දියමත පාවෙන ගලක් බදුලු ඔයේ | දිනමිණ

දියමත පාවෙන ගලක් බදුලු ඔයේ

දියනාන්න ගිය හිමිනමකට හමුවෙයි

බදුලු ඔයේ දිය නෑමට ගොස් ආපසු වැඩම කරමින් සිටි තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානයේ වැඩවෙ‍ෙසන සාමණේර ස්වාමීන්වහන්සේ පිරිසකට පන්සල් වත්තට යාබදව පිහිටි ඔය ඉවුරේ තිබී සැහැල්ලු බරකින් යුත් විශාල ගල් ගෙඩියක් හමුවී තිබේ. සැහැල්ලු බරකින් යුත් විශාල ගල් ගෙඩියක් වන මෙය ජලයේ පාවෙන බව තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරාධිපති තල්දෙන ධම්මවංස හිමියෝ පැවැසූහ.

මතුපිට කඩතොලු සහිත, කලු පැහැයෙන් යුත් මේ ගල කිලෝග්‍රෑම් දෙකක පමණ බරින් යුතු බවද විහාරාධිපති හිමියෝ පවසති. ගලෙහි ප්‍රමාණයට සරිලන බරකින් යුක්ත නොවීම නිසා කුඩා සාමණේර හිමිවරු පිරිසක් ගල රැගෙන විහාරස්ථානය අසල පිහිටි පොකුණට දමා ඇති අතර එම ගල ජලය මත පා වෙන්නට පටන් ගෙන ඇත. ජලයේ පාවෙන මෙම අපූරු ගල දැක බලා ගැනීම සඳහා ප්‍රදේශයේ දායක දායිකාවෝ විහාරස්ථානය වෙත පැමිණෙන්නට පටන් ගෙන ඇතැයි ද නායක හිමියෝ පැවසූහ .

මෙය කුමන වර්ගයේ ගලක් දැයි තමුන් හරිහැටි නොදන්නා නමුත් මෙහි කිසියම් අපූර්වත්වයක් ගැබ්වී ඇති බව තමුන්ට හැගී යන බවද ඒ සම්බන්ධයෙන්යෙන් කිසියම් පරීක්ෂණයක් සිදු කරන්නේ නම් ඊට සහාය දක්වන බවද විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පැවැසූහ. තල්දෙන ශ්‍රී බෝධිරාජාරාම විහාරස්ථානය පිහිටි ස්ථානයේ මීට වසර දෙකකට පමණ පෙරද ඉමක් කොනක් නොපෙනෙන විශාල උමගක් මතු වූ බවත් විහාරසථානය පිහිටි ප්‍රදේශයේ අතීත රජ මාළිගාවක් තිබූ බව ජනප්‍රවාදවල සඳහන්ව ඇති බවත් විහාරාධිපති හිමියෝ වැඩිදුරටත් පැවසූහ.

මීගහකිවුල සමූහ එන්. නවරත්න

නව අදහස දක්වන්න