අවසන් විස්සයි20 දී ශ්‍රී ලංකා පිල සැනසුම් ජයක් සොයයි | දිනමිණ

අවසන් විස්සයි20 දී ශ්‍රී ලංකා පිල සැනසුම් ජයක් සොයයි

නවසීලන්තය හමුවේ දැනටමත් තරග 2-0කින් පරාජයට පත්වූවත් අවසන් විස්සයි20 තරගය ජයග්‍රහණයකින් නිමා කරගැනීමේ අරමුණ ඇතිව ශ්‍රී ලංකා කණ්ඩායම අද (6) පල්ලෙකැලේ තරග බිමට පිවිසෙයි. පසුගිය තරග 2දිම කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල එම තරග 2ම පරාජයට පත්වූයේ පිළිවෙළින් කඩුලු 5කින් සහ කඩුලු 4කිනි.

එසේ වුවත් සිය තරුණ ක්‍රීඩකයන්ට තවමත් ඔවුන්ගේ අභිමතය පරිදි නිදහසේ ක්‍රීඩා කිරීමේ අවස්ථාව උදා කර දීම නායක ලසිත් මාලිංගගේ බලාපොරොත්තු වී ඇත්තේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගමාලාවට දස්කම් මුවහත් කරගැනීමේ පසුබිම සකස් කර දීමටය.

ශ්‍රී ලංකා පිලේ නායකයා පරාජයට පත්වූ තරග 2දිම සිය යොවුන් ක්‍රීඩකයන් දැක්වූ දස්කම් ඇගැයිමට ලක් කළත්, තරග 2දිම හිස් අතින් ආපසු නිවෙස් කරා ගිය දහස් සංඛ්‍යාත ක්‍රීඩා ලෝලින් බලා සිටින්නේ අද තරගයේදිත් කාසියේ වාසිය දිනා ගතහොත් මාලිංග කුමක් කරනු ඇතිදැයි කියාය. කෙසේවෙතත් පරාජයට පත්වූ තරග 2ම අවසන් ඕවරය දක්වා ඇදගෙන යාමට ශ්‍රී ලංකා පිලේ පන්දු යවන්නන් සමත්වීම නිසා අද තරගය ජයග්‍රහණයෙන් කෙළවර කරගැනීමට ශ්‍රී ලංකා පිල සමත්වනු ඇතැයි කාගෙත් බලාපොරොත්තුව වී තිබේ. තරග 2දිම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ කුසල් මෙන්ඩිස් දෙවැනි තරගයේ නිමාවේදි අවාසනාවන්ත ලෙස අනතුරකට මුහුණදීම නිසා අද තරගයේ දි ඉනිම ආරම්භ කිරීමට සංචිතයේ සිටින ධනුෂ්ක ගුණතිලකට අවස්ථාව ලැබීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ.

ජයග්‍රහණය සඳහා අවසන් පන්දු 4ට ලකුණු 7ක් අවශ්‍ය වී තිබුණු මොහොතේ වනිඳු හසරංගගේ පන්දුවකට මිචෙල් සැන්ට්නර් ඉහළින් එල්ල කළ පහර උඩපන්දුවක් ලෙස රැකගත් ශෙහාන් ජයසූරියගේ සිරුරේ ගැටීම නිසා කුසල් මෙන්ඩිස් මෙන්ම ජයසූරිය ද තුවාල ලබා අද තරගය අහිමි කරගත්හ.

ජයසූරියගේ පාදයේ තැලීමක් සිදුවී ඇති අතර පාදයේම ආබාධයකට ලක්වූ කුසල් මෙන්ඩිස් වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹට රැගෙන ආ බව ඊයේ ශ්‍රී ලංකා පිලේ කළමනාකරු අසන්ත ද මෙල් කියා සිටියේය.මේ දෙදෙනා වෙනුවට අතිරේක ක්‍රීඩකයන් සංචිතයට ඇතුළත් නොවන බවත් සංචිතයේ දැනට සිටින ක්‍රීඩකයන් ආදේශ කරන බවත් අසන්ත වැඩි දුරටත් පැවැසීය.

කාසියේ වාසිය කෙසේ වෙතත් ශ්‍රී ලංකා පිලේ පන්දු රැකීමේ දුර්වලතා මග හරවා ගැනීමට අද තරගයේදි හැකිවන්නේ නම් නවසීලන්තයට දැඩි අභියෝගයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිල සමත්වනු ඇත.

නවසීලන්ත කණ්ඩායමේ ද තුවාලකරුවන් වැඩිවී තිබේ. අතක ඇඟිල්ලක් බිඳ ගැනීම නිසා ආරම්භයේදිම විස්සයි20 තරගාවලියෙන් ඉවත්වීමට නවසීලන්ත පි‍ලේ ලොකී ෆර්ගියුසන්ට සිදුවූ අතර පළමු තරගයේදි ජයග්‍රහණයට උරදුන් රොස් ටේලර් ආබාධයක් නිසා දෙවැනි තරගයට ක්‍රීඩා නොකළේය. එසේ වුවත් ඔහු අද තරගයට එක්වනු ඇතැයි වාර්තා වෙයි. දෙවැනි තරගයේ පන්දු රකිමින් සිටි අවස්ථාවේ මාටින් ගප්ටිල්ගේ උදරයේ මස්පිඩු පෙරළීමක් සිදුවීමෙන් ඔහු පිතිහරඹයට නොපැමිණි අතර අද තරගයට ද ක්‍රීඩා නොකරන බව වාර්තා වෙයි.

තරග 3-0කින් විස්සයි20 තරගාවලිය ජයගෙන සාර්ථකව ශ්‍රී ලංකා සංචාරය නිමා කිරීමට නවසීලන්ත පිලේ නායක ටිම් සවුති බලාපොරොත්තු වෙද්දී විස්සයි20 ජාත්‍යන්තර තරග බිමේ කඩුලු සියයක් දවාලූ ලොව පළමු පන්දු යවන්නා වීමට තවත් එක් කඩුල්ලක් පමණක් අවශ්‍ය වී සිටින ශ්‍රී ලංකා පිලේ නායක ලසිත් මාලිංග ඒ කඩඉම සම්පූර්ණ කරමින් තරගය ජයග්‍රහණයෙන් නිමා කරගැනීමේ අභිලාෂයෙන් පසුවෙයි.

නව අදහස දක්වන්න