රට ගොඩනැගීමේ කාර්යශූර වැඩපිළිවෙළක් තිබෙනවා | දිනමිණ

රට ගොඩනැගීමේ කාර්යශූර වැඩපිළිවෙළක් තිබෙනවා

එජාප නියෝජිත සමුළුවකදී ඇමැති සජිත් කියයි

රට ගොඩනැගීමේ කාර්යශූර ක්‍රියාශීලි වැඩපිළිවෙළ තමන් සතුව තිබෙන බව නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ඇමැතිවරයා එසේ ප්‍රකාශ කළේ පෙරේදා(07) කොළඹ, සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවැති එජාප නියෝජිත සමුළුවක් අමතමිණි. මහා සංඝරත්නය, අන්‍ය ආගමික පූජකවරුන්, එක්සත් ජාතික පක්ෂ පළාත් පාලන නියෝජිතයන් මැති ඇමැතිවරුන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

පස්සා දොරින් අගමැති කම් ගන්න තරම් තමා දේශපාලන අවජාතකයෙක් නොවන බවද පැවසූ ඇමැතිවරයා එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ රජයක් මෙවර බිහිකරන බවද කීය.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව තීන්දු තීරණ ගැනීම කොතරම් පස්සට දැම්මත් තමා අඩියක් නොව මිලි මීටරයක්වත් පස්සට නොයන බව කී සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සහ කරූ ජයසූරිය කතානායකවරයාගේ ආශිර්වාදයෙන් පොදු ජන යුගය නිර්මාණය කරන බවද පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා-

ඉතාමත්ම සුන්දර දවසක් ලෙස මා අද දිනය දකිනවා. සහභාගි වන්නන් නිසා එම සුන්දරත්වය තවත් ඔප මට්ටම් වෙනවා. මෙහි පැමිණ සිටින්නන් නිසා බිම් මට්ටමේ පවතින හද ගැස්ම සෑම ස්ථානයකම රැව් පිළිරැව් දෙනවා. ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය තුළින් ඇතිවන වර්තමාන සංවර්ධනයේත් අනාගත සංවර්ධනයේත් සුවද අපට දැනෙනවා. මෙහි රැස්වී සිටිනන් රටේ සෑම ජන කොට්ටාසයකම හෘද ස්පන්දනයයි. රටේ මහජනතාව සමග සමීපව කටයුතු කරන්නේ මෙහි පැමිණ සිටින නියෝජිතයින්. මෙම නියෝජිත හමුව මට ඉමහත් ශක්තියක් සපයනවා. ඔබලාගේ කැපවීම මත අප අලුත් ශ්‍රී ලංකාවක් ගොඩනගනවා. ශ්‍රී ලංකා ෆස්ට් ගමන ක්‍රියාත්මක කරනවා. පළමුවත්, දෙවනුවත්, තුන්වනුවත් අප අපේ මාතෘ භූමියට ‍ඵෛතිහාසික යුගයක් බිහි කිරීමේ ගමන අද දවසේ ආරම්භ කළා කියා අප සියලු දෙනාටම සතුටු වන්න පුලුවන්.

මෙම ශාලාවට ඔබ සියලු දෙනා පැමිණීමත් සමඟ ඉදිරි දැක්ම, නව වැඩ පිළිවෙල පිළිබඳව සක්සුදක් සේ අවබෝධ කර ගත යුතුයි. අපේ ගමන අපේ දර්ශනය මේ රටේ පොදු ජනතාව කේන්ද්‍ර කරගත් මුල්කරගත් වැඩපිළිවෙලක්. ජනතා ආශිර්වාදයෙන් රටක නායකයින් බිහිවෙනවා. රටේ පාලකයින් පත්වෙනවා. ජනතාව ලබාදෙන ඒ අහිංසක ජනවරම අප අපේ පණටත් වඩා ආරක්ෂා කරන්න ඕනෙ. මේ රටේ පොදු ජනතාව ඉමහත් කැපවීමක් කර නායකයින් පත්කර ගන්නවා. ආණ්ඩු පත්කර ගන්නවා. එසේ පත්වන නායකයින්ගේ වගකීම යුතුකම වන්නෙ දිවා රෑ නොබලා විසිහතර පැයම කැපකර ජනතාව අප වෙත පැවරූ එම විශ්වාසය ආරක්ෂා කර ගැනීමයි. රට සෞභාග්‍ය කරා රැගෙන යාමයි.

