විජයදාස රාජපක්ෂ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් කතා කරන චරිතයක් | දිනමිණ

විජයදාස රාජපක්ෂ යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් කතා කරන චරිතයක්

රක්ෂණ ශ්‍රියන්ත

විජයදාස රාජපක්ෂ මහතාගේ චින්තනය රට-දැය-සම්බුද්ධ ශාසනය වෙනුවෙන් අර්ථවත්ව යොදවනවා 
- අනුනායක නියංගොඩ

විජිතසිරි නාහිමි සාහිත්‍යයෙන් ලබන පෝෂණය ජනතාවට-රටට ආදරය කරන දේශපාලනඥයෙක් නිර්මාණය වීමට ඉවහල් වෙනවා 
- ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ

විවිධ ක්ෂේත්‍ර පිළිබඳ පුළුල් අවබෝධයක්, පරිණතභාවයක් හා බහුශ්‍රැතභාවයක් විජයදාස රාජපක්ෂ මහතාට තිබෙන බවත්, ඒ මහතා සාහිත්‍යධරයෙක්, කලාකරුවෙක්, ලේඛකයෙක්, දේශපාලනඥයෙක්, නීතිඥවරයෙක්, හොඳ විවේචකයෙක්, හොඳ විචාරකයෙක් ඇතුළු සියලු ගුණාංගවලින් පරිපූර්ණ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව පැවැසුවේ පෙරේදා (04) පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා විසින් රචිත ග්‍රන්ථ ත්‍රිත්වය සහ සංයුක්ත තැටි ද්විත්වය ‘පන්හිඳක විප්ලවය‘ ජනගත කිරීමේ අභිමානවත් උළෙල බණ්ඩාරනායක ජාත්‍යන්තර අණුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති අවස්ථාවේදීය.

ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා මෙහි දී ග්‍රන්ථ ත්‍රිත්වය සහ සංයුක්ත තැටි ද්විත්වය ජනාධිපතිවරයා ඇතුළු සම්භාවනීය අමුත්තන් වෙත පිළි ගැන්වීම සිදු කෙරිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය.

මගේ හිතවතෙක් විදියට ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් රචිත ග්‍රන්ථ කිහිපයක් එළි දක්වන අවස්ථාවට ඒ මහතාත් ඔබත් සමඟ එක්වීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. විජයදාස රාජපක්ෂ මහතා මා ඇසුරු කරන්නේ දීර්ඝ කාලයක සිට. ඒ වගේම මේ රටේ දේශපාලන සම්බන්ධතා තිබෙන අය ඇසුරු කරන විට ඒ ඇසුරේ බොහෝ අඩුවෙන් දකින චරිතවලින් එකක් තමයි ආචාර්ය විජයදාස රාජපක්ෂ. එසේ කියන්නේ විවිධ විෂයයන් හරහා පුළුල් අවබෝධයක්, දැනුමක්, අත්දැකීමක්, පරිනතභාවයක් සහ බහුශ්‍රැතභාවයක් විජයදාස රාජපක්ෂ මහතාට තිබෙනවා. සාහිත්‍යධරයෙක් කලාකරුවෙක්, ලේඛකයෙක්, දේශපාලනඥයෙක්, නීතිඥවරයෙක් ලෙසත් ඔහුව හඳුන්වන්න පුළුවන්.

ඒ වගේම සත්‍ය, යුක්තිය, නිවැරැදි දේ වෙනුවෙන් ඔහු කතා කරනවා. හොඳ විවේචකයෙක්, හොඳ විචාරකයෙක් ලෙසත් ඔහු පරිපූර්ණයි කියලා මා විශ්වාස කරනවා. ‘රාජ්‍ය පාලනයේ විකාශය සහ ශ්‍රී ලංකාවේ අනාගතය‘ කියන මේ පොත දැන් තමයි අපේ අතට දුන්නේ. ඒ දුන්න ගමන් මම පෙරළලා බැලුවා. ඒ ශ්‍රී ලංකාවේ අනාගතය ගැන කොතැනද තියෙන්නේ කියලා. මේ පොතේ පන්සිය ගණන්, එක්දහස් අටසිය ගණන්, අටසිය පහළොව, අටසිය දහඅට සියල්ල තියෙනවා. ඒ සියල්ල පහු කරලා අන්තිමට එනවා වර්තමාන දේශපාන තත්ත්වය කියලා කොටසක්. මම මේ විනාඩි පහේ දහයේ ඉක්මන්ට පිටු කිහිපයක් කියවාගෙන කියවාගෙන ගියා.

