මාතර අප ස්වාමීදූගේ ජාතික සිද්ධස්ථානය වාර්ෂික මංගල්‍ය‍යෝත්සවය අද - හෙට | දිනමිණ

මාතර අප ස්වාමීදූගේ ජාතික සිද්ධස්ථානය වාර්ෂික මංගල්‍ය‍යෝත්සවය අද - හෙට

මාතර අප ස්වාමිදූගේ වාර්ෂික මංගල්‍ය ‍ඉතා උත්කර්ෂවත් අයුරින් 2019 සැප්තැම්බර් මස 6, 7 සහ 8 වන දිනයන් හි පැවැත්වේ.

අප ස්වර්ගීය මාතාවගේ උපන් දිනය සැමරීම පිණිස සියලුම සැලසුම් මේ වන විටත් සංවිධානය කර අවසන් වී ඇත. මෙම වසරේ ඉතා විශාල ජනකායක් අප මාතාවගේ උපන් දින මංගල්‍යය සැමරීම සඳහා පැමිණෙතැයි අපේක්ෂා කෙරේ. මීසමේ පාලක පූජක සහ පරිපාලක පියතුමා වන ගරු මයිකල් කොලින් පියතුමා සහ සහායක පියතුමා වන තුසිත් ආසිරි පියතුමා සමඟ සමස්ත මීසම මෙම කටයුතු සංවිධානය සඳහා දායක වූහ. මෑණියන්ගේ පිහිට ලබාගැනීමට දහස් ගණනින් වන්දනාක‍රුවෝ පැමිණෙති.

ප්‍රාතිහාර්ය පිළිරුව

ප්‍රාතිහාර්ය පිළිරුව වසර 400 කට වඩා පැරණි වන අතර දැවයෙන් නිමකර ඇත. මෙය දෙවි මව් සහ ජේසු පුත්‍රයාගේ ඉතාමත් පියකරු පිළිරුවකි. යුරෝපයේ බොහෝ ප්‍රවීණ විශේෂඥයින්ගේ අදහස වන්නේ මෙම මූර්ති කලාව පෘතුගීසීන්ගේ 17 වන ශතවර්ෂයට අයත් නිර්මාණයක් බවය.

ප්‍රතිමාවේ ඉතිහාසය

පරපුරෙන් පරපුරට පැවත ආ ජනප්‍රවාදයට අනුව 17 වන ශතවර්ෂයේ මුල් කාලයේදී වැලිගම මුහුදු තීරයේදී පාවී ආ දැව පෙට්ටියක් ගොඩට ඇද බලන විට, මුහුදු ජලයෙන් ස්පර්ශ නොවී තිබූ මරිය මාතාවගේ සහ ජේසුස් වහන්සේගේ ඉතාමත් අලංකාර මූර්ති නිර්මාණය එම පෙට්ටිය තුළ තිබී හමුවිය. ධීවරයන් විසින් වහාම එම ප්‍රතිමාව මීසම භාර පූජකතුමාට භාරදීමට පියවර ගත් අතර, පූජකතුමා විසින් එම ප්‍රතිමාව මාතර නගරයේ ප්‍රධාන දේවස්ථානයේ තැන්පත් කරන ලදී. ප්‍රතිමාව පළමුවරට මුහුදින් ගොඩට ගත් ප්‍රථම අවස්ථාව මෙය විය.

පසුව යම් කලකදී, ඕලන්ද ජාතිකයින් විසින් පනවන ලද ආගමික සංහාරය හේතුවෙන් ප්‍රතිමා සඟවා තැබුවද නැවත පසු කලකදී එය මාතර නගරය කරා රැගෙන එන ලදී.

ඉතාමත් ආඩම්බරයෙන් අප හට පැවසීමට ඇත්තේ, ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ, රුහුණු රටේ වෙසෙන කතෝලික බැතිමන්ගේ ගෞරවාදරයට පාත්‍ර වනු පිණිස ප්‍රතිමාව දළ රළ පෙළට උඩින් පාවෙමින් එම කතෝලික ජනතාව වෙත පැමිණි බවයි. මුහුදින් පැමිණි මරිය මව්තුමිය තමා වෙත පිහිට අයැද සහනය පතන සියලුම බැතිමතුන් වෙත උදව් උපකාර ලබාදීමට සූදානම්ව සිටින්නීය.

එම්. ෆීලික්ස් වී. කුරේ

නව අදහස දක්වන්න