පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූවන් සාර්ථකව මානසික අභියෝග ජයගත්තා | දිනමිණ

පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූවන් සාර්ථකව මානසික අභියෝග ජයගත්තා

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්පා රණසිංහ

පුද්ගලයෙකු සියදිවිනසා ගැනීමට සිදුවීම් මාලාවක් මුල් වන බැවින් අධ්‍යාපනය මෙන්ම ආධ්‍යාත්මික මට්ටමින් ද දියුණු විය යුතු බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ මනෝවෛද්‍ය විශේෂඥ පුෂ්පා රණසිංහ මහත්මිය ප්‍රකාශ කළාය.

කොළඹ 07, විජේරාම මාවතේ පිහිටි හෙක්ටර් කොබ්බෑකඩුව කෘෂි පර්යේෂණ සහ පුහුණු කිරීමේ ආයතනයේ ඉකුත්දා (06) ජාත්‍යන්තර සියදිවි හානිකර ගැනීම වැළැක්වීමේ දිනය වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේ දී මනෝවෛද්‍ය විශේෂඥවරිය මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහත්මිය මේ බව ද කියා සිටියාය.

පසුගිය පාස්කු ප්‍රහාරයේ දී කොළඹ පළාතේ එක් අයෙකුට වත් සියදිවිහානි කර ගැනීමට ඉඩ නොතබා අප සංවිධානය පුහුණු කර ඇති 80 කට අධික කණ්ඩායමක් එම වැඩකටයුතු සිදු කළා. අපි අදටත් ඒ අයට සහාය ලබා දෙනවා. ඒක ශ්‍රී ලංකාවට මහත් ශක්තියක් වුණා.

අපි කවුරුත් සියදිවිහානි කර ගැනීමට ප්‍රතිශක්තිකරණය වෙලා නැහැ. මේ සඳහා මානසික රෝග, විෂාධිය, තමන්ට විසඳාගත නොහැකි ප්‍රශ්න, ප්‍රශ්නයක් තියෙනවා නම් දැන් ජීවත් වුණා ඇති කියාත් සිතීම වැනි සාධක සියදිවි තොර කර ගැනීමට හේතුව වී තිබෙනවා. මෙවැනි අවස්ථාවලදී අවට සිටින අය එවැනි අයට පිහිට විය යුතුයි.

අද තරුණ පිරිස මුහුණු පොතට පමණක් සීමා වි තිබෙනවා. කතා කරන්නේ නැහැ. මතුපිටින් පමණයි එකිනෙකා සමඟ සන්නිවේදනයේ යෙදෙන්නේ. තමන්ගේ හඬා වැටෙන දුක අනුන්ට කියන්න බයයි. සමීප සබඳතාවල ලොකු අඩුවක් තියෙනවා. ප්‍රේම සම්බන්ධතා තියෙන්නේ එස්.එම්.එස් වලින් පමණයි. ප්‍රේම සබඳතා හමු වී සිදු වන්නේ නැහැ. තමන්ගේ සිතේ තියෙන දේ වචන වලට පෙරළන්න දන්නේ නැහැ. ඒ අදහස් පොතක ලියන්න දන්නේ නැහැ. මේ හැම දේකටම මුල් වි ඇත්තේ සන්නිවේදනයේ අඩුව මෙන්ම සාකච්ඡා කර පිළිතුරු සොයා ගැනීමේ නොදන්නාකම නිසා බව ද ඇය මෙහිදී අවධාරණය කළාය.

මේ වසරේ සියදිවිහානි කර ගැනීම 8500 ක් දක්වා අවම කර ගැනීමට හැකි වි තිබෙනවා. එය එසේ සිදු කර ගත හැකි වුණේ අංක 1926 ට ජාලගත වීමත් සමඟයි.

ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ ළමා හා නව යොවුන් විය පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍ය වජයන්ත කොතලාවල මහතා - නව යොවුන් දරුවන් විශාල ප්‍රමාණයක් සියදිවිහානි කර ගැනිමට තැත් කරනවා. නමුත් ඔවුන්ගේ ජීවිත අහිමි වන්නේ නැහැ. එයට හේතුව ඔවුන් මාරාන්තික ක්‍රම භාවිත නොකිරීමයි. ඔවුන් සියදිවිහානි කරගැනීමට වැඩිපුරම තැත් කරන්නේ තියුණු අවි ආයුධ භාවිතයයි. ඒ ආයුධවලින් කපා ගැනීම සිදු කරගනියි. නැතිනම් ඖෂධ මාත්‍රා වැඩිපුර භාවිත කරයි. ගම්බද ප්‍රදේශවල තියුණු ආයුධවලින් අත හෝ කලවා ප්‍රදේශය කපා ගැනීමෙන් සියදිවිහානියට පෙළඹී තිබෙනවා.

සියයට හැටක සියයට අසූවක දරුවන්ට හඳුනාගත නොහැකි මානසික තත්ත්වක් තිබෙනවා. ආදර සම්බන්ධතා බිඳ වැටීම, පාසලේදී මිතුරන් සමඟ ඇති වන ගැටුම්, විවිධ අතවර, දෙමාපිය ගැටුම් ආදිය මෙයට මුල් වී ඇති බව කිව යුතුයි. සෑම ළමයි පස් දෙනෙකුගෙන්ම එක් ළමයෙකුට ම මානසික මැදහත් වීමක් අවශ්‍යයි. වයස අවුරුදු 06 න් පසුව විෂාද තත්ත්වයට පත්වීමේ හැකියාවක් තිබෙනවා.

ස්මාර්ට් ෆෝන්, ලැප්ටොප් වැනි උපකරණ දරුවන් නිතර භාවිතකරන නිසා කාන්සිය මෙන්ම හුදකලාව ඇති වන බව ද විශේෂඥ මනෝ වෛද්‍ය වජයන්ත කොතලාවල මහතා කීවේය.

සුමිත්‍රයෝ සංවිධානයේ සභාපතිනි කුමුදුනී ද සිල්වා, එම සංවිධානයේ ප්‍රවර්ධන නිලධාරිනී ඉන්දිරා විජේසේකර , ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය කපිල වික්‍රමනායක මහත්ම මහත්මීන් ද මෙහිදී අදහස් දැක්වූහ.

මානෙල් පුෂ්ප කුමාරි
ඡායාරූපය - සමන් ශ්‍රී වෙදගේ

 

නව අදහස දක්වන්න