මට පුංචි කතාවක් තියෙනවා කියන්න. මම අර ඔබතුමා කලින් කියූ විවිධ ක්ෂේත්‍රවල තිබෙන දක්ෂකම් එක්ක ඔබතුමා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. මේ පොත නිසා ඔබතුමාට විනය පරික්ෂණයක් එයි කියලා මට හිතෙනවා. අද අපේ රටේ තිබෙන දේශපාලන, සමාජ, ආර්ථික අර්බුද ගැන මෙතැන සිටින පූජනීය මහා සංඝරත්නය ප්‍රමුඛ මේ විද්වත් බොහෝ දෙනකුට අවබෝධයක් තිබෙනවා.

අපි අද බෞද්ධ රටක් විදියට ලෙස කොතැනද ඉන්නේ කියලා හිතන්න. දැන් සති දෙකකට පමණ කලින් ඔබ දකින්නට ඇති මාධ්‍යයේ තරුණ මවක් වයස අවුරුදු විස්සයි. මවක් කියලා කියන්නේ ඇයට අවුරුදු විස්සක් වුණත් දරුවෙක් ඉන්න නිසා. ඇය අත්අඩංගුවට ගත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ප්‍රදේශයේ දී. ඇය අත්අඩංගුවට ගත්තේ මත් කුඩු විකුණන නිසා. ඇයගේ ස්වාමියා හිර භාරයේ ඉන්නේ මත් කුඩු විකුණලා. මේ තරුණ මව පොලිස් ස්ථානාධිපතිවරයා ඉදිරියේ හඬා වැළපෙනවා. ඒ හඩා වැළපෙන මව ළඟම ඇයගේ කුඩා දරුවාත් අඬනවා. දරුවා අඬන්නේ අම්මාගෙන් කිරි ඉල්ලලා. අම්මා අඬන්නේ දරුවාට කිරි දෙන්න කුඩු ඉල්ලලා. අම්මා අඬ අඬා කියනවා පොලිස් ස්ථානාධිපතිට මට කිරි එරෙන්නේ නෑ. කිරි එරෙන්නේ කුඩු ටිකක් ගත්තාම කියලා. ඒ නිසා දරුවාට කිරි දෙන්න මට කුඩු ටිකක් දෙන්න කියනවා. පොලිසියේ ඕ.අයි.සී මහත්තයා කියනවා පොලිසියේ කොහෙද කුඩු කියලා. එතකොට ඒ තරුණ මව කියනවා (ඇගේ වචනවලින්ම) දරුවාට කිරි දෙන්න මට කුඩු එක ෂොට් එකක් දෙන්න කියලා.

මේ කතාත් එක්ක අපි ඉන්නේ කොතැන ද කියලා අප තේරුම් ගත යුතුයි. ඒ නිසා ඒ සියලු අර්බුදවල විශාල කතාවක් තිබෙනවා. මේ අර්බුද වහා වහා විසඳා ගැනීම මේ රටට ආදරය කරන දේශපාලනඥයන්ගෙත්, රටේ ජනතාවගෙත් වගකීමක්. මේවා විසඳා නොගත්තොත් දේශපාලන, ආර්ථික, සමාජ ආදී අර්බුද සියල්ල සමඟ අපි ඉතාම කෙටි කාලයකින් බලාපොරොත්තු නොවූ මහා අගාධයකට ඇද වැටෙනවා.

ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා මෙතෙක් පෙන්වු දක්ෂකම්, හැකියාවන්, නිර්මාණශීලීභාවය, නිපුණතා සහ කුසලතා සමඟ තව තවත් රටට, ජාතියට, මුළු මහත් මානව සමාජයට ලබාදීමට ධෛර්යය, ශක්තිය, වාසනාව ලැබේවා කියා ආශිර්වාද කරනවා. සුබ පතනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා

අද දින මම ග්‍රන්ථ තුනක් එළි දක්වනවා. එක් ග්‍රන්ථයක් “රාජ්‍ය පාලනයේ විකාශය සහ ශ්‍රී ලංකාවේ අනාගතය‘. එහි දේශපාලනික වශයෙන් ශාස්ත්‍රීය මෙන්ම ප්‍රායෝගික අංශ පිළිබඳව කරුණු ඉදිරිපත් කර තිබෙනවා. අද අපේ රටේ ජනතාව දේශපාලනික වශයෙන් මුහුණ දී තිබෙන ගැටලු, බාධක, ඒවායෙන් අප මිදිය යුත්තේ කෙසේද යන්න පිළිබඳව එහි දීර්ඝ සාකච්ඡාවක් ද සිදු කර තිබෙනවා.

දෙවැන්න මා විසින් රචිත ‘අවනඩුව‘ කෙටි කතා සංග්‍රහය. සැමදාම අපි නඩු කියන උදවිය විදියට මේ රටේ සිදු වන කවුරුත් අහන්නේ නැති අවනඩු බොහොමයක් තිබෙනවා. සමාජ අසාධාරණකම්, නීතියෙන් විසඳුම් නොලැබෙන ප්‍රශ්න, මේ දැවෙන සමාජ ප්‍රශ්න පිළිබඳ ගැඹුරු විවරණයක් කිරීමේ අභිලාසය ඇතිව තමයි මේ කෙටි කතා සංග්‍රහය රචනා කළේ.

තුන්වන ග්‍රන්ථය මගේ නිර්මාණයක් නෙවෙයි එය පරිවර්තනයක්. ඒ ‘අතුරුදහන් වූ අපේක්ෂකයාගේ අභිරහස‘. මීට අවුරුදු හැට තුනකට පෙර අපේ රටේ ගෞරවනීය අග්‍රාමාත්‍යවරයකු වු එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා කෙටි කතා කිහිපයක් රචනා කර තිබෙනවා. ඒ සංග්‍රහය සිංහලට පරිවර්තනය කිරීම තමයි මම මෙයින් සිදු කර තිබෙන්නේ. ‘පෙම් පවුර‘ සහ ‘සියුමැලි මල‘ මගේ ගේය පද. ඒවාට මේ රටේ ප්‍රවීණ ගායන ශිල්පීන්ගේ හඬ මුසු කර, ප්‍රවීණ සංගීතඥයන්ගේ තනු එකතු කර ඔවුන්ගේ පූර්ණ දායකත්වය ඇතිව අද මේ සංයුක්ත තැටි දෙක නිර්මාණයක් ලෙස එළි දැක්වූවා.

කෙනකුට හිතන්න පුළුවන් මේක යා දෙක නොරත රත වගෙයි කියලා. එක පැත්තකින් බොහොම කඪෝර දේශපාලනයක් ගැන ලියපු පොත් සමඟ අනික් පැත්තෙන් කලාව ජීවිතයේ සෞන්දර්ය පිළිබඳව ගේය පද රචනා කිරීම එකකට එකක් සැසදෙන්නේ නැති දෙයක් කියලා අපේ සමාජයේ සමහර උදවියගේ මතයක් තිබෙනවා. ඒ මතය මම පිළිගන්නේ නෑ. හේතුව රටේ ජනතාවට ආදරය කරන, රටට ආදරය කරන දේශපාලනඥයෙක් නිර්මාණය වෙන්න නම් ඒ දේශපාලනඥයා සාහිත්‍යයෙන් කලාවෙන් පෝෂණය වී සිටිය යුතුයි.

