පූජිත් ජයසුන්දර ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශය ඉවත් කිරීමට පියවර ගන්න | දිනමිණ

පූජිත් ජයසුන්දර ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශය ඉවත් කිරීමට පියවර ගන්න

නෙල්කා මැදගෙදර

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව අසත්‍ය සහ පදනම් විරහිත කරුණු ඉදිරිපත් කරමින් තමා ඇතුළු කිහිපදෙනෙකුට අපරාධ චෝදනා එල්ල කරමින් ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශය ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පෙරේදා(04) ඉල්ලා සිටියේය.

ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කරමින් තමා ඇතුළු වගකිවයුතු පුද්ගලයන්ට අපරාධ චෝදනා එල්ල කරමින් මේ දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය දේශපාලන වේදිකාවක් නොවන බැවින් මෙවැනි උත්සාහයන්ට ඉඩදිය යුතු නැතැයි සඳහන් කළේය.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවකු වන අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඉදිරිපත් කළ දිවුරුම් ප්‍රකාශය සහ එහි ඇතුළත් කරුණු සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් නීතිපතිවරයා මේ බව කීය.

මේ පෙත්සම් සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා මේ විරෝධතාව පළ කළේය.

එම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා, අගමැතිවරයා, නීතිපතිවරයා, රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන ඇතුළු පිරිසක් එක්වී තමා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීමට කුමන්ත්‍රණය කර ඇති බවට පූජිත් ජයසුන්දර කරුණු ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. නීතිපතිවරයා ලෙස තමන්ට මෙමගින් එල්ල කර ඇත්තේ බරපතළ චෝදනාවක් බවට පෙන්වා දුන් නීතිපතිවරයා තමන් අපක්ෂපාති ස්වාධීන නිලධාරියෙක් බව පෙන්වා දුන්නේය.

මේ දිවුරුම් ප්‍රකාශය ශ්‍රේෂ්ඨාධිකරණ රීති අංක 51 උල්ලංඝනය කරමින් ඉදිරිපත් කර තිබෙන අතර එවැන්නක් ඉදිරිපත් කිරීමට නීති උපදෙස් දුන් නීතිඥ විරාන් කොරයා ද ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝනය කර ඇති අතර ඔහුට එරෙහිවද තමා නීතිමය පියවර ගන්නා බව හෙතෙම සඳහන් කෙළේය.

 

නව අදහස දක්වන්න