණක් නොව; මත්පැන්වලට හා දුම්වැටිවලට එරෙහිව ද ජන මතයක් පවතී. මත්පැන් අලෙවිය දුර්වල කරන පියවර කිහිපයක් ද වත්මන් ආණ්ඩුව ගෙන තිබිණි.

නීත්‍යානුකූල ලෙස මත්පැන් නිෂ්පාදනය, බෙදා හැරීම හා අලෙවිය එක අතෙකින් පවතී. ඉන් රජයට යම් ආදායමක් ද ලැබෙයි. නීත්‍යානුකූල නොවන හොර මත්පැන් නිෂ්පාදනය, බෙදාහැරීම හා අලෙවිය තව අතෙකින් පවතී. දුම්වැටි ද නීතියට පිටින් ගෙන්වා අලෙවි කරන ජාවාරමක් පවතී. බො‍හෝවිට මේවා සිදුවන්නේ දේශපාලකයන්ගේ ද අනුග්‍රහය මත ය. දේශපාලන බලයකින් තොරව හොර මත්පැන් හෝ හොර දුම්වැටි හෝ අලෙවි කිරීම දුෂ්කර ය. ඇතැම්විට පොලිසියේ සහයෝගය ද ඊට ලැබෙයි. යහපාලන ආණ්ඩුව යටතේ මේවා යම්දුරකට හෝ පාලනය වී ඇති බව පිළිගත හැකි ය. හොර මත්පැන් වැටලීම සඳහා නිතිපතා මෙහෙයුම් සිදු කළේ වත්මන් ආණ්ඩුව බව කිව යුතු ය. ජනාධිපතිවරයා වරක් කියා සිටියේ කිසියම් ගමක - නගරයක හොර මත්පැන් ඇතොත් ප්‍රදේශය භාර පොලිසිය ඊට වගකිවයුතු බව ය.

හොර මත්පැන් නිෂ්පාදනයට පමණක් නොව; මත්ද්‍රව්‍ය බෙදාහැරීමට ද ප්‍රාදේශීය දේශපාලන නායකයන් සම්බන්ධ බව පෙනී ගොස් ඇති සත්‍යයෙකි. එය පාලනය කිරීමට ආණ්ඩුව සමත් වී ඇත. රටේ ඉහළම නායකයන්ගේ ආශිර්වාදය මත දූෂණ ක්‍රියාවල යෙදෙන ප්‍රාදේශීය දේශපාලන නායකයන් සිටි යුගයක් තිබිණි. වත්මන් ආණ්ඩුව ඒ ක්‍රමය වෙනස් කෙළේය. රටේ වත්මන් නායකයන් කිසිදු දුෂණ ක්‍රියාවක් අනුමත නොකරන අතර බලපෑමකින් තොරව නීතිය ක්‍රියාත්මක වීමට ඉඩ ලබාදී තිබේ. නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමත් ශිෂ්ට සම්පන්න සමාජයක් බිහිකිරීමත් යහපාලන ආණ්ඩුවේ මහජන පොරොන්දු අතර තිබිණි. එය සියයට - සියයක් ඉටු වී නැතත් සතුටුදායක තත්ත්වයක් දකින්නට ලැබේ.

ස්ත්‍රීන් සියයක් දුෂ්‍ය කොට ඒ සඳහා සැමරුම් උත්සව පවත්වන ප්‍රාදේශීය නායකයන් අද නැත. වි‍දේශීය කතුන් දූෂ්‍ය කොට ඔවුන්ගේ පෙම්වතුන් මරා දමන ප්‍රාදේශීය නායකයන් ද අද නැත. කුමන මහජන නියෝජිතයා වුව වරදක් කළොත් ඔහු හෝ ඇය හෝ නීතිය හමුවට ගෙන යන ක්‍රමයක් අද ක්‍රියාත්මක වෙයි. ප්‍රාදේශීය දේශපාලකයන්ට පොලීසියෙන් ලැබුණු අනුග්‍රහය හා සහයෝගය ද නැවතී ඇත. ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ වාහන පවා සෝදිසි කරන තැනකට පොලිසිය පත් ව සිටී. එය යහපත් ප්‍රවණතාවකි. ගමේ හා නගරයේ සිදුවන දූෂිත ක්‍රියා වැළැක්වීමට නම් දේශපාලනය හා පොලීසිය අතර පවත්නා සම්බන්ධය බිඳ දැමිය යුතුය. වත්මන් ආණ්ඩුව එය ඉටුකර තිබේ.

ගමේ හා නගරයේ වෙළෙඳ පොළ දෙස බලනවිට පෙනී යන්නේ නව මත්පැන්ශාලා බිහිවීම අඩුවී ඇති බව ය. දුම්වැටි භාවිතය සැලැකිය යුතු ප්‍රමාණයකින් අඩුවී ඇති බව සෞඛ්‍ය අංශ කියා සිටී. මත්පැන් භාවිතයෙහි වැඩිවීමක් බැලූ බැල්මට පෙනෙන්නට නැත. එහෙත් හොර මත්පැන් පිළිබඳ ප්‍රවෘත්ති වරින් - වර ප්‍රකාශයට පත්වෙයි. මීරිගම ප්‍රදේශයේ හොර මත්පැන් නිෂ්පාදකයකුගේ කසිප්පු පානය කළ කිහිප දෙනෙක් මිය ගියහ. සිද්ධිය විමර්ශනය කරන විට පෙනී ගියේ ඔහු පොලිසියේ ද සහයෝගය මත තම වෙළෙඳාම කරගෙන ගොස් ඇති බව ය. හොර මත්පැන් නිෂ්පාදකයාට එරෙහිව ද අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක වෙමින් පවතී. මෙය යහපත් වෙනසක් බව සඳහන් කළ යුතුව තිබේ.

යහපාලන ආණ්ඩුව කිසිදු මන්ත්‍රීවරයකුට “බාර් ලයිසන්” නොදුන්නා පමණක් නොව; මත්ද්‍රව්‍ය, මත්පැන් හා දුම්වැටි භාවිතය පාලනය කිරීම සඳහා ද පියවර ගෙන ඇති බව පැහැදිලිය. මත්ද්‍රව්‍ය ජාවාරම වැළැක්වීම සඳහා රජය ගෙන යන පියවර සම්බන්ධයෙන් විශාල මහජන ප්‍රසාදයක් පවතී. මත්පැන් හා දුම්වැටි භාවිතය ද මුළුමනින් ම වැළැක්වීම අපහසු ය. මිනිස් අයිතියක් ලෙස ද මත්පැන් හා දුම්වැටි භාවිතය පවතී. එහෙත් එය පාලනය කළ හැකි ය. මන්ත්‍රීවරුන්ට පමණක් නොව; කිසිදු පුද්ගලයකුට අලුතින් “බාර් ලයිසන්” නොදෙන තැනකට රජය යා යුතු ය.

නව අදහස දක්වන්න