මිත්‍රවරුණි, මේ වන විට අප අපේ දර්ශණය, වැඩ පිළිවෙල පහළම මට්ටමේ සිට නිර්මාණය කරමින් යනවා. සත්‍ය වශයෙන්ම අපේ රටේ ග්‍රාම සේවා වසම් 14022 හද ගැස්ම ඉතා හොදින් හඳුනන්නෙ මෙම අවස්ථාවට එක්ව සිටින එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්. ඔබලා මේ රටේ ඉදිරි සෞභාග්‍යමත් ගමනේ පෙරමග ගමන් කරුවන් ලෙසද හැදින්විය හැකියි. මේ රටේ පොදු ජනතාවට යුතුකම් ඉෂ්ඨ කිරීමට මෙම නියෝජිතයින් තවත් ශක්තිමත් කළ යුතුයි. ඔවුන්ගේ කැපවීම තුළින් නොවැම්බර් මාසයේ නිර්මාණය වන මහා දේශපාලන කඩඉම තුළ මේ රටේ පොදුජන ශක්තිය තුළින් ඒ අති විශිෂ්ඨ ජනවරම ලබන විට මන්දිර සහ සුරසැප දේශපාලනය ප්‍රතික්ෂේප කරමින් වරදාන පැත්තකට වීසි කරමින් මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් වූ ජනතාවට ප්‍රතිලාභ ලබාදීමේ ගමන ඉහළ සිටින නායකයිනගේ ආදර්ශය තුළින් ජනතාව වෙනුවෙන් යුතුකම් ඉෂ්ඨ කරනවා.

දේශපානය පිළිබඳව තිබෙන අවිස්වාසය ජන සමාජය තුළ කතා බහ වෙනවා. අප මේ රටේ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුයි. ජනතාවගේ හදවතේ තිබෙන ගැටලු වලට විසදුම් ලබාදිය යුතුයි. ප්‍රවෘත්ති ප්‍රකාශණ වල, මහා ලොකු දේශන වල නිර්මානය වන නවීන අදහස් අප ක්‍රියාවට නංවන්න ඕනෙ. නොවැම්බර් මාසයෙන් පසුව එළඹෙන්නේ පොදු ජනතාවගේයුගයයි.

ජන සමාජය තුළ විවිධ කොටස් ජීවත් වෙනවා. විවිධ ස්ථරයන් තිබෙනවා. ග්‍රාමීය, නාගරික ජනතාව ඒ අතර සිටිනවා. මේ සියලු කොටස් අප රැක බලා ගත යුතුයි. ඒ සඳහා ඔවුන් සවිබල ගන්වමින් ආර්ථිකය ශක්තිමත් කරන්න ඕනෙ. රට ගොඩ නගන කාර්යශූර ක්‍රියාශීලි වැඩපිළිවෙල සජිත් ප්‍රේමදාස සතුව තිබෙන බව මා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා.

2015 නිර්මාණය වූ හැරවුම් ලක්ෂය තුළ රටේ ජනතාවට නිදහස ලැබුණා. මෙය උතුම් තත්ත්වයක්. අප එය පණටත් වඩා රැක ගත යුතුයි. මේ රටේ ජනතාවට බඩගින්නෙන් කුසගින්නෙන් තොර ජීවිතයක් අප ලබාදිය යුතුයි. අපේ රටේ ළදරු පරපුරට සහ මව් පරපුරට මන්දපෝෂණයෙන් තොර ජන ජීවිතයක් අප නිර්මාණය කරන්න ඕනෙ. රටේ යොවුන් පරපුර මේ රටේ ප්‍රගතියේ පෙර ගමන් කරුවා බවට පත් කරන්න ඕනෙ. ගජ මිතුරු සංගම් වලට මූලිකත්වය ලබා දෙනවා වෙනුවට සුදුසුකමට හැකියාවට දක්ෂතාවයට අප තැන ලබා දෙන්න ඕනෙ. නොවැම්බර් දෙසැම්බර් මාසයේ මේ රටේ බිහි වන්නේ යාලු හිතවතුන්ගේ රජයක් නොව දක්ෂයින්ගේ රජයක් බවට මා ප්‍රකාශ කරනවා. මාතෘ භූමිය වෙනුවෙන් ඉටුවිය යුතු යුතුකම් අප ඉටු කරනවා. රටේ ජනතාවට අගයක් එකතු කරනවා. අපට දැවැන්ත ගමනක් යන්නට තිබෙනවා. ඒ සඳහා සෑම දෙනාම දායක කර ගත යුතුයි. එවිට මේ රටේ දළ දේශීය නිෂ්පාදනය වෙනුවට දළ දේශීය සතුටක්ද නිර්මාණය වෙනවා.

අපේ රටේ තිබෙන ආධායම් පරතරය නිසා මේ රටේ ඇති නැති පරතරය නිර්මාණය වෙනවා. මෙසේ වීමට ඉඩ දෙන්න බැහැ. සෑම තරාතිරමකම ජනකොටස් රටේ සංවර්ධනයේ කොටස් කරුවන් විය යුතුයි.