බටහිර රටවල කියමනක් තිබෙනවා ‘කලාකරුවන් තමයි නිල නොවන ව්‍යවස්ථාදායකය මෙහෙයවන්නන්‘ කියලා. බටහිර සමාජය විසින් විශ්වාසය කරන්නේ සෑම අවස්ථාවකදීම දේශපාලනඥයාට වැඩිය ඉදිරියෙන් කලාකරුවා ගමනක් යනවා කියලා. කලාකරුවන්ගේ විවේචන, කලාකරුවන් නිර්මාණය කරන හාස්‍ය උත්පාදක විවේචන විග්‍රහයන්, දේශපාලනඥයන් නිවැරැදි වීමට බොහෝ උපකාරී වෙනවා. ඒක නිසා තමයි කලාකරුවා දේශපාලනඥයාට වඩා තරමක් ඉදිරියෙන් ගමන් කරනවා කියලා විශ්වාස කරන්නේ.

අද අපේ රටේ විශාල ගැටලුවක් මතු වී තිබෙනවා. මේ දවස්වල නිතරම කතා කරන්නේ ජනාධිපති අපේක්ෂකයා කවුද යන්න, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කරන්නේ කවදාද, 19 වෙනි සංශෝධනයෙන් අපිට වැරදුණා ද, හරි ගියාද ආදී ප්‍රශ්න. සමහරු 19 වෙනි ව්‍යවස්ථාව අල්ලාගෙන පට්ට ගහනවා.

අපි යහපාලන ආණ්ඩුව හැදුවේ මේ රටේ සියලු ජනතාවට යුක්තිය, සාධාරණය ඉෂ්ට වන නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්නට පුළුවන් රාජ්‍ය තන්ත්‍රයක් නිර්මාණය කරන්න. අපි ස්වාධීන මැතිවරණ කොමිසමක් නිර්මාණය කළේ සාධාරණ මැතිවරණ තියන්න. ඒ සාධාරණ මැතිවරණ තියන්න අපි පළාත් පාලන ආයතනවල ඡන්ද ක්‍රමය වෙනස් කළා. පළාත් සභාවල ඡන්ද ක්‍රමය වෙනස් කළා. පළාත් පාලන ආයතන අද සම්පූර්ණයෙන්ම අවුල් වෙලා.

ඒ නිසා මේ අර්බුදය විසඳන්නේ කවදාද, මේවා විසඳන්නේ කවුරුන්ද කියන මතය අපි කවුරුත් ඉදිරියේ මතු වෙලා තිබෙන ගැටලුවක්. ජාතික සම්පත් විකුණා දැමීම හරහා අපි ජාත්‍යන්තර වශයෙන් ලොකු උගුලක පැටලිලා ඉන්නවා. අපි හම්බන්තොට චීනයට දුන්න නිසා කොළඹ නැඟෙනහිර ඉන්දියාවට දෙන්න ඕන කියලා කියනවා. අමෙරිකාවට ත්‍රිකුණාමලය වරාය දෙන්න ඕන කියලා කියනවා. ඒක නිසා ඉදිරියේ පැවැත්වෙන ජනාධිපතිවරණය අපේ රටට හරි තීරණාත්මකයි. අපිට ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ජනාධිපතිවරණ දී අපේක්ෂකයන් ඉදිරිපත් කරන්නේ අපි. ඡන්දේ දෙන්නේ අපි. කතිරය ගහන්නේ අපි. හැබැයි ඒ කතිරයෙන් ලබන ජයග්‍රහණයේ ප්‍රතිලාභියා චීනය වෙයිද අම‍ෙරිකාව වෙයිද කියලා සැකයක් තිබෙනවා.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ විජිතසිරි නාහිමි

