නීතිය හා නිදහස! | දිනමිණ

නීතිය හා නිදහස!

ජනාධිපතිවරයා පොලොන්නරුව රාජකීය විදුහලේ දී කළ කතාව කාගේත් අවධානයට ලක් වී ඇත. එම කතාවෙන් කියැවෙන්නේ අධිකරණයේ ස්වාධීනත්වය, නීතියේ ආධිපත්‍යය පමණක් නොව; නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ද රටේ ජනතාවට ලබා දී ඇති බව ය. ගෙවීගිය වසර පහකට ආසන්න කාලය දෙස ආපසු හැරී බලනවිට එම තත්ත්වය තහවුරු වෙයි. අධිකරණයට, විනිශ්චයකාරවරුන්ට පමණක් නොව; පොලීසියට පවා නිදහස් ලෙස ද ස්වාධීන ලෙස ද කටයුතු කිරීමේ හැකියාව දැන් ලැබී ඇත. විධායක බලය හෝ ආණ්ඩු බලය හෝ ඉහත ආයතනවල කටයුතුවලට හරස් වී නැත. මේ වෙනස මිනිසුන්ගේ ඇඟට වඩා හිතට දැනෙනු ඇත යන්න අපගේ පිළිගැනීම ය.

2015ට පෙර ශ්‍රී ලංකාව පැවැතියේ නීතියේ ආධිපත්‍යය බිඳ වැටුණු, මූලික මිනිස් අයිතිවාසිකම් නොසලකා හරින අසාර්ථක රාජ්‍යයක් හැටියට ය. ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස වෙනුවෙන් පෙනී සිටින ජගත් ආයතන ගණනාවක් ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන අනතුරු හඟවා තිබිණි. ඉන් නොනැවතී යම් - යම් ආර්ථික තහංචි පැනවීමට ද එම ආයතන පියවරගෙන තිබිණි. එදා පැවැති තත්ත්වය අඛණ්ඩව ඉදිරියට ගියේ නම්; ශ්‍රී ලංකාව ද ඉතා ඉක්මනින් ඇෆ්ඝනිස්ථානයක් බවට පත් වනු ඇත. අද එම අවදානම නැත. රට තුළ යහපත් තත්ත්වයක් නිර්මාණය කිරීමට නායකත්වය සැපයූ දේශපාලකයා හැටියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතා ගෞරවයට ලක්විය යුතුව තිබේ.

ශ්‍රී ලංකාවට විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දෙන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ය. විධායක බලය සහිත තනි පුද්ගලයකුගේ ඒකාධිකාරී පාලනයෙන් රටක් ගොඩනැගිය හැකි යැයි විශ්වාසයක් එකල පැවැතිණි. ප්‍රංශයේ ඩිගෝල් පාලනය ඊට පූර්වාදර්ශ කර ගැනිණි. ආර්ථික හා දේශපාලන වශයෙන් බිඳවැටුණු ප්‍රංශය යළි ගොඩනඟන්නට පාලක ඩිගෝල්ට හැකි විය. ශ්‍රී ලංකාවේ පළමු විධායක ජනාධිපතිවරයා වූ ජේ. ආර්. ජයවර්ධන පවා රටේ ආර්ථික හා දේශපාලන වෙනසක් සිදුකිරීමට සමත් විය. එහෙත් විධායකය සතු අසීමිත බලය නිසා ප්‍රජාතන්ත්‍රවාදය කෙමෙන් හැකිළෙන්නට ද, මිනිස් නිදහස සීමා වන්නට ද පටන් ගත්තේ ය. මේ පසුබිම තුළ බිහිවන්නේ එකාධිපති පාලකයන් බව පැහැදිලි ය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකාවේ හයවන ජනාධිපතිවරයා ය. ජේ. ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්ෂ යන නායකයෝ මීට පෙර එම පදවිය දැරූහ. මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වාදෙන අන්දමට ඉහත කී සෑම නායකයකුගේ ම පාලන සමයන් තුළ දී අඩු-වැඩි වශයෙන් අධිකරණයට, පොලිසියට හා තවත් වැදගත් ආයතනවලට බලපෑම් එල්ලවී ඇත. දේශපාලන ඉතිහාසය විමසන කෙනකුට ජනාධිපතිවරයාගේ කතාවේ ඇත්ත-නැත්ත සොයාගත හැකි ය.