අද විවිධ කණ්ඩායම් අපගේ ජනහිතකාමී වැඩපිළිවෙල පිළිබඳව වැරදි මත නිර්මාණය කරනවා. ඒවා තුළින් අපේ ගමන කඩාකප්පල් කරන්න හදනවා. ඔක්තෝබර් 26 දිනට පෙර සජිත් ප්‍රේමදාසට 10 වතාවක් කීවා අගමැතිවන ලෙස. මම ඒක ප්‍රතික්ෂේප කළා. දින 52 පාලනය තුළ තවත් 61ක් වතාවක් කීවා රටේ අගමැතිවන ලෙස. ඒකත් මා ප්‍රතික්ෂේප කළා. මේ දිනවලත් හෙට, අනිද්දා මා අගමැතිවන බවට තැන තැන කතාබහ වෙනවා. පස්සා දොරින් අගමැති කම් ගන්න තරම් මා දේශපාලන අවජාතකයෙක් නොවේ. ජනතාවගේ ශක්තියෙන්, ආශිර්වාදයෙන් තමා මා ඉදිරියට යන්නෙ.

මමත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් සමඟ කොන්ත්‍රාත්තුවක් ගැහුවා. එය රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති කිරීමේ කොන්ත්‍රාත්තුවයි. දින 52 කාලයේ කොන්ත්‍රාත්තුව ගසන කාලෙ විවිධ ප්‍රවාහයන් තුළින් මට මඩ ගැසුවා. මම ජනාධිපති මන්දිරයට ගොස් අගමැතිතුමාට තැන ලබාදීම පිළිබඳව කතා කරන විට මම අගමැතිකම ගන්න යනවා කියා ඇතැමුන් ප්‍රචාරය කළා. නමුත් ජනාධිපතිතුමාම කීවා සජිත්ට භාර ගන්න කීවත් එය භාර නොගත් බව. දේශපාලන කුමන්ත්‍රණ තුළින් මගේ ගමන නිර්මාණය කරන්නෙ නැහැ.

මගේ අඨිෂ්ඨානය,කැපවීම ඇතැමුන්ට සහ තරු හතේ දේශපාලනය කරන්නන්ට රුස්සන්නේ නැතිව ඇති. මම මගේ පියාගේ ජනතා වැඩ පිළිවෙල දුටුවා. පස්සා දොරින් තනතුරු නොගන්නා මම ඉස්සරහා දොරින් ජනතා ආශිර්වාදයෙන් රටේ ඉහළම තැනට යාමට බලාපොරොත්තු වනවා. එහිදී මා ඔබට කොළඹ ජනාධිපති මන්දිරයේදී, නුවර රජගෙදරදී හමු වෙන්න බැහැ. මහ පාරේදී තමයි ඔබට මා හමු වන්නෙ එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයෙකුත් සමඟ.

කුරිරු කොටි ත්‍රස්තවාදින්ගේ බෝම්බ ප්‍රහාරයකින් මගේ පියා රටට අහිමි වුණා. ජනතාව වෙන්වෙන් විශාල කැපවීමක් කරන මට ජනාධිපතිවරණයට ඉදිරිපත්වීමට අවස්ථාව ලබාදීමට අදිමදි කරන්නෙ ඇයි කියන එක මට හිතා ගන්නට බැහැ. ජනතාව මෙතරම් ඉල්ලීම් කරද්දීත් ඇයි එය ක්‍රියාත්මක නොකරන්නෙ. මට ඉදිරියට තිබූ අඩිය පස්සට ගන්න එපා කියා බොහෝ අය කියනවා. එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජාතික පාක්ෂිකයින්ටත් හිතන්න වෙලාවක් පැමිණ තිබෙනවා.

මම අගමැතිකම ප්‍රතික්ෂේප කළේ පක්ෂයට, නායකයාට තිබෙන ගරුත්වය නිසා. ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව තීන්දු තීරණ ගැනීම කොතරම් පස්සට දැම්මත් සජිත් ප්‍රේමදාස අඩියක් නොව මිලිමිටරයක්වත් පස්සට පැමිණෙන්නෙ නැහැ. අප උත්සාහ කරන්නෙ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ජීවිතය පූජා කළ පක්ෂය කඩා දැමීම නොවේ. අපේ පාක්ෂිකයින් සහ අපට හිතවත් පක්ෂ කියන්නෙ මට පෙරට පැමිණෙන ලෙස. මම පෙරට පැමිණ තිබෙන්නෙ බලයට තිබෙන කැදරකම නිසා නොවේ. මට වයස අවුරුදු 52යි. අගමැතිතුමාගේ සහ කරූ ජයසූරිය මහතාගේ ආශිර්වාදයෙන් පොදු ජන යුගය නිර්මාණය කිරීමට සජිත් ප්‍රේමදාස ඉදිරියට පැමිණෙන බව ඔබට කියනවා. එක්සත් ජාතික පක්ෂය, එක්සත් ජාතික පෙරමුන ප්‍රමුඛ අපේ ආණ්ඩුවක් බිහිකරනවා.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන්ද අදහස් දැක්වූහ.

උපාලි කරුණාරත්න සහ ආරියරත්න ගනේගොඩ (මැද කොළඹ සමූහ)

නව අදහස දක්වන්න