විජයදාස රාජපක්ෂ ශූරීන් තමාගේ දිවි මඟ ඉතාම උත්සාහයෙන්, අර්ථවත් ආකාරයෙන් ගොඩනඟා ගත් වාසනාවන්තභාවයෙන් යුක්ත පුණ්‍ය මහිමයෙන් සම්පූර්ණත්වයට පත් වු කෙනකු වශයෙන් පෙන්වා දිය යුතුයි. අද වන විට ඒ මහතා නීති ක්ෂේත්‍රයේ ප්‍රාමාණික දැනුමක් සහ ප්‍රායෝගිකත්වය තුළ අර්ථවත්භාවය ප්‍රකාශයට පත් කරනවා. එමෙන්ම රාජ්‍ය පාලනය සහ දේශපාලන ක්ෂේත්‍රයෙහි මහජන නියෝජිතවරයකු වශයෙනුත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙනුත්, හිටපු ඇමැතිවරයකු වශයෙනුත්, පාර්ලිමේන්තුවේ ඉතාම අර්ථවත් ආකාරයෙන් ස්වකීය අදහස් ඉදිරිපත් කරන විද්වතකු වශයෙනුත් මහජනතාවගේ ප්‍රසාදයට පාත්‍රව කාලය ගත කරනවා. ඒ මහතාගේ චින්තනය, භාෂණ හැකියාව, තර්කාන්විත ශක්තිය රට වෙනුවෙන්, දැය වෙනුවෙන්, විශේෂයෙන්ම සම්බුද්ධ ධර්මය මුල් කර ගත් අපේ ජාතික අනන්‍යතාව වෙනුවෙන් අර්ථවත්ව යොදවන බවත් සඳහන් කරන්නට ඕන. අද දින ඒ මහතා එළි දක්වන ග්‍රන්ථ පිළිබඳව ඒ මහතාගේ මුලින්ම පැවැත්වූ පිළිගැනීමේ කතාවෙන් සඳහන් කරන්නට යෙදුණා. ‘රාජ්‍ය පාලනයේ විකාශය හා ශ්‍රී ලංකාවේ අනාගතය‘ පිළිබඳව මා හිතන හැටියට ඒ මහතා ඉදිරිපත් කරන අදහස් මාලාව ඉදිරි කාලයේ බෙහෙවින් සමාජයේ සංවාදාත්මක ව‍ෙනවා ඇති. ජන විඥානය තුළ ඒ පිළිබඳව අදහස් මාලාවක් තැන්පත් වෙනවා ඇති. ඒ අධ්‍යයතන කාල වකවානුවේ පවතින අර්බුදකාරී දේශපාලන පසුතලයෙට විසඳුමක් විය හැකි බව අපට සිතා ගන්නට පුළුවන්කම තිබෙනවා.

ඒ මහතාගේ ලේඛන කලාව උපයෝගී කරගෙන ශ්‍රී දළඳා මාළිගාව සහ ඒ ආශ්‍රිත ඉතිහාසය සම්බන්ධ පුද පූජා, වත් පිළිවෙත් ආදිය පිළිබඳව මීට පෙර රචනා කරන ලද ග්‍රන්ථය පිළිබඳව උභය මහා විහාරයේ බලවත් ප්‍රසාදය ප්‍රකාශ වන්නට යෙදුණා. එපමණක් නොවෙයි. බෞද්ධ ආචාර ධර්මවල අන්තර්ගතව පවතින ශ්‍රද්ධා භක්තිය ඉතාම අර්ථාන්විතව, ඥානාන්වින්තව යොදවමින් දළඳා පූජාවට සම්බන්ධ වන ආකාරයත්, ශ්‍රී දළඳා මාළිගාවේ ඉතාම විශිෂ්ටතම පෙරහර පූජාවට තමන්ගේ ධනයෙන්ම පරිත්‍යාග කරන්නට යෙදුණ වටිනා රන් සිවි ගෙය අද දක්වා ප්‍රයෝජනයට ගන්නා බවත්, මේ රටේ භික්ෂු සමාජය සහ අධිකරණ ක්ෂේත්‍රය අතර පවතින පැවතිය යුතු යම් යම් සම්බන්ධතා ඒ මහතා අධිකරණ ක්ෂේත්‍රයේ ඉදිරිපත් කළ ආකාරය පිළිබඳවත් බලවත් ප්‍රසාදයක් ජනනය වීමට හේතුවක් වුණා.

මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමන්ලා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු කතානායක චමල් රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා, හිටපු අග විනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රියසාද් ඩෙප්, මාලා රාජපක්ෂ මහත්ම මහත්මීන්, සංගීත අධ්‍යක්ෂවරුන්, ප්‍රවීණ ගේය පද රචකයන්, ප්‍රවීණ ගායක ගායිකාවන්, අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරුන්, අධි නීතිඥවරුන්, නීතිඥවරුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඡායාරූප - සුදත් මලවීර

නව අදහස දක්වන්න