අධිකරණයේ නඩු තීන්දු සඳහා නායකයාගේ අදහස බලපෑ කාලයක් තිබිණි. පොලිස් අත්අඩංගුවට ගැනීම්වල දී නායකයාගේ අදහස බලපෑ කාලයක් තිබිණි. අධිකරණ ක්ෂේත්‍රයේ මෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ ද උසස්වීම් හා පත්කිරීම් තනිකරම නායකයාගේ නිර්දේශය මත සිදුවූ කාලයක් තිබිණි. මේ අනුව නායකයන්ගේ ගෝලබාලයෝ පමණක් අවශ්‍ය තැන්වලට පත්වූහ. සුදුසුකම් සහිත ජ්‍යෙෂ්ඨයෝ පසුබෑමට ලක්වූහ. මෙබඳු තත්ත්වයක් යටතේ නීතියේ ආධිපත්‍යය තහවුරු වන්නේ නැත. අධිකරණය හෝ පොලිසිය හෝ ස්වාධීන වන්නේ නැත. එය වෙනස් කළ යුතු බවට ජාත්‍යන්තර බලපෑම් එල්ලවුව අපේ පාලකයන් ඒවා ගණන් ගත් බවක් පෙනෙන්නට තිබුණේ නැත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හැඳින්විය හැක්කේ තමන් සතු බලය කපාහරිමින් ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා බලවත් කැපවීමක් කළ නායකයකු හැටියට ය. කෙ‍නකුගේ මතයට අනුව එවැනි ක්‍රියාවලියක නියුතු වූ ලොව එකම රාජ්‍ය නායකයා ද ඔහු ය. මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසු සිදු කළ පළමු කතාවේදී ම කියා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසිකොට පාර්ලිමේන්තුවට බලතල පවරන සාධාරණ ක්‍රමයක් වෙත ගමන් කරන බව ය. ජනාධිපති ක්‍රමය අහෝසි වී නැතත්; 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ පාර්ලිමේන්තුවට වැඩි බලතල ප්‍රමාණයක් හිමි වී ඇත. චන්ද්‍රිකා කුමාරතුංග මැතිනිය මෙන් ම මහින්ද රාජපක්ෂ මහතා ද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ප්‍රතිඥා දී තිබුණ ද කිසි දිනෙක එය ඉටුවූයේ නැත. මහින්ද රාජපක්ෂ මහතා 18 වන ව්‍යවස්ථා සංශෝධනය ඔස්සේ තමන්ගේ බලතල තවදුරටත් තහවුරු කර ගැනීමට ක්‍රියා කළේය. ඒ අතින් බලනවිට මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ හොඳින් ඉස්මතු වෙයි.

නීතියේ ආධිපත්‍යය බිඳ වැටෙන්නේ ද, අධිකරණ කටයුතුවලට බලපෑම් එල්ල වන්නේ ද, විධායකය සතු අසීමිත බලය නිසා යැයි කිව හැකි ය. කෙනකුගේ විග්‍රහයට අනුව විධායක ජනාධිපති ක්‍රමය ද හිට්ලර්ගේ පාලනයට සමාන විය හැකි ය. හිට්ලර්ගේ අධිකරණය ඔහු විය. විනිශ්චයකරුවා ද ඔහු විය. නීතිය අතට ගනිමින් විධායකය ශ්‍රී ලංකාව අශිෂ්ටත්වය කරාගෙන ගිය අන්දමට නිදර්ශන ඕනෑතරම් සපයාගත හැකි ය. අවශ්‍යවන්නේ මෑතකාලීන ඉතිහාසයට එබී බැලීම් පමණි. අගවිනිසුරුතුමියගේ සිද්ධිය නීතිය දූෂ්‍ය කිරීමට අදාළ කදිම නිදර්ශනය ලෙස පවතී. තාජුදීන් සිද්ධිය පොලිසියට කරන ලද බලපෑම්වලට හොඳම නිදර්ශනය ලෙස පවතී. ජනමාධ්‍යයට කළ බලපෑමට අදාළ සිද්ධි සිය ගණනක් වුව සොයාගත හැකිය. මේ සිදුවීම් සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරවීමට වත්මන් ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. එහෙත් ඒවායෙහි කටයුතු සිදුවන්නේ බලවත් ප්‍රමාදයන් සහිතවය.

නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම අතින් ද, නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම අතින් ද විශාල වැඩකොටසක් ජනාධිපතිවරයා ඉටුකර තිබේ. එය මෙතෙක් බලයේ සිටි ජනාධිපතිවරුන් මගහැර ගිය වගකීමක් ලෙස ද සැලැකිය හැකි ය. ජනාධිපතිවරයාගේ පාලන සමය ගැන විවිධ විවේචන තිබෙන්නට පුළුවන. එහෙත් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය ගැන විවේචනයක් ඔහුගේ පාලන කාලය සම්බන්ධයෙන් ඉදිරිපත් වීමට ඉඩක් නැත. මන්ද යත්? ජනාධිපතිවරයා පොරොන්දු වූ ආකාරයෙන්ම ඒවා ලබාදී ඇති බැවින් ය.

නව අදහස දක්වන්න